ලාංකික අපිට ගන්නට හැකි සුපිරි ස්කූටර වර්ග

Scooter types in SriLanka

තායිවානයේ මිලියන 23 කට මදක් වැඩි ජනගහනයක් සිටින අතර තායිවානයේ තිබෙන ස්කූටර සංඛ්‍යාවද මිලියන 23 කට වඩා වැඩිය. සාමාන්‍ය පිලිගැනීම වන්නේ තායිවානයේ මිනිසුන්ට වඩා ස්කූටර වැඩි බවය. ලංකාවේද කාන්තාවන් සහ පිරිමින් අතර ස්කූටර යනු ජනප්‍රියම ප්‍රවාහන මාධ්‍යයකි. ගියර් රහිත සුමට ස්වභාවය නිසා ධාවනයට පහසුව, අමතර ඉඩකඩක් සීට් එකේ යට ඇති නිසා බඩු ටිකක් දමාගෙන යන්නට හැකිවීම, ඉන්ධන පිරිමැස්ම, ආදී බොහෝ කාරණා නිසා ස්කූටර අපේ පාරවල් වලද නිතරම දකින්නට ලැබෙන ප්‍රවාහන මාධ්‍යයක් වී තිබේ. ජනප්‍රිය අලුත් ස්කූටර මාදිලි මොනවාද? අපි ටිකක් ඒ ගැන හොයා බලමු.

 

1. Aprilia Scooter

Scooter types in SriLanka

Source – overdrive.in

ඇප්‍රීලියා යනු ඉතාලි සමාගමකි. ඇප්‍රීලියා සමාගම ලංකාවට සිය නිමැවුම් මෑත කාලීනව නිල වශයෙන් නිකුත් කරන්නට පටන් ගත්තේ පසුගිය වසරේදීය. තරමක් මිල අධික ඇප්‍රීලියා ඉතාලි තාක්ෂණයෙන් ඉන්දියාවේදී නිපදවනු ලැබේ. යුරෝපීය මෝටර් සයිකල් වල ඉන්දියානු ඒවා තරම් ඉන්ධන කාර්යක්ෂමතාවය නැත. බොහෝ ඉන්දියාවේ නිපදෙන ස්කූටර මාදිලි ලීටරයකින් කිලෝමීටර 60කට ආසන්න කාර්යක්ෂමතාවක් පෙන්වන මුත් ඇප්‍රීලියා හි එම අගය ලීටරයකට කිලෝමීටර 35ක් තරම් අඩුය. එහෙත් නිමාව, සුවපහසුව සහ කල්පැවැත්ම අතින් නම් ඇප්‍රීලියා වැනි ඉතාලි මාදිලි ඉදිරියෙන් සිටිනවා විය යුතුය.

 

2. Vespa Scooter

Scooter types in SriLanka

Source – 3dexport.com

වෙස්පා යනු ස්කූටර ලොවේ පැරණිතම සාමාජිකයෙකි. ලංකාවේද 1970 දශකයේ පැමිණි වෙස්පා මොඩල් තවමත් ධාවන තත්ත්වයේ පවතී. මෑත කාලයේ වෙස්පා ස්කූටරය සමග ගාලු ගිය සඳිනිගේ ශෘංගාරාත්මක පිංතූර පෙළක් සමාජ ජාලා හරහා වේගයෙන් ජනප්‍රිය විය. සිලින්ඩර ධාරිතාවය 125ට වඩා වැඩි වෙස්පා මාදිලි කිහිපයක්ම වෙස්පා හි තිබේ. සාමාන්‍ය ඉන්දියානු මාදිලි වලට වඩා පැරණි ඉතාලි මාදිලියක් වන වෙස්පා හි මිල නම් මදක් වැඩිය. එහෙත් ස්කූටියක් ගත්තා වුණත් සුපිරි පරණ මාදිලියක් තෝරා ගන්නට කැමති අයට වෙස්පා යනු කදිම ස්කූටරයකි. හැසිරවීම, පදිනවිට සුව පහසුව ආදී සාධක අතින් වෙස්පා ඉදිරියෙන් සිටී. Aprilia සහ Vespa යන මාදිලි දෙකේම ලංකා නියෝජිත කොලෝනියල් මෝටර්ස්ය.

