ලිංගික ඉච්ඡාභංගත්වයෙන් ගැලවෙන්නේ මෙහෙමයි

ඔය සෙක්ෂුවල් ෆ්‍රස්ට්‍රේෂන්, සෙක්ෂුවල් ඩෙස්පරේෂන් වගේ නම් වලින් කියන කතන්දරයක් තියෙනවනේ. ඒ කියන්නේ තමන් ආස කරන විදියට, තමන්ට ඕන කරන විදියට සෙක්ස් ලැබෙන්නේ නැති නිසා, තමන් පත් වෙන අපේක්ෂා භංගත්වය. හැබැයි එකක්. සමහරු හිතනවා කෙනෙක් සෙක්ෂුවලි ඩෙස්පරේට් වෙන්නේ තමන්ට සහකරුවෙක් හරි සහකාරියක් හරි නැතිනම් කියලා. ඒක වැරදියි. තමන්ට කෙනෙක් ඉන්න අවස්ථාවකදී වුනත් තමන් කැමති විදියට, තමන් ආස විදියට සෙක්ස් නොලැබෙන නිසා, දෙන්නාම හරි දෙන්නගෙන් එක්කෙනෙක් හරි ලිංගික අපේක්ෂා භංගත්වයට පත් වෙන්න පුළුවන්. මේක එක්කෝ දෙන්නගෙන් එක්කෙනෙක් සෙක්ස් කරන්න කිසිසේත්ම කැමති නොවෙන නිසා වගේම, දෙන්නගෙන් එක්කෙනෙක්ගේ හරි දෙන්නගේම හරි සෙක්ස් ඩ්‍රයිව් එක ගැලපෙන්නේ නැති වීම නිසාත්, දෙන්නගෙන් එක්කෙනෙක්ගේ හරි දෙන්නගේම හරි ලිංගික නැඹුරුතාවය ගැලපෙන්නේ නැති නිසාත් වෙන්න පුළුවන්. ඔව්, අන්තිම කාරණාවත් සිද්ධ වෙන දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත්, සමරිසි මනුස්සයෙක් විසමරිසි ගැහැණියක් බඳිනවා සමාජ අපවාදයට බයෙන්. හැබැයි දෙන්නට සෙක්ස් කරන්න අමාරුයි, දෙන්නගේ ලිංගික නැඹුරුතාවයන් එකකට එකක් නොගැලපෙන නිසා. ඉතින් සිද්ධ වෙන දේ තමයි දෙන්නම ලිංගික ආතතියකට, අපේක්ෂා භංගත්වයකට ලක් වෙන එක.

 

හරි, දැන් අපි ලිංගික අපේක්ෂා භංගත්වයට හේතු කාරණා දන්නවා. දැන් බලන්න ඕන කොහොමද ඒක නිවැරදි කරගන්නේ කියන එක.

 

1. තනියෙන්ද? ස්වයං වින්දනය ගැන හිතලා බැලුවද?

ඇත්තටම මේක නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. පිරිමි උදවිය වගේම ගැහැණු උදවියත් ඕන තරම් ස්වයං වින්දනයේ යෙදෙනවා. හැබැයි ඉතින් හැමෝම ස්වයං වින්දනය කරන්නේ නෑ කියන එකත් කියන්න ඕනනේ. සාමාන්‍යයෙන් ගත්තහම 95% ක් විතර පිරිමිත්, 89% ක් විතර ගැහැණුත් ස්වයං වින්දනයේ යෙදෙනවා කියලා තමයි ඔය ගැන සංඛ්‍යාලේඛන වලින් කියවෙන්නේ. ඇත්තටම ස්වයං වින්දනය හොඳද නරකද කියන එක ගැන මේ වෙනකනුත් ලෝකේ වාද විවාද සිද්ධ වෙනවා වුනත්, ස්වයං වින්දනය නිසා ලිංගික ඉච්ඡා භංගත්වය අඩු වෙන්න, ආතතිය අඩු වෙන්න පුළුවන් කියන එක ගොඩක් අය පිළිගන්න දෙයක්. අන්න ඒ නිසා සෙක්ස් නැතුව ආතතියට පත් වෙලා ඉන්නවා නම්, ස්වයං වින්දනය කරලා බලන එක හොඳ විකල්පයක්.

 

නිකම්ම ස්වයං වින්දනයේ යෙදෙනවාටත් වඩා, ස්වයං වින්දනය සඳහා වෙනස් වෙනස් දේවල් උත්සාහ කරලා බලන එකත් හොඳ දෙයක්.

