දූපත් නම් මොනාද ඔය ලංකාවෙත් තියෙන්නේ? කතාව ඇත්ත. ලංකාවෙත් ලස්සන දූපත් තියෙනවා.ඒත් තායි වල ඊටත් වඩා ගොඩක් ලස්සන දූපත් තියෙනවා. මේ දූපත් තියෙන පළාත් අතර ක්‍රාබි, ෆුකෙට්, හට්යායි වගේ තැන් ජනප්‍රියයි. ක්‍රාබි සහ ෆුකෙට් කියන්නේ ජනප්‍රිය සංචාරක ස්ථාන. අවුරුද්දේ මොන කාලේ ගියත් බීච් පිරෙන්න සංචාරකයෝ ඉන්නවා. ඒ තැන්වල හැමදේම මිලත් ටිකක් වැඩියි. ට්‍රාන්ග් වල දූපත් තියෙනවා. ලස්සනත් තියෙනවා. ඒත් මිනිස්සු සෑහෙන අඩුයි. බොහොම විවේකෙන් විනෝදවෙන්න ට්‍රාන්ග් වලට ගියොත් හැකියාව තියෙනවා. ඉතින් අපි ට්‍රාන්ග් දූපත් සෙට් එක ගැන ටිකක් විස්තර බලමු නේහ්?
1. කොහෙද මේ ට්‍රාන්ග්?
ට්‍රාන්ග් කියන්නේ ඇත්තටම තායිලන්තේ දකුණු කෙළවරම තියෙන මැලේසියා බෝඩරයට යාබදව තියෙන ලස්සන දූපත් කලාපයක්. ලස්සන චූටි චූටි දූපත්, ගල්වැටි පෙළක් මුහුදින් මතුවෙලා තියෙනවා. ඉන්දියන් සාගරයේ අන්දමන් මුහුදේ තියෙන මේ දූපත් ටිකක් පාලු ස්වභාවයක් ගන්නවා. ට්‍රාන්ග් බීච් එකත් ලස්සනයි. බීච් එකේ සහ දූපත් වල නවාතැන් පහසුව තියෙනවා. දූපත් ගොඩාරියක් තියන නිසා සාමාන්‍යයෙන් වාරකන් කාලයට හැර අනෙක් කාලවලට මූද සැර නැහැ. තායි රටට ඉස්සර කාලේ, ඒ කිව්වේ අවුරුදු සීයකට එකසිය පණහකට විතර ඉස්සර නැව් වලින් බඩු ගෙනාපු එක වරායක පළාතක් තමයි ට්‍රාන්ග් කියන්නේ. අද වෙද්දි ගැඹුර පිළිබඳ ප්‍රශ්න නිසා ඒ වරාය එතරම්ම වැඩ නැහැ. මුලින්ම රබර් වගාව තායි රටට හඳුන්වාදීලා තියෙන්නෙත් ට්‍රාන්ග් පළාතෙන් තමයි.
2. ට්‍රාන්ග් යන හැටි
ට්‍රාන්ග් පළාත තායි රටේ තිබුණත් බෝඩරයට කිට්ටු නිසා මැලේසියාව දිහායිනුත් ට්‍රාන්ග් එන්න පුළුවන්කම තියෙනවා. මැලේසියාවෙන් එනව නම් ක්වාලාලාම්පුර් ඉඳන් තායිලන්තෙ ක්‍රාබි හෝ ෆුකෙට් වලට ප්ලේන් එකෙන් ඇවිත් ඉන් පස්සේ පොඩි මිනි වෑන් වලින් ට්‍රාන්ග් වලට එන්න පුළුවන්. ඒ වගේම බෝට්ටු වලිනුත් මැලේසියානු ලංකාවි දිවයිනේ ඉඳලා ට්‍රාන්ග් වලට පිවිසෙන්නට හැකියාව තියෙනවා. තායි රටේ බැංකොක් ඉඳලා නම් කෙලින්ම ගුවන් ගමන් තියෙනවා ට්‍රාන්ග් වලට. සාමාන්‍යයෙන් බාත් 600ත් 1000ත් අතර මිල ගණන් වලට බැංකොක් ට්‍රාන්ග් ගුවන්ගමන් ටිකට් පතක් වෙන්කරගන්න පුළුවන්. ගොඩක් බජට් සංචාරකයෝ බැංකොක් වල ඉඳන් බස් එකේ හරි කෝච්චියේ හරි ට්‍රාන්ග් ටවුමට එනවා. බැංකොක් ඉඳන් ට්‍රාන්ග් වලට කිලෝමීටර 830ක් වගේ දුරක් තියෙනවා.
කෝච්චියේ ගමනට පැය 15ක් විතර යනවා. ඒත් රෑට නිදාගන්න හැකි බර්ත් එකක් බුක් කරගත්තොත් සනීපෙට එන්න පුළුවන්. සැප පහසු වායුසමන බස් 4-5කුත් බැංකොක් ඉඳන් ට්‍රාන්ග් දක්වා ධාවනය වෙනවා. ඊට අමතරව ක්‍රාබි, ෆුකෙට්, සුරත් තානි, හට් යායි වගේ තායි දකුණු පළාතේ ජනප්‍රිය නගර සහ ට්‍රාන්ග් අතර බස් සහ කුඩා වෑන් පහසුව තියෙනවා.
3. ට්‍රාන්ග් දූපත් වලට යන හැටි
ට්‍රාන්ග් මුහුදේ කුඩා දූපත් 20ක් විතර තියෙනවා. එයින් දූපත් කිහිපයකම මිනිස්සු ජීවත් වෙනවා. එයින් කෝ ලිබොන්, කෝ ලන්ටා, කෝ මොක් ආදී දූපත් විශේෂයි. මේ දූපත් හැම එකකටම වගේ ක්‍රාබි සහ ෆුකෙට් වල ඉඳන් ස්පීඩ් බෝට්ටු එනවා. කිලෝමීටර සීයක් විතර දුර නිසා පැය කිහිපයක් ගමනට වැය වෙනවා. මේ බෝට්ටු ගමන බාත් 1000ක් විතර වෙනවා. සාමාන්‍යයෙන් කෝ මොක් දූපතට යනවා නම් කුන් ටුන් කු පියර් එකේ ඉඳලා කෝ මොක් වලට බාත් 100 සිට බාත් 250 දක්වා මිලකට යන්න පුළුවන්. කෝ ලන්ටා සහ කෝ ලිබොන් දුපත් වලට යනවා නම් හඩ් යාඕ පියර් එක පාවිච්චි කරන්නට ඕනා.
ට්‍රාන්ග් වල ටවුම සහ බීච් එක අතර කිලෝමීටර 70ක විතර දුරක් තියෙනවා. එයාපෝට් එක තියෙන්නේ තවත් ටිකක් දුර. ඒ කියන්නේ එයාපෝට් එකට හෝ දුම්රිය නැවතුමට හෝ ට්‍රාන්ග් බස් නැවතුමට ආවොත් බීච් එකට යන්න තවත් කිලෝමීටර 60-70ක් වෑන් එකක හෝ රථයක යන්නට වෙනවා.
4. ට්‍රාන්ග් වල ලස්සන
ලස්සනම නෙමෙයි දූපත් කියන්නේ අත්දැකීමක් කියලා කිව්වොත් හරි. දූපත් වැසියන්ගේ ජීවිත, දූපත් වල කෑම බීම, ඒ පළාත්වල තියෙන ලස්සනම ලස්සන භූමි දර්ශන, වෙරළ අත්දැකීම්, ලොව වටින් පැමිණි සංචාරකයින් සමග අත්දැකීම්, මසාජ් ස්ථාන, පොඩි පොඩි පාටි වගේ ගොඩක් දේවල් ට්‍රාන්ග් දූපත් වලදි හමු වෙනවා. ලිංගික සුව, ස්ත්‍රී සුව සොයායන අයට නම් මේ ට්‍රාන්ග් දූපත් වල එහෙමට දෙයක් නැහැ. මොකද කෝ මොක් කියන්නෙ මුස්ලිම් ජනයා ඉන්න දූපතක්. ගොඩක් වෙලාවට ට්‍රාන්ග් හොයා එන විදෙස් සහ තායි සංචාරකයිනුත් දරු මල්ලෝ එක්ක, පවුල් පංසල් එක්කමයි එන්නේ. ඉතින් ඒ නිසා ට්‍රාන්ග් ෆැමිලි ටුවර් එකකට හොඳයි. අර ෆුකෙට් හෝ පතායා හෝ කෝ සාන් රෝඩ් වගේ විනෝදයන් නම් ට්‍රාන්ග් වලදි ගන්න අමාරුයි.
