පොඩි අය ඉන්න ගෙවල් වල කොයි වෙලෙත් කන්න දේවල් ඉල්ලල මුණු මුණුවනේ. අනික මේ ඉස්කෝලෙ නිවාඩු කාලෙ පොඩ්ඩන්ට රස කෑම හදලා දෙන්න අම්මලත් ආස ඇති. ඒ නිසාම අපි ගෙනාවා ටක් ගාලා හදලා කන්න පුළුවන් සුපර් ඊසි ස්නැක් රෙසිපි ටිකක්. එහෙනම් හදලම බලන්නකෝ.
1. කර්ඩ් ස්නැක්
අවශ්‍ය ද්‍රව්‍ය
- මුදවපු කිරි කෝප්ප 1
- පාන්පිටි කෝප්ප 1
- හාල්පිටි කෝප්ප 1/2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- චොප්කරගත් ඉඟුරු ස්වල්පයක්
- සූදුරු ස්වල්පයක්
- රස අනුව ලුණු
- බේකින් සෝඩා තේ හැඳි 1/2
- බැදගැනීමට තෙල්
- මේ ටික ඔක්කොම කළවම් කරලා ඩෝ එකක් හදාගන්න. පැය කාලක් වගේ තියලා මේකෙන් හැන්ද බැඟින් අරන් තෙලට දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න.
2. මොසරැල්ලා ස්ටික්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- දික් අතට කපාගත් මොසරැල්ලා චීස් ටිකක්
- පේස්ට්‍රි ශීට් එකක්
- බැදීමට තෙල්
- පේස්ට්‍රි ශීට් එක පැකට් එකේ සඳහන් විදියට තුනී කරගන්න. ඒක මොසරැල්ලා ස්ටික් එකට වඩා පළලට තීරු කපාගන්න.
- පේස්ට්‍රි ශීට් තීරු අරන් අරන් මොසරැල්ලා ස්ටික් එකක් අයිනෙන් තියලා දෙපැත්ත නවලා රෝල් කරගන්න. දැන් රත්වුණු තෙල් වලට දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න.
3. මග් ඔම්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 2
- කපාගත් බෙල්පෙපර් මේස හැඳි 2 (පාට 2න්)
- කපාගත් නිවිති ස්වල්පයක්
- කපාගත් හැම් ස්වල්පයක්
- කපාගත් තක්කාලි ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- මයික්‍රොවේව් මග් එකකට බිත්තර දෙක කඩල දාල ගෑරප්පුවකින් පොඩ්ඩක් ගහගන්න.
- ඊට පස්සෙ අනිත් සේරම දේවල් දාලා කළවම් කරලා විනාඩි 2-3ක් මයික්‍රොවේව් එකේ කුක් කරගන්න. පොඩි බඩගින්නට වගේම බ්‍රෙක්ෆස්ට් එකටත් නියමයි.
4. බනානා චොක්ලට් මග් ටෝස්ට්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 1
- කපාගත් කෙසෙල් ගෙඩි 1
- චොක්ලට් චිප්ස් ස්වල්පයක්
- චොක්ලට් පව්ඩර් තේ හැඳි 2
- කිරි මේසහැඳි 2
- කපාගත් පාන් පෙති 2
- බිත්තර, කිරි හා චොක්ලට් පව්ඩර් එකතු කර ගසාගන්න.
- මයික්‍රොවේව් මග් එකක් අරගෙන කපාගත් පාන් කෑලි වලින් ටිකක් දාලා කෙසෙල් ටිකක් දාගන්න. ඊළඟට චොක්ලට් චිප්ස් එකතු කරලා නැවත පාන් හා කෙසෙල් දාගන්න.
- උඩින් තව චොක්ලට් චිප්ස් ටිකක් දාලා ගසාගත් බිත්තර උඩින් එකතු කරන්න. විනාඩි 1 1/2ක් මයික්‍රොවේව් කරගන්න.
5. චීස් බෝල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් අල ගෙඩි 2
- චීස් වෙජස් 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කෑලිමිරිස් ස්වල්පයක්
- දෙහි යුෂ ස්වල්පයක්
- චොප්කරගත් ළූණු ගෙඩි ½
- කෝන්ෆ්ලා ටිකක්
- අල ටික පොඩි කරලා චීස් එකතු කරගන්න. දැන් මේකට ළූණු එකතු කරලා අනලා රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු, කෑලිමිරිස් හා දෙහි දාලා අනලා පොඩි බෝල හදාගන්න.
- කෝන්ෆ්ලා වල මේ බෝල දවටල ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකම් බැදගන්න.
6. බ්‍රෙඩ් නගට්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- කොටුවට කපාගත් පාන්කෑලි කෝප්ප 1
- බිත්තර 2
- කිරි මේස හැඳි 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් පාස්ලි ටිකක්
- බිත්තර, කිරි විස්ක් කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. ඊළඟට පාස්ලි ටික දාලා කළවම් කරලා පාන් ටික දාලා පොඟවගන්න. හැමපැත්තම තැවරෙන සේ පාන් ටික හොඳට කළවම් කරගන්න.
- පෑන් එකකට බටර් ටිකක් දාලා රත්වෙනකොට පාන් ටික දාලා කළවම් කරමින් හොඳට ෆ්‍රයි කරගන්න.
7. වෙජි ස්නැක්
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි කෝප්ප 1/2
- කඩල පිටි කෝප්ප 1/4
- පාන්පිටි කෝප්ප 1/2
- සූදුරු ස්වල්පයක්
- කෑලිමිරිස් ස්වල්පයක්
- ලුණු ස්වල්පයක්
- පෙඟෙන්න දාගත් කඩල පරිප්පු මේස හැඳි 1
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- චොප්කරගත් සුදුළූණු ස්වල්පයක්
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- රත්කරගත් තෙල් තේ හැඳි 5
- මේ ඔක්කොම හොඳට කළවම් කරලා වතුර ටික ටික දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
- අතේ තෙල් ටිකක් ගාගෙන මේකෙන් ටික ටික අරන් බෝල හදලා පැතලි කරලා ගැඹුරු තෙලේ බැදගන්න.
Leave a Reply