ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිටි අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 7 වෙනි කොටස

පහුගිය සති දෙක පුරාවටම අපේ පරම්පරාවට කලින් පරම්පරාවේ දැන් වැඩිපුර දකින්න නැති නිළියෝ ගැන අපි කතා කළා. මේ නිසා වෙනසකටත් එක්ක අද වැඩිපුර පේන්න නැති පරම්පරා දෙකටම අයිති නිළියෝ ගැන කතා කරන්න හිතුවා.

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 1 කොට​ස

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 2 කොට​ස

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 3 කොට​ස

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 4 කොට​ස

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 5 කොට​ස

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 6 කොට​ස

 

1. පුණ්‍යා හීන්දෙනිය 

ලංකාවේ පහළ වුණු වූ විශිෂ්ටතම චරිතාංග නිළියක් විදිහට පුණ්‍යා හීන්දෙණිය ව හඳුන්වන්න පුළුවන්. ඇය තමන්ගේ චිත්‍රපටි ගමන ආරම්භ කරන්නේ ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටයක් වුණු “දෙයියන්ගේ රටේ” තුළින්. නමුත් ඇයගේ දක්ෂතා හඳුනා ගත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා “ගම්පෙරළිය” චිත්‍රපටයේ නන්දාගේ චරිතය සඳහා ඇයව තෝරා ගනු ලැබුවා.

එතැන් පටන් ඇය චිත්‍රපටි තෝරා ගැනීම පරිස්සමින් සිදු කළා. “ගම්පෙරළිය”, “කලියුගය” චිත්‍රපට දෙක පුරාවටම ඇය නන්දා වුණා. ඒ වගේම” පරසතු මල්”, “රන්සළු” ඇයගේ දක්ෂතා ප්‍රකට කළ තවත් චිත්‍රපටි නිර්මාණ කීපයක්. සිය විවාහයෙන් පසුව විදේශ රටක පදිංචියට ගිය ඇය ඒ අතරතුර කාලයේ දී “කලියුගය” චිත්‍රපටයේ රඟපෑමට පැමිණියා. ඉන් පසුව ඇයව කලා නිර්මාණ වලින් දැක ගැනීමට නොහැකි වුණත් වරින් වර ලංකාවට පැමිණෙන අවස්ථාවලදී සම්මාන උත්සව වැනි දෑවලට සහභාගී වුණා.

 

2. අනුලා කරුණාතිලක 

“ගොළු හදවත” චිත්‍රපටයේ දම්මිගේ චරිතය රඟපෑමෙන් එක රැයකින් ඇය ලංකාව පුරාම ජනප්‍රිය නිළියක් බවට පත් වුණා. මුල් අවස්ථාවේදී ඇය “ගම්පෙරළිය” චිත්‍රපටයේ නන්දාගේ චරිතය සඳහා තෝරා ගෙන තිබුණත් පසුව ඇයගේ ස්වභාවය අනුව ලයිසාගේ චරිතය සඳහා ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් ඇයව යොමු කරනු ලැබුවා. ඉන්පසු ඇය චිත්‍රපටි ගණනාවකට තමන්ගේ දායකත්වය ලබා දුන්නා. මීට දශකයකට පමණ පෙර “රන් දිය දහර” චිත්‍රපටියටත් “ඕලු” වැනි ටෙලි නාට්‍යයකටත් තමන්ගේ දායකත්වය ලබා දුන්නත් ඇයව මෑතකදී නම් කලා නිර්මාණයකින් අපිට දැක ගන්න ලැබුනේ නැහැ 

 

3. ශිරාණි කුරුකුලසූරිය 

සිය වැඩිමහල් සහෝදරිය වූ ජීවරාණි කුරුකුලසූරියගේ අඩි පාරේ යමින් සිනමාවට එක් වූ ශිරානි කෙටි කාලයක් තුළ චිත්‍රපටි 15කට පමණ සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඒ අතරින් ඇය “ලසඳා” චිත්‍රපටියේ තිස්ස විජේසුරේන්ද්‍රගේ පෙම්වතිය ලෙස සිදු කළ රඟපෑමත් “හද්දින්නත් තරු” චිත්‍රපටයේ කළ රඟපෑමත් විශේෂයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ “අක්කර පහ” සහ “දෙලොවක් අතර” යන චිත්‍රපටි සඳහාත් අතුරු චරිත වලින් තමන්ගේ රංගන දායකත්වය ඇය ලබාදුන්නා. ශිරාණිත් විවාහයෙන් පස්සේ කෙමෙන් කෙමෙන් කලා ලෝකයට සමු දුන්නා.

