මේස් කියන්නෙ පිරිමි පාර්ශවය එදිනෙදා ජීවිතේ භාවිතා කරන පැළඳුම් අතරේ අනිවාර්ය අංගයක්. ඔෆිස් ඇඳුමට වගේම කැෂුවල් ඇඳුමට උනත් සපත්තු දෙකක් දානවනම් මේස් දෙකකුත් දානවාමනේ. පිරිමි පාර්ශවයට අමතරව ඉස්කෝලේ යන ළමයිනුත්, ඉඳලා හිටලා ගැහැණු අයත් මේස් පාවිච්චි කරනවා. එහෙම බැලුවම මේස් කියන්නෙ බහුතරයක් දෙනාගේ ජීවිතේ කොටසක්.
මේස් කියලා කියන්නෙත් අනිත් හුඟක් නූතන ඇඳුම් පැළඳුම් වගේම අපිට බටහිර සංස්කෘතියෙන් ලැබුණ පුරුද්දක්. හැබැයි ඉතින් එච්චර දවස ගාණෙ පාවිච්චි කළාට මේස් කියන්නෙ අපි වැඩිය කතාබහ කරන මතෘකාවක්නම් නෙමෙයි. ඉතින් හොඳ හෝ නරක වේවා මේ අපේ ජීවිතේ අනිවාර්ය කොටසක් වෙලා තියෙන මේස් ගැන අපි ටිකක් කතා කරල බලන්න හිතුවා. මේස් දිනපතා අපිට කරන සේවයට අපිත් ඉතින් සාධාරණයක් කරන්න එපැයි.
1. ඉතිහාසය
මේස් කියන්නෙ කාලාන්තරයක් තිස්සෙ වෙනස් වෙමින් ඇවිල්ලා 1800 වසරෙදි මැශින් භාවිතා කරල මැසීම ආරම්භ කරපු, අද වෙද්දි මහා පරිමාණව නිෂ්පාදනය වෙන ඇඟළුමක්. 1800ට කලින් මේස් මැසීම සිද්ධ වෙලා තියෙන්නෙ අතින්. තම තමන්ගේ උවමනාවන් වලට සරිලන ගෘහස්ත නිෂ්පාදනයක් විදිහට විතරයි. ඊටත් කලින් 16 වෙනි ශතවර්ෂයෙදී පදම් කරපු සත්ව හම් කකුලේ උඩ කොටසට වෙනකං තියලා බැඳගෙන මේස් විදිහට පාවිච්චි කලා5 කියල තමයි සඳහන් වෙන්නෙ. තව සත්ව ලෝම වලිනුත් මේ කකුල් ආවරණය කරන මේස් නිෂ්පාදනය ඒ මුල්ම කාලෙ සිදුකරලා තියෙනවා. මුල් කාලෙදි මුලිකම අවශ්‍යතාවය වෙන කකුල් ආරක්ෂා කිරීම කරගන්න මේ විදිහට පාවිච්චි කරපු උපක්‍රම තමා පහුකාලීනව මේස් විදිහට වැඩිදියුණු වෙලා වෙළඳපලට එන්නෙ.
2. මේස් පළඳින්නේ ඇයි?
අපි කලිනුත් කිව්ව වගේ මේස් කියන්නෙ ඇත්තටම කකුලේ ආරක්ෂාවට පළඳින ඇඟළුමක්. යුරෝපීය රටවල අධික සීතලෙන් කකුල් ආරක්ෂා කරන්න වගේම සපත්තු දැම්මම ඇතුළේ ඇතිවෙන තැම්බෙන ගතියට විසඳුමක් විදිහට ඇතුළේ රැඳෙන අනවශ්‍ය තෙතමනය උරාගන්නත් මේ මේස් භාවිත කරනවා. ඒ වගේම කකුල් සපත්තුවේ ඇතුළත හමේ වැදිලා කකුලට වෙන හානිය අවම කරන්නත් මේස් උදව්වක් වෙනවා. කකුලයි සපත්තුවයි අතරේ රැඳුන කුෂන් එකක් වගේ මේස් වලින් කකුලට ආරක්ෂාවක් ලැබෙනවා.
3. Socks කියන නම
භාෂා කිහිපයකින්ම ගැලවිලා ආපු වචනයක් විදිහට තමයි මේ socks කියන නම අන්තිමට ඉතුරුවෙලා තියෙන්නෙ. මුලින්ම sykchos කියන පුරාණ ග්‍රීක වචනය soccus විදිහට වෙනස් වෙලා ලතින් වචනයක් විදිහට භාවිතා වෙලා තියෙනවා. ඒ රෝම විකට නළුවන් විසින් දාපු සැහැල්ලු සපත්තු හඳුන්වන්න. පස්සෙ ඒ නමම පුරාණ ඉංග්‍රීසි භාෂාවෙන් socc කියල වෙනස් වෙලා තමයි අද වෙද්දි socks කියන නම හැදිලා තියෙන්නෙ.
