ෆොටෝග්‍රැෆි වලට කවුද ආස නොකරන්නේ? ඒ කිවුවේ අර වෙඩින් එකක හරි ඉවෙන්ට් එකක හරි ෆොටෝ ගහන ලෙවල් එකට වෘත්තිය මට්ටමේ ඡායාරූප ශිල්පියෙක් වෙන එක විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් එදිනෙදා තමන් දකින ලස්සන දෙයක් කැමරා කාචයට හසුකරගන්න එක. ඒ වගේම ට්‍රිප් එකක් එහෙම ගියහම තමන් දකින ලස්සන ලස්සන තැන්, ට්‍රිප් එක ගිය කට්ටියව වගේ මෙකී නොකී දේවල් ෆොටෝ එකකට අල්ලගන්න එක. ඇයි සෙල්‍ෆි ගහන එකත් ෆොටෝග්‍රැෆිම තමයි. ඉතින් ඔය කිවුව ජාතියේ ෆොටෝග්‍රැෆි ආසාවල් සහ වුවමනාවල් වලට ගැලපෙන කැමරා මොනවද? ආන්න එතනදී තමයි මේ උපදෙස් වටින්නේ.
1. කැමරා ෆෝන්!

Source – androidpit.com
ඉස්සර මොබයිල් ෆෝන් තිබුණට දැන් ඇත්තටම තියෙන්නේ කැමරා. ඒවලින් හදිසියට කෝල් එකක් ගන්න, මැසේජ් එකක් යවාගන්න එහෙම පුලුවන්! ඒ නිසා තමන්ගේ සතුටට ට්‍රිප් එකක් ගියහම, ලස්සන දෙයක් දැක්කහම සුටුස් ගාලා ඒක ෆොටෝ එකකට අල්ලගන්න ආස කරන අයට හොඳම විකල්පයක් තමයි හොඳ කැමරාවක් තියෙන ස්මාට්ෆෝන් එකක් තෝරගන්න එක. වර්තමානයේ තියෙන ස්මාට්ෆෝන් වල කැමරා කොයි තරම් දියුණුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
Samsung, Apple වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්නවා නම් ඒවල තියෙන ෆ්ලැග්ෂිප් උපාංග, ඒ කියන්නේ අලුත්ම S කාණ්ඩයේ ස්මාට්ෆෝන් එක වගේ ඒවල කැමරා කොලිටි හොඳයි. හැබැයි දැන් Oppo, Huawei, OnePlus වගේ බ්‍රෑන්ඩ් වලින් එන මධ්‍යම-පරාසයේ ස්මාට්ෆෝන් වල පවා ඉතාම හොඳ කැමරා තියෙනවා. හැබැයි දැනට ඇවිත් තියෙන හොඳම ස්මාට්ෆෝන් කැමරා එක තියෙන්නේ google pixel 2 එකේ.
2. හොඳ කැමරාවක් තියෙන ස්මාට්ෆෝන් එකක්!

Source – youtube.com
හොඳ කැමරා ස්මාට්ෆෝන් එකක් තෝරාගන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් සලකා බලන්න ඕන කාරණා හතරයි. එක, හොඳ ප්‍රොසෙසරයක්. ඒ කියන්නේ කැමරාව ඉතාම කාර්යක්ෂමව වැඩ කරවන්න පුලුවන් ප්‍රොසෙසරයක් සහ ප්‍රොසෙසර චිප් සෙට් එකක්. මේ ගැන ලේසියෙන්ම හොයාගන්න පුලුවන් පොඩි ගූග්ල් සර්ච් එකකින්. දෙක, මතක ධාරිතාව. ෆොටෝ ගහන්න ස්මාට්ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් එක්කෝ microSD කාඩ් දාන්න පුලුවන් ස්මාට්ෆෝන් එකක් ගන්න ඕන. නැතිනම් අභ්‍යන්තර ධාරිතාව ඉහළ අගයක් වෙන ස්මාට්ෆෝන් එකක් ගන්න ඕන. ඒ වගේම තුන්වෙනි කාරණය තමයි හොඳ රැම් එකකුත් අවශ්‍යයි. හතර අනිවාර්යයෙන්ම හොඳ කැමරාවක්නේ. හොඳ කැමරාවක් තියෙන ස්මාට්ෆෝන් එකක් තෝරගන්නකොට කාරණා කීපයක් ගැන හිතන්න වෙනවා.
ගොඩක් දෙනෙක් බලන්නේ මෙගාපික්සල් කොච්චර තියෙනවද කියන එකනේ. මෙගාපික්සල් වැඩියෙන් තිබුණට කමක් නැහැ, හැබැයි වඩාත් වැදගත් වෙන්නේ කැමරා සෙන්සරයේ ප්‍රමාණය. එතකොට සංසන්දනය කරන්න ඕන කැමරා සෙන්සරයේ ප්‍රමාණය තමයි. එතකොට කැමරාවේ f අගයත් අඩු වෙන තරමට හොඳයි. හොඳ ලෙන්ස් එකක් තියෙනවද කියන එකත් බලන්න ඕන. එතකොට සූම් එකත් ඔප්ටිකල් සූම් හැකියාවෙන් එනවා නම් ගොඩක් හොඳයි.
3. ඩිජිටල් කැමරාවක් තෝරාගන්නේ කොහොමද?