 

4. ශාමින්ද්‍රි හොරදාගොඩ 

ශාමින්ද්‍රි හොරදාගොඩ දායක වුණේ එකම එක ටෙලි නාට්‍යයකට පමණයි. නමුත් මෙම ටෙලි නාට්‍යය රඟපෑම නිසා ඇය අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. “කාව්‍යා” ටෙලි නාට්‍යයේ කාව්‍යාගේ නැගණියගේ චරිතය ඇය විසින් නිරූපණය කළා. කාව්‍යාට දැඩි ලෙස වෛර කරන ආකාරයේ චරිතයක් ඇය නිරූපණය කළත් සැබෑ ජීවිතයේ ඇය දැඩි ලෙස අහිංසක තැනැත්තියක් බව ඒ දිනවල පුවත්පත්වල පළ වුණා. එම ටෙලි නාට්‍ය විකාශනය වන අතරතුර දී ම විවාහ ජීවිතයට එළඹුන ඇය ඉන්පසුව වෙනත් කලා නිර්මාණ සඳහා තමන් දායක නොවන බව පවසා සිටියා.

 

5. හර්ෂිණී පෙරේරා 

“හිරිපොද වැස්ස” චිත්‍රපටය නරඹපු ගොඩක් දෙනෙක්ට එම චිත්‍රපටියේ දඟකාර ගුරුවරියකගේ චරිතය රඟපෑ සුරූපී නිළියව අමතක වෙලා නැහැයි කියලා අපි හිතනවා. ඇයගේ රඟපෑම වෙනුවෙන් ඇය සරසවි සම්මාන උළෙලේ නැගී එන නිළියට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවා. බොහෝ දෙනෙක් ඇය සිනමාව තුළ දිගු ගමනක් යනු ඇතැයි ද බලාපොරොත්තු වුණා. නමුත් අවාසනාවකට වගේ ඇය ඉන්පසුව වෙනත් කලා නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණියේ නැහැ.

 

6. නිලුපුලී ජයවර්ධන 

නිලුපුලී ජයවර්ධන කියන්නෙත් අපේ රටේ කලා ලෝකයට අහිමි වී ගිය මැණිකක්. මේ වන විට ඇය තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියෙන්නෙ චිත්‍රපටි දෙකකට විතරයි. ඒ “සුළඟ එනු පිණිස” චිත්‍රපටිය සහ සහ “සුදු කළු සහ අළු” චිත්‍රපටයි. සුළඟ එනු පිණිස චිත්‍රපටයේ ඇය රඟපෑ ඇතැම් ජවනිකා ඉතාමත් ආන්දෝලනයකට තුඩු දුන්නා. නමුත් සිනමා රංගනය වෙනුවෙන් එවැනි කැප කිරීමක් කිරීමට තමන් දෙවරක් නොසිතන බව ඇය එම දිනවල දී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් තමන්ට ගැළපෙන චිත්‍රපටියක් නොලැබීම නිසාද මන්දා ඇය ඉන් පසුව වෙනත් කලා නිර්මාණවල  දකින්නට ලැබුණේ නැහැ. මේ වන විට ඇය විවාහ වෙලා නිහඬ ජීවිතයක් ගත කරනවා.

 

7. ඉනෝකා අමරසේන 

ඉනෝකා අමරසේන සිනමාවට පිවිසෙන්නේ ශ්‍රියානි අමරසේනගේ උරුමයත් සමගින්. නමුත් ඇය සිනමාව තුළ දායක වුණේ චිතරපටි හයක් වැනි අතළොස්සක් වූ නිර්මාණ ගණනකටයි. සරසවිය සම්මාන උළෙලේ දී නැගී එන නිළියට හිමි සම්මානයත් ඇය දිනා ගත්තා. “ක්‍රිස්තු චරිතය”, “ගැහැණු ළමයි”, “යහළු යෙහෙළි”, “තරණය”, “විරාගය” සහ “වත්සලා අක්කා” ඇය දායක වූ චිත්‍රපටයි. කෙසේ නමුත් ඇය ඉන් පසුව සිනමාවට සමු දුන්නා. ඇගේ මව වූ ශ්‍රියානි අමරසේන නම් එදා සිට අද දක්වා ම තමන්ගේ ජනප්‍රියත්වය රඳා පවත්වා ගත්තා වගේම කලා නිර්මාණ වලටත් දිගින් දිගට ම දායක වෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *