ඊලොන් මස්ක් ගැන නොදත් කතා

SpaceX ව්‍යාපෘතියත් එක්ක ඊලොන් මස්ක්ගේ නම නැවත වරක් බොහෝ පුවත්පත්වල සිරස් තල වල සඳහන් වෙන්න පටන් ගත්තා. 2021 ජනවාරි මාසයේ ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ගේ වත්කම් ප්‍රමාණය ඉක්මවා යමින් ලෝකයේ ධනවත් පුද්ගලයා බවට පත්වීමේ හැකියාව ඔහුට ලැබුණා. නමුත් ඉන් මාසයකට පසුව යළිත් ජෙෆ් බෙසෝස් පළමු ස්ථානයේ යළිත් ලබා ගත්තා. අපි අද ඊලෝන් මස්ක්ගේ ජීවිතයේ තොරතුරු සංක්ෂිප්තව ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

 

1. තාත්තත් එක්ක ඇතිවුණු අවුල 

1971 ජූනි 28 දකුණු අප්‍රිකාවේ උපත ලබපු ඊලෝන් රීව් මස්ක්ගේ මව කැනේඩියානු ජාතික කාන්තාවක්. ඔහුගේ පියා වුණු  ඊලෝර් මස්ක් දකුණු අප්‍රිකානු ජාතිකයෙක්. ඊලෝන්ට බාල කිම්බල් සහ ටොස්කා නම් සහෝදර සහෝදරියන් දෙදෙනෙක් පවුලට එකතුවුණු අතර 1980 දී ඔවුන්ගේ දෙමවුපියන් සිය විවාහය නිමා කිරීමට තීරණය කළා. ඊලෝන් සිය පියා සමග රැඳී සිටීමට තීරණය කළ අතර තම ජීවිතයේ සිදුකළ අවාසනාවන්තම අත්වැරැද්ද එය බව පසුව ඔහු ප්‍රකාශ කළා. අද පවා ඔහු තම පියා පිළිබඳව කතා කරන්නේ දැඩි ආවේගයෙන්.

 

2. පළමු නිර්මාණය 

වයස අවුරුදු දහයේදී එවකට ජනප්‍රිය වෙමින් පැවතුණු පරිගණක තාක්ෂණය කෙරෙහි උනන්දුවක් දැක්වූ ඔහු කුඩා අත්පොතක් ආධාරයෙන් පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීම පිළිබඳව ස්වයං අධ්‍යයනයක නිරත වී වීඩියෝ ගේම් එකක් හඳුන්වාදීමට සමත් වුණා. පසුව මෙහි අයිතිය සඟරාවක් වෙත ලබාදී ඩොලර් 500ක පමණ මුදලක් උපයා ගැනීම ඔහුගේ ළමා කාලය තුළ ලද එක් ජයග්‍රහණයක්.

 

3. අධ්‍යාපනය 

ඔහු තම මූලික අධ්‍යාපනය දකුණු අප්‍රිකාව තුළ ලබාගත් අතර පාසලේ ඔහු එතරම් ජනප්‍රිය සිසුවෙකු වුණේ නැහැ. තම පන්ති සගයන්ගේ නිරන්තර පීඩාවට ලක්වූ ඔහු වතාවක් රෝහල්ගත කරන ලද්දේ එවැනි පිරිසක් විසින් පඩිපෙළකින් තල්ලු කිරීම නිසයි. වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා කැනඩාව වෙත ගිය ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසාන කළේ පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලය තුළිනුයි.

 

4. ගරු රඟපෑම් 

ඊලොන් මස්ක් විවිධ අවස්ථාවල චිත්‍රපට සහ කාටූන් රැසකට ගරු රඟපෑම් වලින් දායක වී තිබෙනවා. 2010 වසරේදී Iron Man 2 චිත්‍රපටිය එසේ ඔහු දායක වූ පළමු චිත්‍රපටය වන අතර චිත්‍රපටි පෙළේ ටෝනි ස්ටාර්ක්ගේ චරිතය රඟපෑ රොබට් ඩවුනි, එම චරිතය නිරූපණය සඳහා මස්ක්ගේ සැබෑ ස්වරූපය අධ්‍යයනය කළ බව කියැවෙනවා. මීට අමතරව සුප්‍රකට “ද සිම්ප්සන්ස්” ඇනිමේෂන් කතා මාලාවේ කතාංගයක් සම්පූර්ණයෙන්ම පාහේ වෙන්වුනේ මස්ක් වෙනුවෙන්මයි. එය “The Musk who fell to Earth” නමින් හැඳින්වුණා.