Source – youtube.com
ඇත්තටම දැන් තියෙන සාමාන්‍ය පරාසයේ පොයින්ට් ඇන්ඩ් ෂූට් ඩිජිටල් කැමරාවකට වඩා වැඩි වැඩ කොටසක් කරන්න පුලුවන් හොඳ ස්මාට්ෆෝන් කැමරා තියෙනවා. මේ පොයින්ට් ඇන්ඩ් ෂූට් කැමරා තෝරාගන්නකොට මතක තියාගන්න ඕන දේ තමයි මේ වල ලෙන්ස් මාරු කරන්න බැරිය කියන එක.
මූලිකවම මේ වගේ කැමරාවකත් අර ස්මාට්ෆෝන් කැමරාවල කියපු විදියට කැමරා සෙන්සරයේ ප්‍රමාණය, f අගය, ලෙන්සය, ඔප්ටික් සූම්, ස්ටැබිලයිසින් වගේ කාරණා ගැන සලකා බලන්න වෙනවා. ඒ වගේම පොයින්ට් ඇන්ඩ් ෂූට් කැමරාවක් ගන්න කෙනෙක් ඒක කොයි තරම් හුරුබුහුටි නිමාවකින් යුක්තද කියන කාරණය සලකා බලනවා. ඒ වගේම පොයින්ට් ඇන්ඩ් ෂූට් වල ගොඩක් වෙලාවට වීව් ෆයින්ඩර් එන්නේ නැති නිසා, අපි ගන්න ෆොටෝ එක මොකක්ද කියලා බලන්න තියෙන පසුපස LCD පැනලයත් හොඳ මට්ටමක තියෙන්න ඕන. මෙතනින් එහාට ඉතින් වයර්ලස් හැකියාවන්, රාත්‍රී කාලයේ ඡායාරූප ගැනීමේ හැකියාව, HDR, පැනොරාමා වගේ විවිධ පහසුකම් ගැනත් හිතන එකේ වරදක් නැහැ.
පොයින්ට් ඇන්ඩ් ෂූට් ඩිජිටල් කැමරා එකක් ගන්නවා නම් හොඳම බ්‍රෑන්ඩ් කියලා කියන්න පුලුවන් කැනන්, නිකෝන් සහ පැනසොනික්. ඒ වගේම සෝනි, සැම්සන්ග්, ෆූජි වගේ බ්‍රෑන්ඩ් එකක් කම්පැක්ට් පොයින්ට් ඇන්ඩ් ෂූට් ඩිජිටල් කැමරා එකකට අවුලක් නෑ.
4. ආධුනිකයෙක්ට DSLR කැමරාවක්!

Source – independent.co.uk
DSLR කැමරා වල ලෙන්ස් මාරු කරන්න පුලුවන්. DSLR කැමරාවක් ගන්න හදන කෙනෙක් මුලින්ම හිතන්නේ බ්‍රෑන්ඩ් එක ගැන. එතකොට ඔලුවට එන්නේ කාරණා දෙකයි. නිකෝන්ද කැනන්ද කියන එක! හැබැයි Nikon සහ Canon වලට ගොඩක් අය ආස වෙන්නේ මේවා ජනප්‍රිය නිසා මේවලට ලෙන්ස් ඕනෑ තරම් තිබීම නිසා තමයි. එහෙම නැතිනම් Pentax වගේ බ්‍රෑන්ඩ් එකක් වුනත් ඉතාම හොඳයි.
එන්ට්‍රි ලෙවල් DSLR එකක් ගන්නකොටත් මුලින්ම හිතලා බලන්න ඕන ඉමේජ් කොලිටි එක ගැන. ඒ කියන්නේ සෙන්සර් එකේ ප්‍රමාණය, ලෙන්ස් එකේ කොලිටි එක සහ කැමරාවේ අනෙක් පහසුකම්. ගොඩක් දෙනෙක් එන්ට්‍රි ලෙවල් DSLR එකකට යන කොට ඒකත් එක්ක එන කිට් ලෙන්ස් එකම තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ 18-55mm ලෙන්ස් එක. ඒකේ ගැටළුවක් නැහැ. මේ ලෙන්ස් එකෙන් ලොකු පරාසයක ඡායාරූප හැකියාවන් වලට යන්න බැරි වුනත්, ආධුනිකයෙක්ට වැඩේ අල්ල ගන්න මේ ලෙන්ස් එක ඉතාම හොඳයි.
එන්ට්‍රි ලෙවල් DSLR වල මිල ගණන් වුනත් සාපේක්ෂව අඩුයි.
5. DSLR වලට ලෙන්ස් ගන්නේ කොහොමද?