 

2. සන්නිවේදනය මුලින්ම

ඕනම ප්‍රශ්නයක් විසඳගන්න තියෙන මූලිකම ක්‍රමයක් තමයි හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීම. එතකොට කෙනෙක් ලිංගික ඉච්ඡාභංගත්වයට පත් වෙලා ඉන්නේ තමන්ගේ විවාහය හෝ ආදර සම්බන්ධතාවය ඇතුළේම නම්, ඒකට හේතු හොයාගන්න කරන්න පුළුවන් දේ තමයි එකිනෙකා එක්ක කතාබහ කරලා බලන එක. හැබැයි මෙතනදී දෙන්නට දෙන්නා අවංක වෙන්න ඕන. තමන්ගේ වැරැද්දක් තියෙනවා නම් ඒක භාරගන්නත් සූදානම් වෙන්න ඕන. අන්න එතකොට හොයාගන්න පුළුවන් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ කොතනද, ඒකට කරන්න පුළුවන් මොකද්ද කියලා. හැබැයි දෙන්නට දෙන්නා කතාබහ කරලා දෙන්නගේ ජිවිතේ ඇතුළේ තියෙන ලිංගික ඉච්ඡාභංගත්වයට විසඳුමක් හොයාගන්න බැරි නම්, හොඳම ක්‍රමය තමයි උපදේශන සේවයක් වෙත යොමු වෙන එක.

 

3. ස්ථිර නොවන සම්බන්ධතා හොඳයිද?

මේක තනි උත්තරයක් දෙන්න බැරි තරම් සංකීර්ණ කතන්දරයක්. ඇත්තටම තමන්ට පාට්නර් කෙනෙක් නැතිනම්, ඒ නිසාම ලිංගික ඉච්ඡාභංගත්වයට පත් වෙලා නම්, තමන්ට සෙක්ස් කරන්න කෙනෙක් හොයාගන්න පුළුවන් තමයි. හැබැයි එතනදී තමන්ට සහ අනික් කෙනාට කියන දෙන්නටම හොඳ අදහසක් තියෙන්න ඕන තමන් ඇත්තටම හොයන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ අපිට ඕන සෙක්ස් විතරයි නම්, හැබැයි අනික් කෙනාට ඕන අපිව විවාහ කරගන්න නම් අන්න ඒක ප්‍රශ්නයක්. ඇත්තටම ඒ වගේ මතගැටුමක් ඇතිවුණහම ඒක ලිංගික ඉච්ඡාභංගත්වයට විසඳුමක් වෙන්නෙ නෑ. අන්න ඒ නිසා දෙන්නම ඉන්නේ එකම ස්ථාවරයක කියන එක ෂුවර් කරගන්න ඕන. එකිනෙකාව පාවිච්චි නොකරන සම්බන්ධතාවයක් නම්, අවංක සම්බන්ධතාවයක් නම්, ඒක ස්ථිර නොවුණත් ගැටළුවක් නැහැ.

 

4. සෙක්ස් ඩ්‍රයිව් එක අනවශ්‍ය විදියට උපරිමයිද?

අපි උඩිනුත් කියපු දෙයක් තමයි. එක්කෙනෙක්ගේ සෙක්ස් ඩ්‍රයිව් එක පාට්නර්ට වඩා ඉතාම වැඩි වෙනකොටත් සෙක්ස් ඩ්‍රයිව් එක වැඩි කෙනාට සෙක්ස් හින්දා අපේක්ෂා භංගත්වයට පත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට කරන්න පුළුවන් එක දෙයක් තමයි තමන්ගේ අමතර එනර්ජි එක ඵලදායි විදියට යොදාගන්න මොනවා මොනවා හරි දේවල් හොයාගන්න එක. උදාහරණයක් විදියට ජිම් එකට යන එක, මොනවා හරි ක්‍රීඩාවක යෙදෙන එක, යෝගා වගේ දේවල් කරන එක, මොකක් හරි ආස කරන ව්‍යාපෘතියක් පටන් ගන්න එක වගේ ඕනෑම දෙයක්. මේ වගේ දේවල් ඇත්තටම දෙන්නටම එකතු වෙලා කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒකෙන් සෙක්ස් ලයිෆ් එකටත් යම් විදියක වෙනසක් ලබාගන්න පුළුවන් වෙයි.