 

5. මස්ක්ගේ විවාහ 

මස්ක් කැනඩාවේ ගත කළ කාලය තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වූ ජස්ටින් විල්සන් සමග පෙම් සබඳතාවක් ඇති කරගත් අතර 2000 වසරේ දී ඔවුන් විවාහ දිවියට එළඹුණා. 2008 වසරේ දී ඔවුන් දෙදෙනා දික්කසාද වූ අතර විශේෂත්වය වූයේ ඒ සඳහා බලපෑ කරුණු පිළිබඳ දෙදෙනාම ප්‍රසිද්ධ මාධ්‍ය වල ලිපි පළ කිරීමයි. ඉන්පසුව මස්ක් නිළියක වූ ටලූලා රිලේ සමග 2010 දී විවාහ වී 2012 දික්කසාදයකට ගොස් නැවතත් 2013 දී ඇය සමඟ ම විවාහ වී 2016 දී දික්කසාදයක් වෙත ගියා. ජොනී ඩෙප්ගේ බිරිඳ වූ ඇම්බර් හර්ඩ් සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බවට මස්ක් හට චෝදනා එල්ල වූ අතර 2018 වසරේදී තමන් කැනේඩියානු සංගීත ශිල්පිනී ග්‍රයිම්ස් සමග ජීවත්වන බවට මස්ක් ප්‍රකාශ කළා.

 

6. මස්ක්ගේ දරු පැටවු

2002 දී ජස්ටින් හට ලැබුණු නෙවාඩා ඇලෙක්සැන්ඩර් මස්ක් සති දහයක් ගත වද්දී මිය ගිය අතර ඒ වන විට ඔවුන් දෙදෙනා මස්ක්ගේ ආදායම ඩොලර් මිලියන 100 පසුවීමේ සතුට භුක්ති විඳිමින් සිටීම එක්තරා අයුරකින් දෛවයේ සරදමක් බවට පත්වුණා. පසුව නව වෛද්‍ය විද්‍යාත්මක තාක්ෂණය භාවිතා කරමින් 2004 වසරේදී නිවුන් දරුවනුත් 2006 වසරේදී තුන් නිවුන් දරුවනුත් ඔවුන් දෙදෙනා සිය කැදැල්ලට එකතු කරගත්තා.

ග්‍රයිම්ස් 2020 මැයි මාසයේදී පිරිමි දරුවෙකු ප්‍රසූත කළ අතර එම දරුවා X AE A-XII ලෙස නම් කෙරුණේ මුළු ලොවම විස්මයට පත් කරමින්.

 

7. සමාජ සේවය 

නොමසුරුව සමාජ සේවය සඳහා වියපැහැදම් කරන මස්ක් ප්‍රධාන වශයෙන් ඒ සඳහා භාවිතා කරන්නේ මස්ක් පදනමයි. සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම එම පදනම මගින් සිදුකරන ප්‍රධාන කාර්යභාරයක් වනවා. ඊට අමතරව විකීපීඩියා ව්‍යාපෘතියක් වන විකිමීඩියා පදනම, පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය, බිග් ග්‍රීන් ව්‍යාපෘතිය මේ ආකාරයටම ඔහුගේ මූල්‍ය දායකත්වය යටතේ සිය වැඩසටහන් තවමත් සක්‍රීය මට්ටමෙන් සිදුකරන ආයතන වෙනවා.

 

මේ ආටිකල් එක ඇතුළේ මස්ක්ගේ ව්‍යාපාර ගැන වචනයක්වත් අපි සඳහන් කර නොතිබීම ගැන ඇතැම් විට ඔබ පුදුමයට පත් වෙන්නත් පුළුවන්. ඒකට හේතුව තමයි ඒ වෙනුවෙන්ම තවත් ආටිකල් එකක් අපි ඉදිරියේදී ලියන්න බලාපොරොත්තු වීම. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *