ඇමරිකාව සොයාගත්තේ කොලම්බස් නම් ඉන්දියාව සොයාගත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයෝය. කොලම්බස් සොයාගැනීමට ප්‍රථමද ඇමරිකාවක් තිබුන නමුත් එය අද පවතින තත්වයට පත් කිරීමේ පලමු අඩිය කොලම්බස් ඇතුළු නාවිකයින් සතු වේ. ඒ ආකාරව හිමාලයෙන් පහලට මුහුදෙන් වටවූ මහා ඉන්දියානු ගොඩබිම වර්තමාන ඉන්දියාව ලෙස හදුන්වන මහා රට බවට පත් කලෝ ඉංග්‍රීසින් ම විය. වර්තමාන ඉන්දියාව හැඩයේ ඉන්දියානු අධිරාජ්‍යයක් කිකලක වත් එම පොළවේ නොතිබුණි. අශෝක අධිරාජයාට පවා ඉන්දියානු දක්ඛිණ දේශය යටත්කරගත නොහැකි විය. ලංකාව මාලදිවයින යටත්කරගෙන ඉන්දුනීසියාව දක්වා දික්ව්ජය කළ රාජ රාජ, රාජේන්ද්‍ර ආදී ශ්‍රේෂ්ඨ සොළී (චෝල) නරපතීන්ටද වර්තමාන ඉන්දියාව මෙන් විශාල පදාසයක් සිය අණසකට ගැනීමට නොහැකි විය.
1. දුම්රිය ගමනේ ආරම්භය
එක් තැනකින් තවත් තැනකට යෑමේදී ගොඩබිම ඇති ලාබදායීම ප්‍රවාහන මාධ්‍යය දුම්රිය වේ. මෝටර් කාරය සාර්ථකව පැතිරයන්නට බොහෝ කාලයකට පෙර ඉපදි වාශ්ප දුම්රිය ඉන්දියානු ගොඩබිම එකිනෙක යා කරන මුතු වැලක් මෙන් කරවීය. මදුරාසිය, කල්කටාව, බොම්බාය, සහ දිල්ලිය යන ඉන්දියාවේ ප්‍රධාන මධ්‍යස්ථාන හතර අතර ගනුදෙනු සිදුකරගත හැකි වූ මූලික මාර්ගය වූයේ දුම්රිය සේවයයි. බ්‍රිතාන්‍යය ඉන්දියාව වෙත දුන් දායාදයක් ලෙසම එය දැක්විය හැකිදැයි යම් යම් ගැටළු තිබුණත් කෙසේ හෝ ඉදිවූ දුම්රිය මග ඉන්දියානු නගර එකිනෙක යාවූ දැලක් මෙන් සවිමත් කරන්නට සමත් විය.
2. ඉන්දීය දුම්රිය සේවයේ වග විස්තර
දුම්රිය මාර්ගයන්හි දිග – 119,630
දුම්රිය ස්ථාන – 8500
2017 වර්ශයේ ගෙනගිය මගීන් – බිලියන 8.26
2017 කාලයේ ගෙනගිය බඩු ප්‍රමාණය – මෙට්‍රික් ටොන් බිලියන 1.16
දිනකට භාවිතා කරන සාමන්‍ය මගීන් – මිලියන 22
දිනකට භාවිතා වන දුම්රිය ගණන – 13,313
දුම්රියේ සාමාන්‍ය වේගය – පැයට කිලෝමීටර 50.9
බඩු දුම්රිය පෙට්ටි – 254,006
මගී දුම්රිය පෙට්ටි – 70,241
දුම්රිය එන්ජින් ගණන – 11,122
සේවකයින් ගණන – මිලියන 1.33
දුම්රිය සේවයේ 2015-16 ලාභය – ඇමරිකානු ඩොලර් බිලියන 7.8
ඉන්දියානු දුම්රිය සේවය ලාබ ලබන දුම්රිය සේවයකි. ලෝකයේ වැඩිම සේවකයින් ප්‍රමාණයක් සහිත ආයතන අතරින් ඉන්දියානු දුම්රිය සේවය ලක්ෂ 13කට අධික සිය සේවකයින් සංඛ්‍යාව සමග ලොව සේවකයින් වැඩිම ආයතන අතුරින් ජයග්‍රාහී අටවැනි ස්ථානයට පත්ව තිබේ. ඉන්දියානු දුම්රිය සේවයේ දුම්රිය ටිකට් පත්වෙන්කරගැනීම සඳහා පරිගණක ගත පද්ධතියක් භාවිතා කරන්නේ 1986 සිටය. වර්තමානයේ දුම්රිය සේවයේ ටිකට්පත් වෙන්කරගැනීම අන්තර්ජාලයෙන් කල හැකි අතර දුරකතන ඇප් එකක් මාර්ගයෙන්ද දුම්රිය ටිකට් වෙන්කරගත හැකිය. වර්තමානයේ ක්‍රියාත්මක ප්‍රතිසංවිධාන වැඩකටයුතු ඔස්සේ ටිකට්ටුුවක තරමේ වත් කඩදාසියකින් තොරව දුම්රිය සේවයේ ලැයිස්තු ආදිය පවා කඩදාසි රහිතව කිරීමට ඉන්දියානු දුම්රිය සේවය අදහස් කරගෙන සිටී.
3. දුම්රිය ජාති
ඉන්දිය දුම්රිය සේවය විවිධාකාර දුම්රිය රැසකින් සමන්විත වේ. දිග දුර දුවන සීඝ්‍රගාමී වායුසමනය කරන ලද සැප දුම්රිය මෙන්ම කෙටි දුරක් යන සාමාන්‍ය මගී දුම්රියද ඉන්දියානු රේල් පීලි මත ධාවනය වේ.
රාජධානි, ඩුරන්ටෝ, ගරීබ් රාත්, හම්සෆර් යනු සමස්ත දුම්රියම අධිවේගී වායුසමනය කරන ලද දුම්රිය වේ. මගියාට අවශ්‍ය ආහාරපාන සහ නිදන පහසුකම්ද කදිමෙට ඇති මෙම වායුසමනය කරන ලද දුම්රියන්හි ගාස්තුව තරමක් මිල වැඩිය. මේ දුම්රිය දින දෙක තුනක් පුරා ධාවනය වන අතර බොහෝ දුම්රිය වල නිදන මැදිරි අන්තර්ගත වේ. රෑට නිදන පහසුව ඇති එම දුම්රියන්හි ඇඳ දවල් කාලයට කදිම සනීප ආසනයකි.
එක්ස්ප්‍රස්, සුපර්ෆාස්ට්, මේල් එක්ස්ප්‍රස් ආදිය සාමාන්‍ය දිගු දුර දුවන දුම්රිය වේ. දිල්ලිය සහ චෙන්නායි අතර දුර කිලෝමීටර 2100කට වැඩිය. එවන් වූ විශාල දුරවල් ධාවනය කරන එක්ස්ප්‍රස් දුම්රියන් එක්තරා කලකදී නම් අධිවේගී දුම්රියන්ම විය. දුම්රිය පැමිණෙන්නට ප්‍රථමයෙන් බෙංගාලයේ කල්කටා සිට මහාරාෂ්ට්‍රයේ මුම්බායි දක්වා ලිපියක් ගෙනයෑමට මසකටත් වඩා වැඩි කාලයක් ගත වූ බැව් යටත්විජිත සමයේ වාර්තා බැලූකල පෙනී යයි. පැයට කිලෝමීටර 40-70 අතර ධාවනය මෙම එක්ස්ප්‍රස්, සුපර්ෆාස්ට්, මේල් දුම්රියන් අද වනවිට නම් අධීවේගයන් ලෙස සැලකිය නොහේ. එහෙත් වර්තමානයේද දුප්පත් මගී ජනයා අඩුමිල තත්ත්වය හේතුවෙන් මෙම දුම්රිය කරා නැඹුරු වේ.
ශටාබ්දී, ජාන් ශටාබ්දී, සහ එක්දින මගී දුම්රිය දිනක් තුලදී ගමනාන්තය වෙත ලගා වේ. පෙර කී දිග දුර ධාවනය වන දුම්රිය සැදී ඇත්තේ නිදන සයනයක්ද නිර්මාණය කරගැනීමට හැකි ආකාරයටය. එහෙත් දිනකදී කිලෝමීටර දෙතුන්සීයක දුරක් ලංකාවේදී මෙන් ගෙවායන සාමාන්‍ය දුම්රිය තිබේ. ඒවා වඩාත් නවීකරණය වී පැයට කිලෝමීටර 100ද ඉක්මවා ඇතැම් තැන්වලදී ධාවනය වී වායුසමන පහසුකම්ද මගියාට ලැබෙන කළ එම දුම්රිය ඉන්දියානු දුම්රිය සේවයේදී ශටාබ්දී දුම්රිය ලෙස හැදින්වේ.
4. එක් ගමනක් ගෙන බලමූ. දුම්රිය ගැන ඉගෙන ගමූ
ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේ සිට අග්‍රා දක්වා කිලෝමීටර දෙසීයකි. එම ගමන ඕනා නම් පෑ එකකුත් විනාඩි 35 කින්ද පෑ හයකුන් විනාඩි 8කින්ද යා හැකි ලෙස එකිනෙකට වෙනස් මගී දුම්රිය 134ක් හරහා දිල්ලියේ සිට අග්‍රා කරා පිවිසීමට හැකිය. දිල්ලි නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථාන 5කින්ද අග්‍රා හි දුම්රිය ස්ථාන තුනකින්ද මගීන්ට එම දුම්රිය කරා එළැඹිය හැකිය. දිල්ලි සිට අග්‍රා දක්වා දිවෙන ඉන්දියාවේ වේගවත්ම දුම්රිය වන ඝටිමාන් එක්ස්ප්‍රස් හි ගමනට ඉන්දියානු රුපියල් 769ක් වැය වේ. පෑ හයකින් දුම්රිය ස්ථාන 28ක නවත්වා යන සාමාන්‍ය දුම්රියක එම ගමනට යන්නේ ඉන්දීය රුපියල් 45ක් පමණි. එනම් සාමාන්‍ය දුම්රිය ගමනට වඩා විශාල මිලක් සැපපහසු, වායුසමනය කරන ලද වේගවත් දුම්රිය සදහා ඉන්දියානු දුම්රිය මගියා විසින් දැරිය යුතුය.