4. මේස් පැළඳීමේ අතුරු වාසි
අපි පුරුද්දක් විදිහට මේස් දාන්නෙ ඉස්කෝලෙ යන්න, රැකියාවට යන්න හෝ ක්‍රීඩා කටයුත්තකට යන්න සපත්තු දානවනම් නේ. හැබැයි අධික සීතල පරිසරයකදී කකුල් සීතලෙන් ආරක්ෂා කරගන්නත් මේස් පළඳින්න පුළුවන්. ඒ වගේම දිනපතා නින්දට යන්න කලිනුත් මේස් පැළඳලා නිදාගන්න එකෙන් සෞඛ්‍ය වාසි අත්කරගන්න පුළුවන්. නින්දට යද්දි මේස් පළඳින එකෙන් කකුල් උණුසුම් වෙන නිසා මොළයට දැනුම් දීමක් වෙනවා ශරීරයේ උණුසුම අඩු මට්ටමක පවත්වාගන්න. ඒකෙන් ඉක්මන් වගේම සුවදායක නින්දක් ලබාගන්න පුළුවන් කියල තමයි කියන්නෙ.
5. වැඩි වෙලාවක් මේස් පැළඳගෙන ඉන්න එක නරකද?
මේක හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. මේස් පළඳින එකේ මූලිකම අරමුණ සීතලෙන් කකුල් ආරක්ෂා කරන එක උණාට ලංකාව වගේ ටිකක් රස්නේ රටක එක දිගට මේස් දාගෙන ඉන්න එක ලේසි නැහැ. ඒ නිසා හැමෝම හිතන්නෙ මේස් දාගෙන වැඩිවෙලාවක් ඉන්න එක අහිතකරයි කියලා. ඒත් ඇත්තටම ඒක එහෙම නැහැ. නිෂ්පාදනය කරන රෙදි වර්ගයේ වෙන ආසාත්මිකතා නැත්තම් මේස් දෙකක් එක දිගට පැය 10 -16 දක්වා වුණත් දාගෙන ඉන්න එක ගැටළුවක් නෙමෙයි. හැබැයි ඒ මේස් පිරිසිඳු මේස් වෙන්න ඕන. ඒ කියන්නෙ හොඳට සෝදලා, වේලාගත්ත ඒව. ඒ වගේම මේස් දාන්න කලින් කකුල් හොඳින් පිරිසිඳු කරලා වියළා ගන්නත් ඕන. එහෙම නැතුව පාවිච්චි කරපු මේස් ආයෙ ආයෙ දැමීමෙන් හෝ අපිරිසිඳු හෝ තෙත කකුල් වලට මේස් දැමීමෙන් නම් ගැටළු ඇතිවෙන්න පුළුවන්.
6. විවිධ මේස් විලාසිතා
මේ මේස් වලත් එක එක හේතු නිසා නිපදවපු විවිධ විලාසිතා තියෙනවා.
- No-show Socks
- Anckle Socks
- Crew length Socks
- Mid-calf length Socks
- Knee high Socks
- Over-the-knee Socks
- Thigh high Socks
7. හොඳම මේස් වර්ග
මේස් කියන්නෙ විලාසිතාවක්ම නොවුනට අනිත් හැම ඇඳුමක් පැළඳුමක්ම වගේ මේස් වලටත් තියෙන අධික ඉල්ලුම නිසාම විවිධ සන්නාම වලින්, විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්න පුළුවන් මේස් වර්ග වෙළඳපොලේ තියෙනවා. ඔය අපි කියන බ්‍රෑන්ඩඩ්, ඒ කියන්නෙ ඉහළ සන්නාම යටතේ නිපදවෙන මේස් එහෙමත් තියෙනවා. ඒ අතරින් Nike, Adidas, Missoni, Happy Socks, Givenchy, Gucci, Calvin Klein, Hugo Boss වගේ වෙළඳ නාම ඉහළින්ම ඉන්නවා. අපි සුළුවෙන් තැකුවට අනිත් ඇඳුම් පැළඳුම් වගේම විලාසිතා ලෝකෙ ඉහළම තැනක් මේ මේස් වලටත් හිමිවෙලා තියෙනවා.
Leave a Reply