Source – aliexpress.com
ඊළඟට එන්ට්‍රි ලෙවල් එක පහුකරලා සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ DSLR එකකට යන්න හිතනකොට ඔලුවට එන්නේ මොනවද තමන්ට ඕන කරන ලෙන්ස් වර්ග කියන එක තමයි. ලෙන්ස් එකකදී මූලිකවම හිතන්න ඕන වෙන්නේ f-stop එක සහ Focal Length එක ගැන තමයි. උදාහරණයක් විදියට 18-55mm කියන්නේ Focal Length එක. 18mm ලෙන්ස් එකකට බොහොම හොඳ පුළුල් පරාස ඡායාරූපයක් ගන්න පුලුවන් වෙනකොට, 250mm ලෙන්ස් එකකට ඉතාම ඈත තියෙන වස්තුවක් වුනත් ඉතාම ආසන්නව පේන විදියට ඡායාරූපයක් ගන්න පුලුවන්. ඒ වගේම අර අවශ්‍ය වස්තුව ලස්සනට පේනකොට බැක්ග්‍රවුන්ඩ් එක බොඳ වෙලා පේන Bokeh Effect එකත් එක විශාල ලෙන්ස් එකකදී ලැබෙන කාරණයක්. හැබැයි මෙතනදී ඇපචර් එක, ඒ කියන්නේ f අගය ගැනත් අවධානය යොමු කරන්න වෙනවා. ඒ කියන්නේ වඩාත් පුළුල් ඇපචර් එකකින් තමන්ට අවශ්‍ය වස්තුව තියුණු විදියට පෙන්නලා පසුතලය අවුට් ඔෆ් ෆෝකස් කරන්න වඩාත් හැකියාව ලැබෙනවා.
ඉතින් ලෙන්ස් තෝරාගන්නකොට වඩාත්ම අවධානයට ගන්න වුවමනා වෙන්නේ තමන්ට ඡායාරූපගත කරන්න අවශ්‍ය දේවල් මොනවද සහ තමන්ගේ බජට් එක මොකක්ද කියන එක තමයි. සාමාන්‍යයෙන් 18-250mm හරි 55-300mm හරි වගේ ලෙන්ස් එකක් ලස්සන ආටිස්ටික් ෆොටෝ ගන්න වටිනවා. ඒ වගේම තමයි 55mm හරි 35mm හරි වගේ ලෙන්ස් එකකින් තමන්ට ඕන දුරක ඉඳලා ෆොටෝ ගන්න බැරි වුනත්, නියම දුර ඉඳලා ගන්නකොට පුද්ගල ඡායාරූප වලට එහෙම බොහොම ලස්සන එකක් ලබාදෙනවා.
6. ඇක්ෂන් කැමරා නම් ගෝප්‍රෝ ද?