5. කෝ ක්‍රඩාන් දූපත
ක්‍රඩාන් කියන්නේ වනෝද්‍යාන භූමියක්. ඒ දූපතේ ජලජ සාගර පරිසරය වගේම ගොඩබිමත් වනෝද්‍යානයටම අයිති වෙනවා. වැඩිය විශාල දූපතක් නෙමෙයි. දූපත ළඟම තැන්වලත් ලස්සන ලස්සන කොරල්පර තියෙනවා. ඒවයේ ලස්සනම ලස්සන මාලු සහ මුහුදු ජීවින් ඉන්නවා. කිමිදිලා සහ ස්නෝක්ලින් වලින් ඒ සාගර ජීවින් අපේ ඇස් වලට බලාගන්න පුළුවන්. දූපතේ එක් පැත්තක තියෙන සුදු වැලි පිරුණ වෙරළ තීරය වැලි පිටින් ගෙනල්ලා දැම්මා වගේ පිරිසිදුවට තියෙනවා.
6. එමරල්ඩ් ගුහාව
පහුගිය කාලේ තායි ගුහා කියන්නේ නිවුස් මවපු දෙයක්. මේ එමරල්ඩ් ගුහාව කියන්නේ මුහුදේ තියෙන එකක්. ඇතුළට බෝට්ටුවෙන් යන්න බැහැ. පීනගෙන අමාරුවෙන් තමයි යන්න ඕනා. වැඩි දුරක් නම් නැහැ මීටර සීයක් විතර පීනුවාම දූපත ඇතුළේ තියන සුන්දර වෙරළ තියෙනවා. මේ ගුහාව ආදි කාලයේ මුහුදු කොල්ලකරුවන් සිය ධනය සඟවන්නට පාවිච්චි කරලා තියෙනවා. ලොකු ඉඩකඩක් නැතත් ඒ ගුහාව ඇතුළේ පටු වෙරළ තීරය බලන්නට වටින තැනක්.
7. කෝ මොක් දූවේ මුහුදු වෙරළ
ඒ මූදු වෙරළ එක් පැත්තකදි කඩොලාන පරිසරය එක්කම බැඳිලා තියෙනවා. අනෙක් හඩ්ෆරාන් දිහාවේ නම් කෙලින්ම නිල් පාට වතුර ගල් පර දිගේ ඇවිත් වෙරෙළ් බිඳිලා යනවා. මුහුද හැම පැත්තම වගේ අපේ ලංකාවේ ලොකු ජලාශ වල රැලි ගහනවා වගේ නිසංසලයි. ඒත් වාරකන් කාලයට නම් මුහුදේ රැලි ලොකු වෙනවාලු. දූපතේ පොල් සහ රබර් වගා කරලා තියෙනවා. පොල් රබර් වගාවට වඩා මේ කාලේ නම් දූපත් වැසියන් ටුවරිසම් වලට බැහැලා ඒවයින් මුදල් හොයනවා. පොඩි කඳු ගැට කිහිපයකුත් තියෙන දූපත වර්ග කිලෝමීටර 10ක් විතර තියෙන කුඩා එකක්. වැඩිම දුරත් වැඩිම උනොත් කිලෝමීටර 8ක් ඇති. දූපතේ කොටසක් ඇවිල්ලා කඳු සහ වනාන්තර. අනෙක් කොටසේ තමයි මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ.
8. බජට් පාරාදීසය
සාමාන්‍යයෙන් බාත් එකක් ලංකාවේ රුපියල් 6ක් විතර වෙනවා. තායිලන්තයේ වායුසමනය කරපු කාමරයක මිල බාත් 500-700 අතර මිල නියම වෙනවා. ඒත් ට්‍රාන්ග් ටවුමෙන් බාත් 300ට වායුසමන කරපු කාමර හොයාගන්න හැකියාව තියෙනවා. දූපත් වල බෝට්ටු ගමන් වලට නම් ටිකක් වැඩිමනක් වියදම් වෙනවා. ඒත් වෙනත් දූපත් එක්ක බැලුවාම ගාස්තු අඩුයි. කෑම බීම වුනත් ටුවරිස්ට් මිල වුනත් එච්චරමට සැර මිලක් නැහැ. මේ පැත්තට එන සංචාරකයිනුත් විශාල විදියට වියදම් කරන පිරිස නෙමෙයි.
Leave a Reply