හොඳ වේවා, නරක වේවා ලංකාවේ වැඩි දෙනෙක්ගේ ලයිෆ් එක රැඳිලා තියෙන්නේ සමාජ මාධ්‍ය ඇතුළේ තමයි. ඒවා අතරිනුත් ෆේස්බුක් එක තමයි ලංකාවේ තවමත් අංක එක. යාළුවෝ එක්ක සෙට් වෙන්න, දේවල් කියවන්න, ෂෙයාර් කරගන්න ෆේස්බුක් ආවට මොකද සමහර ෆේස්බුක් චරිත නිසා දවසම මස්ත බාල්දු වෙලා යන අවස්ථාත් තියනවා. ඉනිත් අපේ විනෝදය උදෙසා අපි හොයාගෙන එන ෆේස්බුක් එක අනිකාගේ විනෝදය නිසා කෙළ වෙලා ෆුල් අප්සැට් වෙලා යනවා. මේ කියන්න යන්නේ එහෙම හමුවන ෆේස්බුක් චරිත 7ක් ගැන.
1. ඉස්පොයිලර් බුවා
ෆේස්බුක් එකේ දැන් සිනමා සහ ටීවී සීරීස් ගෘප් වැහි වැහැලා. ඒ වගේම චිත්‍රපට, ටීවී සීරීස් බලලා තමන්ගේ අත්දැකීම් කමෙන්ට්, පෝස්ට් හරහා ෂෙයාර් කරගන්න පිරිසත් සෑහෙන ඉන්නවා. මේ අය ඔක්කොම අතරින් එපාම කරපු පිරිස තමයි චිත්‍රපටයක, ටීවී සීරීස් එකක කතාවම ස්පොයිල් කරන උදවිය. ඒ කිවුවේ කතාවේ අවසානය ඇතුළු රසවත් දේවල් ඔක්කොම පෝස්ට් වලින් කමෙන්ට් වලින් හෙලිදරවු කරන අය. ඉතින් ඉදිරියේදී ඒ චිත්‍රපටය හරි ටීවී සීරීස් එක හරි බලන්න ආසාවෙන් ඉන්න උදවියට ඒ අදහස් අත්හැරගන්න හිතෙනවා ඒ විදිහේ පොල්ලෙන් ගහන්න වගේ කතාව ගැන ස්පොයිල් කරන අයගෙ කමෙන්ට්, පෝස්ට් දැක්කම. කතාවක් ගැන එහෙම හෙළිදරවු වෙන දේවල් දානවනම් අඩුම තරමේ ඊට උඩින් කතාව ස්පොයිල් වෙන්න ඉඩ තියන බවට අනතුරු ඇඟවීමක්වත් දාන එක තමයි හරි ක්‍රමය වෙන්නේ. එහෙම නැතුව තමන් බැලුවාය කියලා පෙන්නන්නත්, තමන්ගේ පණ්ඩිතකම පෙන්නන්නත් ගිහින් අනුන්ගේ විනෝදයට හානි කරන එක හොඳ නැහැ.
2. තමන්ගෙ ජීවන රටාව බලෙන්
මේ අනිත් උදවිය. මිනිස්සු එක එක විදිහේ දේවල් තමන්ගේ ජීවිතයට පුරුදු හැටියට ළං කරගෙන ඉන්නවා. සමහරු කැමතියි වෙජිටේරියන් ආහාර විතරක් ගන්න, සමහරු කැමතියි ශරීරය හැඩට ලස්සනට පවත්වාගෙන යන්න. ඒක ඒ අයගේ කැමැත්ත සහ නිදහස. ඒත් සමහරු එතනින් නොනැවතී තමන්ගේ කැමැත්තවල්, ජීවන පුරුදු අනිත් අයගේ පිටත් බලෙන් පටවන්න යනවා. කෙනෙක් රසවත්ව උයාගත්ත මස් හෝ සොසේජස් පිඟානක් දැම්මහම “අම්මෝ තෙල්, අම්බෝ පිළිකා, ඔහොම මස් කන්න හොඳඳ?” කියල දාල ඒ මනුස්සයට කෑමත් එපා කරනවා. තමන්ගේ ප්‍රොෆයිල් පින්තූරයක් දැම්මහම “තවත් මහත් වෙලා, ටිකක් කෙට්ටු වුණොත් නරකද, යකෝ එක්සයිස් ටිකක් කරලවත් ඔය බඩ බස්සගනින්” වගේ කතන්දර කියනවා. ඇත්ත. හිතවත්කමට මේ වගේ දේවල් කියන උදවිය ඉන්නවා තමයි. නමුත් ඒවා කියන්න ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය භාවිතා කරන්න ඕනෙ නැහැනේ.