 

3. Honda Navi

Scooter types in SriLanka

Source – motorbeam.com

හොන්ඩා නවි යනු ස්කූටරයක් සහ සාමාන්‍ය මෝටර් සයිකලයක් අතරමැද වූ මාදිලියකි. තරුණයන් උදෙසා නිර්මාණය කරන ලද නවි ගමන් කරන්නාට වඩාත් සුවපහසුව ලබාදෙන සස්පෙන්ශන් පද්ධතියකින් සමන්විත වේ. සාමාන්‍ය පැරණි මෝටර් සයිකල ක්‍රමයට මැනුවල් ස්පීඩෝමීටරයකින් සමන්විත නවි ලංකාවේ සහ ඉන්දියාවේ දී හොන්ඩා සමාගම සිතූ තරම්ම ජනප්‍රිය වූයේ නැත. යෞවනයේ පිරිමි අය වඩාත් විශාල බයික් වලට මිස කුඩා ස්කූටි මාදිලි වලට ආශා නොවීම හොන්ඩා නවි ජනප්‍රිය නොවීම සඳහා එක් හේතුවක් වන්නට ඇත.

 

4. TVS Scooter

Scooter types in SriLanka

Source – blog.sabkura.com

ලංකාවේ ටීවීඑස් ස්කූටර මාදිලි 4ක් වෙළඳපොළේ පවතී. Scooty Pep, Zest, Wego, Jupiter ජනප්‍රිය ටීවීඑස් මාදිලි වේ. ඉන්ධන පිරිමැස්ම අතින් ඉන්දියානු ටීවීඑස් ස්කූටර ඉදිරියෙන්ම සිටී. සම්මත තත්ත්වයන් යටතේ ලීටරයකට කිලෝමීටර 62ක් තරම් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් ටීවීඑස් ස්කූටර මගින් ලබා දේ. ඉන්දියාවේ සිට පැමිණෙන ටීවීඑස් ස්කූටි පෙප් කුඩා මාදිලිය සිලින්ඩර ධාරිතාවය 90කි. අනෙක් සෙස්ට්, වීගෝ, ජුපිටර් මාදිලි සිලින්ඩර ධාරිතාවය 110ක් වේ. කිලෝමීටර 60,000ක් දක්වා වගකීම් කාලයක්ද ටීවීඑස් මාදිලි මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට ලැබේ.

 

5. Honda Dio, Activa

Scooter types in SriLanka

Source – carblogindia.com

ස්කූටර් වෙළඳපොළේ ලංකාවේ ජනප්‍රිය වූ මාදිලිය හොන්ඩා ඩියෝ වේ. හොන්ඩා ඩියෝ ඉන්දියානු මාදිලිවල ඇති ඉන්ධන පිරිමැස්ම එසේම තිබෙන මාදිලියකි. හොන්ඩා ඩියෝ, ඇක්ටිවා මාදිලි මදක් බර අඩුය. ඉන්දියාවේ නිෂ්පාදනය වුවත් හොන්ඩා ස්කූටර වලට ජපන් තාක්ෂණයේ සැලසුම් තවමත් භාවිතා වේ. ලංකාවේ ධාවන තත්ත්වයන් අනුව වේගයෙන් ධාවනය කිරීමට හොන්ඩා ඩියෝ සහ ඇක්ටිවා යන මාදිලි දෙකම වඩාත් සුදුසුය. අලංකාර නිමාවත් බයිසිකලය පැදවීමේ පහසුවත් කරණ කොට ගෙන හොන්ඩා ඩියෝ සහ ඇක්ටිවා මාදිලි ලාංකීය වෙළඳපොළේද ජනප්‍රියම මාදිලි ලෙස කිරුළ හිමිකරගෙන තිබේ.

 

6. Mahindra Gusto

Scooter types in SriLanka

Source – overdrive.in

මහින්ද්‍රා යනු ඉන්දියාවේ සමාගමක් වුවද ඔටෝමෝබයිල් නිෂ්පාදන අතින් ලොව අනෙක් රටවල් කිහිපයකම ජනප්‍රිය වී ඇති නාමයකි. ස්කූටර් ලොවටද මාදිලි කිහිපයක් හඳුන්වා දී ඇති මහින්ද්‍රා ගේ ලංකාවේ වඩාත් දැන්වීම් යන මාදිලිය වන්නේ මහින්ද්‍රා ගස්ටෝ මාදිලිය වේ. එය ලක්ෂ දෙකකටත් අඩුවෙන් මිලදී ගත හැකිය. කාර් රියක් තරම්ම සුවපහසු යැයි දක්වන මහින්ද්‍රා ගස්ටෝ ස්කූටරය ලංකාව පුරා බෙදා හරින්නේ අයිඩියල් මෝටර්ස් වෙතිනි.