Source – buytopreview.com
ඊළඟට ආධුනිකයෙක්ට ඕන වෙන කැමරාවක් තමයි ඇක්ෂන් කැමරා. හැමෝම දන්න ගෝප්‍රෝ කියන්නේ ඇක්ෂන් කැමරාවක් තමයි. ඇක්ෂන් කැමරාවක් කියන්නේ ඡායාරූප ගන්න කැමරාවකට වඩා වීඩියෝ කැමරාවක්. විශේෂයෙන්ම පිහිනුම්, සයිකල් පැදීම් වගේ නොයෙක් ඇක්ෂන් වල යෙදිලා ඉන්නකොට අපේ ඒ ඇක්ෂන් එක දිගට වීඩියෝගත කරන්න පුලුවන් විදියට තමයි මේ ඇක්ෂන් කැමරා හදලා තියෙන්නේ. ඒ කියන්නේ හැම සුළු චලනයක්ම බොහොම හොඳට ග්‍රහණය කරගන්න මේ කැමරා වලට පුලුවන්. තමන්ගේ හිස්වැස්මේ හරි, සයිකල් එකේ හැන්ඩ්ල් එකේ හරි වුනත් මේ ඇක්ෂන් කැමරාවක් හයි කරලා තියන්න පුලුවන්.
කැමරා කොලිටිය ඇරුණහම ඇක්ෂන් කැමරාවක් තෝරාගන්නකොට හිතන්න ඕන කරුණු තුනක් තියෙනවා. එකක් තමයි කොයි තරම් ඔරොත්තු දෙන සුළුද කියන එක. ඇක්ෂන් ෂූට් කරන්නේ ගෙදර ඇතුළේ නෙවෙයිනේ. ආන්න ඒ නිසා මේ වගේ කැමරාවක් කම්පනයන්ට, අවුවට, වැස්සට, දුහුවිල්ලට ඔරොත්තු දෙන ගුණයෙන් යුක්ත වෙන්න ඕන. ඊළඟට කොයි තරම් හොඳට මේ කැමරාව වෙනත් තැනක මවුන්ට් කරන්න, ඒ කියන්නේ හයි කරන්න පුලුවන්ද කියන එකත් සැලකිල්ලට ගන්න ඕන කාරණයක්. තුන්වනුව රැහැන් රහිත සම්බන්ධතාවයන් කොහොමද කියන එකත් අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා, ඇක්ෂන් කැමරාවක් ප්‍රායෝගිකව භාවිතා කරනකොට.
ඇක්ෂන් කැමරා වල හැමෝම දන්න බ්‍රෑන්ඩ් එක තමයි GoPro. හැබැයි Sony, Xiaomi YI, Olympus, Garmin වගේ තව බ්‍රෑන්ඩ් වලත් හොඳ ඇක්ෂන් කැමරා තියෙනවා කියන එක මතක තියාගන්න වුවමනායි.
7. තමන්ටම ඉගෙන ගන්න පුලුවන්ද?

Source – pixabay.com
දැන් ඔය විදියට තමන්ගේ වැඩේට, රුචිකත්වයට සහ අතේ තියෙන ගාණට ගැලපෙන විදියට කැමරාවක් ගත්තා කියමුකෝ. ඕක පේන්න එල්ලගෙන ගියාට වැඩක් නැහැනේ. ෆොටෝ ගන්න ඉගෙන ගන්න ඕන. ඕනෑ නම් හෑගොඩ සර්ගේ පංතිය වගේ, නැතිනම් කැලණි සරසවියේ ඡායාරූප ශිල්ප ඩිප්ලෝමාව වගේ වෘත්තිය මට්ටමේ පාඨමාලාවකට එකතු වෙන්න පුලුවන්. ඒත් ආධුනිකයෙක් හැටියට එච්චර දෙයක් අවශ්‍ය නෑ කියලා හිතනවා නම් මේ වෙනකොට ලේසියෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඉගෙන ගන්නත් පුලුවන්.
https://expertphotography.com/a-beginners-guide-to-photography/
ඕනෑ නම් ස්මාට්ෆෝන් එකේ කැමරාවෙන් ගන්න ෆොටෝ වලට ෆිෂ් අයි, වයිඩ් ඈන්ගල්, මැක්‍රෝ වගේ හැකියාවන් ලබාදෙන්න පුලුවන්, පිටින් ක්ලිප් කරන්න පුලුවන් චූටි ලෙන්ස් එහෙමත් මිලදී ගන්න තියෙනවා.
https://www.wow.lk/deals/p/deal-of-selfie-cam-lens-apr16-colombo-sri-lanka/prod2560207/
https://www.daraz.lk/m.j-moves-3-in-1-universal-clip-phone-lens-232781.html
ඕනෑ නම් ඔප්ටිකල් සූම් ලෙන්ස් එකක් වුනත් ස්මාට්ෆෝන් එකට පිටින් සවිකරගන්න පුලුවන්.
https://www.daraz.lk/other-8x-optical-zoom-camera-lens-clip-black-131545.html
https://www.daraz.lk/busy-home-bust-8-in-1-zoom-clip-lense-127631.html
ඉතින් මේ අපි කියලා තියෙන්නේ කැමරා ගැන මෙලෝදෙයක් නොදන්න ආධුනිකයෙක්ට කැමරාවක් හරි කැමරා හැකියාවන් තියෙන උපාංගයක් හරි මිලදී ගන්න වුවමනා මූලික කරුණු කිහිපයක්. ඊට වඩා වෘත්තිය මට්ටමේ ඡායාරූප ශිල්පියෙක් වෙන්න කැමති කෙනෙක්ට මීට වඩා කැමරාවක් ගන්නකොට හිතන්න කාරණා තියෙනවාය කියන එකත් මතක් කරන්න වුවමනායි.
Cover Image Source – pixabay.com
Leave a Reply