3. ආගමික/නිරාගමික අදහස් බලෙන්
මේකත් අපි කලින් කියපු කෑම බීමවලට සම්බන්ධ වෙන අවස්ථා තියනවා. මනුස්සයෙක් බිත්තරයක් තම්බපු පින්තූරයක් දැම්මත් පවුකාරයෝ කියලා දොස් කියන උදවිය ඉන්නවා. කවුරුහරි අපරාධයක් කළත්, ඒක ඒ මනුස්සයගේ ආගමේ වරදක්ය කියලා දොස් කියන උදවිය ඉන්නවා. මේ අතරතුර මේ හැම එකකින්ම තමන් මිදිලා ඉන්නේ කියලා පෙන්නන්න හදන ‘නිරාගමික අන්තවාදියො’ත් ඉන්නවා. මනුස්සයෙක් කාටවත් හානියක් නැතිව තමන්ගේ හිතේ සැනසීමට හරි එල්ලිලා ඉන්න විශ්වාසයකට පයින් ගහලා කුඩු කරලා කුරිරු ආතල් ගන්න තමයි ඒ සමහරු උත්සාහ කරන්නේ.
4. විනිශ්චයකාරවරුන්
මේ කියන උදවියට අපේ එක ෆොටෝ එකක්, ස්ටේටස් එකක් දැක්කම ඇති අපේ මුළු ජීවිතේම ගැන අවබෝධයක් ගන්න. දවසක් දෙකක් බියර් වීදුරුවක් බොන පින්තූරයක් ෆේස්බුක් දැම්මම ඔන්න මේ උදවිය කමෙන්ට් කරනවා “දැන් බොනවා වැඩියි නේද?, බීම ටිකක් අඩු කෙරුවොත් නරකද?, අදත් බොනවද?” වගේ ඒවා කියලා. නොකියාම අපිව බේබද්දෝ ගාණට දානවා. ළමයෙක්ට උපන්දිනේකට හරි අයිස් ක්‍රීම් එකක්, පැණි බීම වර්ගයක් අරන් දීලා පින්තූරයක් දැම්මොත් “ළමයින්ට ඕවා හොඳඳ?, අනේ පොඩි දරුවන්ට මේවා දෙන්න මොළේ නැද්ද ඔයාලට” වගේ ඒවා දාලා ඒ මිනිස්සුන්ගෙ සතුට විනාස කරනවා. තමන්ට නොරුස්සන යමක් ෂෙයාර් කළහම ඒ උදවියව නොයෙකුත් පක්ෂ සහ කල්ලි වලට වෙන් කරලා හඳුන්වන උදවියවත් මේ කැටගරියට දාන්න පුළුවන්.
5. මෝඩ තර්කකරුවා
මේ පිරිස එක්කනම් යමක් කතා කරන එක තේරුම් කරන එක ඇත්තටම නිශ්ඵල ක්‍රියාවක්. මොකද මේ අය මවාගත් ලෝකයක ඔහේ පාවෙලා, ආඩම්බර වෙන්න දෙයක් නැති කමට සමහර මෝඩ විශ්වාසවලට එල්ලිලා ඉන්න උදවිය. උදාහරණයක් හැටියට ඔය සමහර රාවණා ලෝලියෝ හඳුන්වන්න පුළුවන්. ලෝකේ කොයි කොනක මොන සොයාගැනීම කළත් මේ අයට අනුව ඒ හැමෝටම කලින් ඒ දේ හොයාගෙන තියෙන්නේ රාවණා විසිනුයි. මේ එක උදාහරණයක් විතරයි. ඒ කාලේ අපේ අතීත මුතුන් මිත්තෝ ඇඳුම් අඩුවෙන් ඇඳන් හිටියා කියන එකවත් පිළිගන්න අකමැති මේ අය, ඉතිහාසගත සාක්ෂි ඇතුව යමක් පෙන්නුම් කළත් ඒ අයට අසභ්‍ය විදිහට පරිභව කරන්න පෙළඹෙනවා. විශේෂම වැඩේ වෙන්නේ මේ අය කොයි තරම් සැරට තමන්ගේ මත අනුන්ගේ ඔළුවල අතුල්ලන්න ගියත්, ඒවා ඔප්පු කරන්න ඒ අයට සාක්ෂි මොකුත් නැති වීමයි. ඒ වගේ වෙලාවට අනිත් මනුස්සයාගේ ජාතකය මතක් කරන එක විතරයි ඔවුන්ගේ විකල්පය.