 

7. Yamaha Fascino

Scooter types in SriLanka

Source – indianautosblog.com

යමහා ෆැසීනෝ යනු පැරණි පෙනුම සහිත, එහෙත් නවීන අංගෝපාංගයන් ඇති ස්කූටරයකි. එහි ලීටර 20ක පමණ ප්‍රමාණයක බඩු සීට් එක ඇතුළේ මැදිරිය තුළ ගබඩා කළ හැකිය. එනම් කිසිම අවුලක් නැතුව ෆුල් ෆේස් හෙල්මට් එකක්ද බයිසිකලයේ ඇතුළතම දමාගෙන යා හැකිය. සිලින්ඩර ධාරිතාවය 113ක් වන යමහා ෆැසීනෝ, යමහා සුපිරි තාක්ෂණයෙන් ලාංකික වෙළඳපොළට එන සුපිරිම ස්කූටරයකි.

 

8. Suzuki Access 125

Scooter types in SriLanka

Source – motorbeam.com

සුසුකි යනු ලංකාවේ බජට් කාර් වෙළඳපොළේ ඉහළම නාමයකි. කලක් මරුති සුසුකි විසින් වසාගෙන තිබූ පාරවල් දැන් සුසුකි වැගන් ආර් විසින් අත්පත් කරගෙන තිබේ. සුසුකි මෝටර් සයිකල් සහ ස්කූටර නිමැවුමේද දක්ෂයෝ වෙති. ඔවුන්ගේ අලුත්ම ඇක්සස් ස්කූටරය සිලින්ඩර ධාරිතාවය 125කි. සිත් ඇදගන්නා නිමාවකින් යුක්ත ඇක්සස්, බලගතු පර්ෆෝමන්ස් වලින්ද සවිමත් වේ. ලංකාවේද ඇක්සස් ස්කූටර විකිණීමට තිබෙන අතර සොෆ්ට්ලොජික් හෝල්ඩින් ලංකාවේ සුසුකි ස්කූටර අලෙවි නියෝජිත වේ.

 

9. Hero Pleasure

Scooter types in SriLanka

Source – bikewale.com

හීරෝ ප්ලෙෂර් ලංකාවේ කාන්තාවන් සහ ස්කූටි ලෝලීන් අතර ජනප්‍රිය මාදිලියක ස්කූටරයකි. අබාන්ස් විසින් ගෙන්වා බෙදාහරින හීරෝ ප්ලෙෂර් බලගතු ඉදිරිපස ලාම්පුවකින් යුක්ත වේ. සිලින්ඩර ධාරිතාවය 102ක් වන ප්ලෙෂර් පැයට කිලෝමීටර 77ක සාමාන්‍ය වේගයකින් ධාවනය කළ හැකිය. අලංකාර වර්ණ කීපයකින්ම එන හීරෝ ප්ලෙෂර් හි බ්‍රේක් පද්ධතිය වඩාත් දියුණු තත්ත්වයක තාක්ෂණයකින් යුක්ත වේ.

එකිනෙකට වෙනස් ස්කූටර වර්ග 20කට වඩා ලංකාවේ වෙළඳපොළේ විකිණීමට තිබේ. ඒවා බොහොමයක් එක සමාන ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දේ. ස්කූටර මාදිලි ජාත්‍යන්තර වෙළඳපොළේ සොයා බැලුවොත්, සිලින්ඩර ධාරිතාවය 850 තරම් ඉහළ, ලංකාවේ කාර් රියකට ආසන්න වන සිලින්ඩර ධාරිතාවයක් සහිත ස්කූටරද දියුණු රටවල තිබේ. එහෙත් අප රටවල තිබෙන මාර්ග පද්ධතිය අනුව ස්කූටරයේ යාහැකි උපරිම වේගය කෙතෙක් වුවත් ධාවනය කළ යුතු වේගය පැයට කිලෝමීටර 70ට අඩුය. එම නිසා සුවිසාල විදෙස් ස්කූටර අපේ එදිනෙදා ජීවිතයට එතරම්ම වැදගත් කමක් නැත. කෙසේ වෙතත් ස්කූටි සෑම එකක් ගැනම විස්තර කළ නොහැකි වුවත්, මේ හරහා ඔබට ලංකාවේ තිබෙන ස්කූටි මාදිලි ගැන දළ අදහසක් එන්නට ඇති.

 
Cover Image Source – electricscooters.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *