ඔෆිස්වල ඉන්න අමුතු කැරැක්ටර් ගැන අපි ඇති තරම් කතා කරලා තියෙනවා. සමහරු ඒවට තවත් අයව ටැග් කරලා පොඩි ෆන් එකක් අරගෙනත් තියෙනවා. හැබැයි අපි මේ කියන්නෙ නං එහෙම ටැග් කරන්න පුළුවන් පෝස්ට් එකක් නෙමෙයි. මේක කරන මිනිස්සුන්ට තරමක් ලැජ්ජා සහගත කාරණයක් වෙන්න පුළුවන් නිසා මේකට ටැග් කරන එක හරි මදියි. ඒ නිසා මේක ඕනනං ඒ අයට පේන්න ෂෙයා කරන්න පුළුවන්. ඔෆිස් එකේ ඉන්න සහ ඔෆිස් එකට අලුතෙන් එන කාන්තා චරිත නිසාම බිහිවෙන අමුතු පිරිමි චරිත බොහෝමයක් ඉන්නවා. ඔෆිස් එකට අලුතෙන් එන ගැහැනු ළමයි නිසා බිහිවෙන අමුතුම කාන්තා චරිතත් තියෙනවා. අපි ඒ ගැන පසුවට කතා කරමු. මේ කියන්න යන්නෙ කාන්තා පාර්ශවේ නිසා ඔෆිස් ඇතුළෙ බිහිවෙන හිතාගන්න අමාරු පිරිමි චරිත ගැන. හිතාගන්න අමාරු කට්ටිය ගැන ඉන්ට්‍රො එකක් ලියන එක වගේම ඒ අයව හඳුන්වන එකත් අමාරු වැඩක් වුනත් අපි ඒක කරන්නෙ එහෙම අය ගැනත් කවුරුහරි කතා කරන්න ඕන නිසාමයි.
1. හෙල්පිං හෑන්ඩ්
හෙල්පිං කියන වචනෙ දැක්ක ගමන් තම තමන්ගෙ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලයිෆි එකට ගහන්න ලෑස්ති වුනානං ඒ කේන්තිය පොඩ්ඩකට පැත්තකින් තියන්න. මේ කියන්න යන්නෙ ඔෆිස්වල ඉන්න කාන්තා පාර්ශවේට නිරන්තර උදවු කරන අයියලා ගැන. අංකල්ලා වුනත් ඉතිං ඒ වෙලාවට අයියලානෙ. මේ අය උදවු කරන්න අවස්ථාවක් ලැබෙනකං බලාගෙන ඉන්නෙ. කොටිම්ම තමුන්ගෙ අනිත් කාර්යාල සගයා පරදා උදවු කරන්න බලාගෙන ඉන්නෙ. ඔෆිස් එකට අලුතෙන් ආපු නංගියෙකුටනං මේ උදවුව වැඩියි. මොකද එතනින් යාලුකමක් හදාගන්න පුළුවන්නෙ. සාමාන්‍යයෙන් කෙල්ලෙකුට මේ විදියට උදවු කරද්දි අහන්න වෙන කතා ප්‍රමාණයත් වැඩියි. සමහරවිට ගෑනු ළමයම ඇවිත් කතා කරලා කෙනෙකුගෙන් උදවුවක් ඉල්ලුවොත් ඒ කෙනාට එල්ල වෙන ඊරිසියා ප්‍රහාර ප්‍රමාණයත් වැඩියි.
2. හිත හොඳ මැම්බර්
මේ කියන්නෙ ලොක්කො ගැන. ඩිපාට්මන්ට් ලොක්කො, ඩෙස්ක් ලොක්කො, ටීම් ලොක්කො වගේම ඊට ඉහළින් ඉන්න පරිපාලන ලොක්කොත් මීට ඇතුළත්. සාමාන්‍යයෙන් ලොක්කො කියන්නෙ නිවාඩු නොදෙන, බනින, මරව මරව වැඩ ගන්න, පඩි වැඩි නොකරන, බුරුලක් නොපෙන්වන, ඔරවගෙන ඉන්න, ක්‍රෙඩිට් තමුන්ට දාගෙන වැරදි සේවකයන් පිටේ පටවන මහා නරුම නරකම ජාතියක් කියලනෙ සමජයේ මතය තියෙන්නෙ. ඔෆිස් එකට අලුතෙන් කෙල්ලෙක් ආපු ගමනුත් මේ අදහසම එයාගෙ ඔලුවට වැටෙන එක නවත්තන්න බැහැනෙ. අන්න ඒ නිසාම ඔෆිස් ඇතුළෙ බොසාලා අර ගෑනු ළමයට විතරක් තමන් තරං හොඳ ලොක්කෙක් නැති බව පෙන්වන වැඩ සිද්ධ කරනවා. ජීවිතය ජයගන්න උපදෙස්, අපහසුතා ගැන සොයා බැලීම්, රැකියාව පහසුවෙන් කරන්නේ කෙසේද? රැකියාවෙන් ජීවිතයට, ජීවිතයෙන් රැකියාවට වගේ අංශ එයාලා කියලා දෙන්න ගොඩක් වෙලාවට උත්සාහ කරනවා.
3. කරෙයිනගර්
කරෙයිනගර් කියන්නෙ යුද්ධෙ කාලෙ කියවෙච්ච නමක්නෙ. මේ කියන්නෙ ඒ කරෙයිනගර් ගැන නෙමෙයි. මේ කියන්නෙ කරේ නගින පිරිමි පාර්ශවේ ගැන. මෙයාලා කරන්නෙ අතිශය ෆිට් එකක් හදා ගැනීම. කිසිම වෙනසක් නොපෙන්වා කන්න බොන්න, විහිළු තහළු කරන්න, යන්න එන්න හේතු හදාගන්න මෙයාලා ඒ ෆිට් එක පිටින්ම පහක් දාන්න, කරට අත දාන්න වගේ තැනකට එනව. හැබැයි ඉතිං මේ කරෙයිනගර් ඈයො එතනින් නවතින්නෙ නෑ. එයාලා ඊටපස්සෙ ෂේප් එකේ එන්නෙ ඇඟ පත අත ගාන මෝඩ් එකට. අර ටික ඔක්කොටම ඕකේ පිට ඉඳලා මේකෙදි එක පාරටම බෑ කියන්න බැරි නිසා ගොඩක් ගෑනු ළමයි මේ තැනදි අසරණ වෙනවා.
4. ජෝක්ස්
ජෝක්ස් කියන්නෙ ගෑනු ළමයින්ට ලංවෙන්න එයාලව හිනස්සන්න පාවිච්චි කරන්න පුළුවන් ලේසිම දෙයක්නෙ. මේවට සරිලන ඕන තරං ජෝක්ස් අවට වටපිටාවෙන් හොයාගන්නත් පුළුවන්නෙ. අපි මේ කියන ඈයො ගෑනු ළමයින්ට විතරයි ජෝක්ස් දාන්නෙ. ඒ වගේම එයාලා ගෑනු ළමයි සෙට් එකක් ඉන්න තැනක විතරයි සභ්‍ය ජෝක්ස් දාන්නෙ. ගෑනු ළමයෙක් තනි වුනාම මෙයාලා දාන ජෝක්ස්වල තරමක අසභ්‍ය ගතියක් හෝ සම්පූර්ණයෙන්ම අසභ්‍ය වෙන්නට තියෙන ඉඩ හොඳටම වැඩියි. ඒ උත්සාහය රජ වෙන්න නොවුනත් එයාලා ලේසියෙන් අතාරින්නෙ නං නෑ.
5. ෂෝ ඕෆ්
මේක නං දකින්න පුළුවන් ඔෆිස් එකට අලුතෙන් ගෑනු ළමයෙක් ආපු කාලෙට විතරයි. ඒ වගේම ඒ ගෑනු ළමයත් ඇත්ත තත්ත්වෙ දැනගන්නකං විතරයි. මේ කාලෙට ඔෆිස් එකේ බිහි වෙනවා අමුතුම ප්‍රාණියෝ පිරිසක්. ඒ අය ඒ කාලෙට පුදුම වැඩ කන්දරාවක් කරන්නෙ. හැමෝටම උපදෙස් දීලා, වැරදි හරි ගස්සලා, කොටිම්ම ලොක්ක එක්කත් වෙනදට වඩා කිට්ටු හිතමිත්‍රකම් පෙන්නන්න මෙයාලා පෙළඹෙනවා. ඒ ඉතිං මෙයාලගෙ හැටි. කල් යද්දි අනිත් අය දැනගන්නව මෙයාලත් ඉතිං අනිත් අය වගේම නියුට්‍රල් ඩයල්ස් කියල.
6. ලොක්කි මගේ
ඔෆිස් එකේ කාන්තා පාර්ශවේ ගැන කතා කරද්දි ලොක්කියො ගැනත් විශේෂයෙන්ම සඳහනක් නොකර බැහැ. ලොක්කියො කියන්නෙත් ලොක්කො වගේම අමුතුම ප්‍රාණියොනෙ. එයාලටත් ලොකුවට ගොට්ට අල්ලන අය ඉන්නව. එයාලගෙ වටේ වැඩිපුර ඉන්නෙ කාන්තා පාර්ශවේ වුනාට ලෝකෙට නොපෙනෙන්න එයාලටත් වැඩිපුර ගොට්ට අල්ලන්නෙ පිරිමි පාර්ශවේම තමයි. මෙවුව ඉතිං ලේසියෙන් කියල නිම කරන්න බැරි පිරිසිදු දේශපාලනේ. සමහර ලොක්කියොන්ට ගොට්ට අල්ලන පිරිමි අනිත් ලොක්කියො නොවන කාන්තාවොන්ව ගණන් ගන්නෙත් නැති තරං.
7. හියුලා සහ ඩෑන්ලා
මේ ලෝකෙ ස්ත්‍රී ලෝලී කොයි පිරිමියත් හිත යටින් ආසයි තරුණ කාලෙ ඩෑන් බිල්සේරියන් වගේ ඉන්න. එහෙමත් නැත්තං හියු හෙෆ්නර් වගේ වයසට ගියත් සැපේ කෙල්ලො එක්ක ඉන්න. ඔෆිස්වලත් ඉන්නව කටින් මේ වගේ චරිතවලට ආරූඪ වෙලා කතා කියලා බතල හිටවන අය. එයාලා හිතන්නෙ එයාලාට ගොඩක් ගෑනු ඉන්න නිසා අනිත් ගෑනුත් එයාලගෙම තමයි කියලයි. අන්න ඒ නිසා මං අතනට යද්දි අතන කෙල්ලෙක්, මෙතනට යද්දි මෙතන කෙල්ලෙක්, කොහෙද ඉතිං දැන්ම කසාද බඳින්න බෑ බං කීයක් කියලද? වගේ ටෝක්ස් දෙන. කෙල්ලො ඉතිං ඇත්ත දන්න නිසා ඔහොම බුවාලා දිහා එක පාරක් බලල අහක බලාගන්නව. ටික දවසක් යද්දි හියු හෙෆ්නර් ඉන්නව දෙපතුළ මුල. ඩෑන් බිල්සේරියන් අත කපාගෙන.
Leave a Reply