අම්පාර නැගෙනහිර පළාතේ පිහිටි සශ්‍රීක පළාතකි. නිදහසින් පසු මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මැතිතුමාගේ මැදිහත්වීමෙන් අම්පාර ජනාවාස නැවත ඇතිවන්නට විය. සියවස් ගණනාවකට පෙර සැලකිය යුතු ජනගහනයක් විසී යැයි සෑම කදුගැටයකින්ම මතුවෙන පුරාවස්තු සාක්කි සපයයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් වල් බිහිවී නටබුන්ව ගිය අම්පාර යලි නගරයක් ලෙස සංවර්ධනය වන්නේ මහාමාන්‍ය ඩී ඇස් මැතිදුන්ගේ දායකත්වයෙනි.
1. අම්පාරට ලඟා වීම
නුවර මහියංගනය හරහා පැමිණ අම්පාරට ලඟා වීම දුර අඩුය. එහෙත් එහිදී නුවර සිට මහියංගනය දෙසට එකතු වන වංගු සහිත කඳුකරය නිසා මඳක් අපහසුතාවයක් ඇති වේ. එබැවින් කොළඹ සිට පිවිසන්නේ නම් රත්නපුරය මොණරාගල දෙසින් අම්පාරට ලගාවීම වඩාත් පහසුය. වාහනයක යන්නේ නම් මෙම රත්නපුර තණමල්විල දෙසින් වැටෙන මාර්ගයේ ගමන රිය පැදවීම වඩාත් පහසුය.
2. අම්පාර වැව සහ දේවාලය
අම්පාරේ නගරයට ආසන්නතම වැවකි. ඇතැම් කලෙක එහි ස්නාන කටයුතු කරන පිරිස්ද දැකගත හැකිය. ඒ වැව අසබඩම දේවාලයකි. දෙමළ බැතිමතුන් මෙන්ම සිංහල බැතිමතුන්ද සිය බාරහාර ඔප්පු කිරීම පිණිස මෙම දෙවොල කරා ඇදෙති. මෙය පෙනෙන හැටියට නම් පසුකාලීනව ඉදි වූ කතරගම දෙවොලක් ලෙස සැලකිය හැකිය. දේවාලය අම්පාර නගරයේ ඔරලෝසු කණුව පෙනෙන තෙක් මානයේ වැව ආසන්නයේ ඇති බැවින් සොයාගන්නට ලොකු අපහසුතාවයක් නැත.
3. දීඝවාපිය
සොලොස්මස්ථාන හෙවත් බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලැබූ ස්ථාන 16න් එකක් වන දීඝවාපියද අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රමුඛතම සිද්ධස්ථානයකි. දීඝවාපිය රුහුණේ රජ කළ සද්ධාතිස්ස රජු විසින් කරවන ලදැයි සැලකේ. දුටුගැමුණු රජ කල සද්ධාතිස්ස මෙම නැගෙනහිර දෙස දිගාමඩුල්ල පළාතේ කෙත්බිම් අස්වද්දමින් දුටුගැමුණු රජුට සහාය දුන් බවත් අප වංශ කතාවේ සඳහන් වේ. මෙම දීඝවාපී පුදබිමෙන් ඉපැරණී සිරිපතුල් කිහිපයක්ද හමු වූ තිබේ. මේ දීඝවාපී චෛත්‍යය තවමත් පස් ගොඩක් ආකාරයෙන් දිස් වේ. එහි වටා බොහෝ දුරක් යනතෙක් පෞරාණික නටබුන් හමු වී ඇති හෙයින් මෙය එවකට ප්‍රමුඛ පෙලේ සිද්ධස්ථානයක් වන්නට ඇතැයි සැලකේ.
4. ගල් ඔය
ගල් ඔය ජාතික වනෝද්‍යානය ජනතාව වැඩිපුර නොඇදෙන එහෙත් සතා සීපාවා බහුලව දැකගත හැකි වනෝද්‍යානයකි. වනජීවි දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක බෝට්ටු සේවාවක්ද ක්‍රියාත්මක වන අතර ඒ හරහා ඉගිනියාගල සේනානායක සමුද්‍රයේ අතු ඉති පීරමින් සතා සීපාව දැකගැනීමේ අවස්ථාව සංචාරකයින්ට උදා වේ. සාමාන්‍ය සංචාරකයින්ට බෝට්ටුවකින් ගොස් වන සිරිය විඳගැනීමේ විරල අවස්ථාව වනජීවි කාර්යාලය මගින්ම සංචාරකයින්ට උදා කර දී තිබේ. වනජීවි දෙපාර්තමේන්තුව හරහා විමසීමෙන් එම ඉඟිනියාගල බෝට්ටු සවාරිය හා සම්බන්ධ විය හැකිය.