6. දේශපාලනික වහලා
කොච්චර මධ්‍යස්ථව පෙනී හිටියත් සමාජ මාධ්‍ය වල ඉන්න අති බහුතරේකට තමන්ගේ හිත කැමති දේශපාලන පක්ෂයක්, නායකයෙක් ඉන්න බව නොරහසක්. හැබැයි ගොඩක් උදවිය මේ තත්ත්වය පුළුවන් තරම් වසන් කරගෙන ඉන්න උත්සාහ කරනවා. තවත් සමහරු කෙලින්ම තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකත් අපි ලොකු වරදක් හැටියට දකින්නේ නැහැ. හැබැයි තවත් සමහරුන්ට මේ දේශපාලනික කැමැත්ත කියන එක රෝගයක් වගේ ඔඩු දුවලා තියනවා. ඒ අය තමන්ගේ දේශපාලනික දර්ශනයට හානියක් වෙනවා කියලා හිතන ඕනම දේකට, ඕනෑම කෙනෙක්ට පහර දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. උදාහරණෙකට අපි හිතමු මනුස්සයෙක් තමන්ට රජයේ ආයතනයක වෙච්ච අකටයුතුකමක් ගැන සාක්ෂි ඇතුව යමක් දැම්මා කියලා. අපි මේ කියන විදිහේ වහලෙක් කරන්නේ ඒ අකටයුතුකම ගැන යමක් කියනවාට වඩා. “දැන්ද මේවා දාන්න මතක් වුණේ?, ඇයි කලින් උන්ගෙ කාලෙ මේවා වුණේම නැද්ද?” වගේ තර්ක ගෙනහල්ලා ඒ ප්‍රශ්නය තනිකරම දේශපාලන පක්ෂ අතර ගැටුමක් බවට පත් කරන්න හදන එකයි.
7. ප්‍රශ්නකරු
මේ විදිහේ උදවිය ඇත්තටම බොහොමයක් නොදැනුවත්කම නිසා මේ විදිහට ක්‍රියා කරන උදවියයි. සමහරු නම් නිකන් අනුන්ගේ කාලේ නාස්ති කරන්නත්, වාචාල කමටත් ඒ විදිහට ක්‍රියා කරනවා. ඒ තමයි සරළව අන්තර්ජාලයේ සෙවුමක් දාලා හොයාගන්න පුළුවන් දේකුත් ෆේස්බුක් එකෙන් ප්‍රශ්න හැටියට අහන එක. එහෙමත් නැත්නම් පැහැදිළිවම සඳහන් කරලා තියන දෙයක් ගැන නැවත නැවතත් ප්‍රශ්න අහන එක. උදාහරණයකට අපි හිතමු කෑමක රෙසිපියක් ගැන දැම්මා කියලා. එතකොට ඒකේ අමුද්‍රව්‍ය ගැන පැහැදිළිවම සඳහන් කරලා තියෙද්දිත් සමහරු අහනවා “පිටිත් දානවද? බදින්නත් ඕනෙද?” වගේ ප්‍රශ්න. ඇත්තටම කෙනෙක් තමන්ගේ සැක දුරු කරගන්න ෆේස්බුක් හරහා උදවු ඉල්ලන එක අතිශය සාධාරණයි. ඒත් ඉතාම පහුසවෙන් ගූග්ල් සෙවුමක් දාලා හරි අදාළ ලිපිය කියවලා හරි හොයාගන්න පුළුවන් දෙයක් ගැන අනවශ්‍ය ප්‍රශ්න අහන එක ගොඩක් දෙනෙක්ට අනවශ්‍ය කරදරයක්.
Leave a Reply