5. දුම්රියක දිග
ලංකාවේ සාමාන්‍යයෙන් ධාවනය වන දිගම දුම්රිය පෙට්ටි 15කින් සමන්විත වේ. එහෙත් ඉන්දියාවේ දිගු දුර ධාවනය වන දුම්රිය ලංකාවේ දුම්රිය පෙට්ටි වලටත් වඩා දිග වූ පෙට්ටි 24කින් සමන්විත වේ. නේපාලයට ගොඩබිමින් පිවිසීමට ජනප්‍රිය ගොරක්පුර හන්දිය (Gorakhpur Junction) දුම්රිය ස්ථානයේ එවැනි පෙට්ටි 24 දුම්රිය දෙකක් එකවර එකම වේදිකාවක නවතාලීමට හැකියාව තිබේ. එහි අදාල දුම්රියක අදාල පෙට්ටියක් සොයා යෑම වූ කලී ඇතැම්විට කිලෝමීටරයක් දෙකක් ගෙවායන ගමනකි.
6. දුම්රිය අභියෝග
ඉන්දියාවේ චෙන්නයි සිට දිල්ලි දක්වා වායුසමන කරන ලද දුම්රියක මගී ගාස්තුව ඉන්දියානු රුපියල් 2100කි. එහෙත් අද වනවිට ඉන්දීය ගුවන් සේවා කෙතරම් ජනප්‍රිය වී තිබේද යත් ඉන්දීය රුපියල් 2900ක් වියදම් කළ හැකි මගියෙකුට චෙන්නයි සිට දිල්ලි දක්වා පෑ දෙකහමාරක පියාසැරියකින් ලගාවිය හැකි අභ්‍යන්තර ලාභ ගුවන් සේවා ඉන්දියාවේ තිබේ. දුම්රියේ යතොත් ඒ පෑ 28ක 35ක් තරම් ගතවන වෙහෙසකරව කාලය ගතවන ගමනකි.
ගුවන් සේවා නිසා දුම්රිය සේවාවේ මගී ආදායම අඩුවෙමින් පවතී. අනෙක් පසින් අධිවේගී මාර්ග ඉදිවීමත් සමගම ජනයා සුවපහසු බස් වල ගමනට යොමු වෙමින් සිටින අතර බඩු ප්‍රවාහනයටද අධිවේගී මාර්ග උපකාරී වී තිබේ.
7. අලුත් අභියෝග වලට අලුත් විසදුම්
ජපානයද එකතුව නව අධිවේගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට ඉන්දීය රජය කලක පටන් සැලසුම් තනමින් සිටී. නිතර කලබල තිබෙන කාශ්මීර පලාතට දුම්රිය මගක් තැනීමටද ඉන්දියාව දැන් වසර ගණනාවක සිට වෙහෙස මහන්සි වේ.
යාබද චීනයේ යටිතල පහසුකම් දියුණුවන වේගයට සාපේක්ෂව ඉන්දියාව මඳක් පසුගාමීය. චීනය යනු ප්‍රධාන නගර කිහිපයක්ම එකිනෙක අධීවේගී දුම්රිය මගින් යා කරගත් ඉන්දියාවට සාපේක්ෂව සාර්ථක මාර්ග ප්‍රවාහන පද්ධතියක් සහිත රටකි.
8. දුම්රිය මතකයන්
වර්තමානයේ නාගරික මහල්නිවාස වල ගාල් වූවන්ද කලකදී ඈත ගමක සිට දුම්රියෙන් නගරයට ලගා වූ ඉන්දියානුවෝ වෙති. එබැවින් ඔවුනට දුම්රිය යනු පැරණි මතක කන්දරාවකි. එහෙත් කාලයේ තාලයට වෙනස් නොවුනහොත් ඉන්දීය දුම්රිය සේවයටද සිදු වන්නේ කාලයේ වැලිතලාවට වැසී යන්නටය.
ඉන්දීය පාලකයෝ ලාභය අඩුවෙමින් පවතින සිය දුම්රිය සේවය නවීකරණය කිරීමට පටන් ගෙන තිබේ. කලක සිට අලාභ ලබන ලාබ ගැන කිසිම තැකීමක් නැති අපේ දුම්රියට වඩා නම් ඉන්දී්‍ය දුම්රිය සේවය ඉදිරියෙනි. එහෙත් ලෝකය හමුවේ ඉන්දීය දුම්රිය සේවය මඳක් පසුගාමීය. දිනකට මිලියන 22ක මගීන් රැගෙන එහෙ මෙහෙ දුවන විශාල දුම්රිය ජාලය ඉන්දියානුවන් සිය උරුමයක් ලෙසද සලකති.
Cover Image Source – blogs.timesofindia.indiatimes.com / youtube.com
Leave a Reply