ඉඟිනියාගල සේනානයක සමුද්‍රය වනාහී රජුන් තැනූ ලංකාවෙන් මෙපිට මෑත ඉතිහාසයේ බිහිවූ මහා වාරි කර්මාන්තයකි. අද මෙන් තාක්ෂණය දියුණු නොවූ එකල මීටර පනහක් හැටක් උස විශාල බැමි ඉදිකොට ජලය රදවාගැනීම මෑත කාලිනව අපගේ ජනතාව දැක්වූ සූරුවිරුකමකි.
5. කෙත් වතු සහ කඳු වැටි
මෙම අම්පාර පළාත හුදෙක් ස්ථාන නැරඹීමට පමණක් නොව විවේක සුවෙන් ගතකිරීමටද කදිම පළාතකි. මහා වෙල් යාය පිස එන සුලඟ ගතට ගෙන එන්නේ සිසිලසකි. ඉගිනියාගල පළාතේ වාහනයක් පාරේ ගමන් කිරීමද ඇතැම් විට විනාඩි දහය පහළොවකට වරක් සිදුවන වැඩකි. මෙම පළාතේ ඇතැම් පාරවල රාත්‍රියට ගමනක් බිමනක් යන්නේ ගැමියනට තදබලම උවමනාවක් වූවහොත් පමණි. මන්ද අලි ඇතුන් ගැවසෙන මහා මාර්ගයේ ගමන අනතුරකට අත වැනීමකි. රාත්‍රී යන බසයක් වුවද අනෙක් බස් රිය වලින් විස්තර අසා කියාගෙන ගමන යති. පෙර කල නම් අලි කරදරයට අමතරව කකුල් දෙකේ ත්‍රස්තවාදී කොටි කරදරද මේ පළාතේ තිබුණ මුත් වාසනාවකට මෙන් දැන් ඒ කරදරයට මුහුණ දෙන්නට සිදු වන්නේ නැත. ඇති දුර නිසාම තවමත් සංචාරකයින් අතර විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන නැති මෙම කලාපය විවේක සුවයට ගැලපෙන නිසංසල පරිසරයක් නගරයෙන් දුර සෑම තැනකම පාහේ තවමත් ගැබ් වී ඇත.
6. රජගලතැන්න
අම්පාර සිට නුවර පාරේ යනවිට රජගලතැන්න ප්‍රදේශය හමු වේ. මේ පළාතේ සෑම කඳුවැටියක් මුදුනේම යම්කිසි පුරාවස්තුවක නටඹුන් හමු වේ. රජගලතැන්න නම ස්ථානයේ විහාරාරාම 700ක පමණ නටඹුන්ය. එය මහාවංශයේ සඳහන් රුහුණු රට සිද්ධස්ථාන යැයි විශ්වාස කළත් මෙම පළාතේ පැතිර ඇති නටබුන් අනුව මෙය වෙනමම රාජධානියක් ලෙස පැවතුණා යැයිද සිතීමට සාධක එමට හමු වේ. රජගලතැන්න තවමත් කැණීම් කටයුතු සිදුකරගෙන යන පුදබිමකි. පුරාණ විහාර ගෙවල් වල නටබුන්, ආරාම සංකීර්ණ වල නටබුන් මෙන්ම නාන පොකුණු වැසිකිලි ආදී සපිරි ආරාම සංකීර්ණයක්ම පැවති බවට සාධක රජගලින් හමු වී තිබේ.
මේ රජගගලතැන්න සිට කොළඹ දෙසට එනවිට සමන්ගල නම් තවත් ගලකි. පුරාණ ලෙන් විහාර පැවතියා යැයි සිතිය හැකි මෙම ස්ථානයේද පුරාතන නටබුන් හමු වී තිබේ.
7. නවාතැන් පහසුව
අම්පාර නගරය ආසන්නයේ නම් පිහිටා ඇති නවාතැන් ගණන සීමිතය. එහෙත් අවට වෙරළාසන්න පෙදෙස් වල නවාතැන් පොළවල් පිහිටා ඇත. නැගෙනහිර වෙරළ තීරයද විදෙස් සංචාරකයින්ද සොයාගෙන එන එක්තරා විශේෂ කලාපයකි. අරුගම්බේ පොතුවිල් පළාත මඳක් දුර පිහිටියද ඒ ආසන්න වෙරළ තිරයන්ද ඇතැම් තැනක සංචාරකයින් විසින් ග්‍රහණය කොට තිබේ. ලංකාවේ කොළඹට ප්‍රතිවිරුද්ධ අනෙක් කෙළවර යැයි සැලකෙන සංගමන් කන්ද තුඩුව ආදී ස්ථාන ආශ්‍රිතවද කුඩා සංචාරක නවාතැන් ආදිය දැන් ඇතිවී තිබේ. අම්පාර පළාතට පිවිසීමට කාලයක් ගත වුවද මිනිසුන් බහුල නැති පළාතක කුඩා නිවාඩුවක් ගත කිරීමට අම්පාර පළාත කදිම පළාතකි.
Leave a Reply