 

5. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්

ලිංගික ඉච්ඡා භංගත්වයට තියෙන එකම විසඳුම කොහොම හරි සෙක්ස් හොයාගන්න එකම නෙවෙයි. ඊට වඩා, තමන්ගේ ජීවිතේ සෞඛ්‍ය සම්පන්න පැත්තට නැඹුරු කරගන්න පුළුවන් නම්, ඒකෙන් සෙක්ස් නැති අප්සට් එකත් විවිධ විදියට මග හරවා ගන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියන්නේ දෛනික ව්‍යායාම එක්ක, සෞඛ්‍යසම්පන්න හා පෝෂ්‍යදායී සමබර ආහාර රටාවක් එක්ක, නිරන්තර ක්‍රියාශීලීභාවයක් එක්ක ජීවිතේ හදාගන්න එක. ඒකෙන් තමන්ගේ සෙක්ස් ලයිෆ් එකත් සෞඛ්‍ය සම්පන්න කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ට පෙම්වතෙක් හෝ පෙම්වතියක් නැති නිසා ලිංගික ඉච්ඡාභංගත්වයට පත් වෙලා ඉන්න කෙනෙක්ට වුනත් යම් විදියක සහනයක් ලැබෙන්න පුළුවන්.

 

6. සෙක්ස් ලයිෆ් එකේ වෙනසක්

විවාහ වෙලා හරි ප්‍රේම සම්බන්ධතාවයක හරි ඉන්න දෙන්නෙක්ගේ සෙක්ස් ලයිෆ් එක බෝරින් වෙලා නම්, සෙක්ස් හරියට නැතුව අපේක්ෂා භංගත්වයට පත් වෙලා නම් කරන්න පුළුවන් සාර්ථක දෙයක් තමයි තමන්ගේ සෙක්ස් ලයිෆ් එකේ වෙනසක් කරලා බලන එක. ඒ කියන්නේ වෙනස් විදියේ පසුතලයක, වෙනස් වෙනස් විදියේ ලිංගික උත්තේජන ක්‍රම අනුගමනය කරලා බලන එක. හැබැයි මෙතනට යන්න නම් අර උඩින් කියලා තියෙන සන්නිවේදනය අති වැදගත්. ඉන් පස්සේ පුළුවන් දෙන්නගේම කැමැත්ත එක්ක ඒ දේවල් රසවිඳින්න. මෙතනදී සෙක්ස් ටෝයිස් වගේ දේවල් පාවිච්චි කරත් කමක් නැහැ. ඒ වගේම අපි කලිනුත් කියලා තියෙන විදියට, සෙක්ස් කරන්න ආසාව ඇතිවෙන විදියේ යම් යම් වෙනස් විදියේ දේවල් කළත් කමක් නෑ.

 

7. සෙක්ස් ප්‍රශ්න වලට විසඳුමක්

මෙන්න මේක ඇත්තටම සෞඛ්‍ය සම්පන්න ජීවිතේකටත් අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ, සමහරුන්ට ලිංගික ඉච්ඡාභංගත්වය ඇතිවෙන්න හේතුවෙනවා එක්කෝ තමන්ගේ ලිංගිකත්වයේ තියෙන සෞඛ්‍ය ගැටලු. එහෙම නැතිනම් තමන්ගේ පාට්නර්ගේ ජීවිතේ තියෙන සෞඛ්‍ය ගැටළු. ආන්න එතකොට ලිංගික ඉච්ඡාභංගත්වයෙන් මිදෙන්න නම් කරන්න වෙන්නේ ඒ ගැටළු විසඳාගන්න එක. ඒ ගැටළුව පාට්නර්ගේ නම්, අර උඩින් කියපු සන්නිවේදනය භාවිතා කරලා ඒ ගැටළුව විසඳාගන්න උදවු කරන එක. උදාහරණයක් විදියට කිවුවොත්, ප්‍රශ්නේ තියෙන්නේ පාට්නර්ගේ ශාරීරික පිරිසිදුකමේ වෙන්න පුළුවන්. අන්න එතකොට ඒක කියලා විසඳගන්න ඕන දෙයක්. එහෙම නැතිනම් ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ ලිංගික අප්‍රාණිකත්වයේ වෙන්න පුළුවන්. ඒකට හේතුව තමන්ගේ අධික දුම්පානය වෙන්න පුළුවන්. අන්න එතකොට ඒකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සහ ඒ අනවශ්‍ය ඇබ්බැහියෙන් මිදෙන එක වැදගත්.

 

කොහොමත්, සෙක්ස් ජීවිතේට අනවශ්‍ය ශාරීරික හා මානසික ප්‍රශ්න ඇති කරන ඇබ්බැහි සහ පුරුදු තියෙනවා නම්, ඒවායින් මිදෙන එක, ලිංගික ඉච්ඡාභංගත්වයට හොඳ පිළිතුරක්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *