පුවත් විශේෂාංග වෙනමම තීරුවකට ගොනු කිරීමට ආන්දෝලනාත්මක තීරණයක් ෆේස්බුක් විසින් පසුගිය කාලයේ ගන්නා ලදී. ලංකාවේද ෆේස්බුක් භාවිතා කරන අයට ඒ හරහා සියලුම පේජ් හි ඇති දෑ දැකගැනීමට එක්ස්ප්ලොර් ෆීඩ් වෙත යෑමට සිදු විය. එතැනින් නොනැවතී ෆේස්බුක් විසින් තවත් වෙනස්කම් කරන්නට යන බව ෆේස්බුක් හි ඉහල කළමණාකාරීත්වය පවසා තිබේ.
ෆේස්බුක් තුලින් අපගේ සම්බන්ධ වූ මිතුරන් සැමගේම සෑම පෝස්ටුවක්ම එක සමානව අපගේ වෝලය තුල දර්ශනය කරන්නේ නැත. අප වඩාත් ආශා කරන පරිදි අපගේ වෝල් එක අපිට දර්ශනය කිරීමට උත්සාහ කරන ෆේස්බුක් ඒ හරහා සිය ගිණුම් හිමියා ෆේස්බුක් වෙත ඇද බැඳ තබාගන්නට උත්සාහ කරයි.
1. වීඩියෝ අඩු කිරීම
වයිරල් වන වීඩියෝ පෙන්වීම 5%ක් දක්වා අඩුකිරීමට මාක් සකර්බර්ග් අදහස් කරන අතර ඒ හරහා මිනිස් පැය මිලියන 50ක් පමණ ඉතිරි කිරීමට ඔහු අදහස් කරයි. වීඩියෝ එක් අතකින් සර්වර් ආදියට බරකි. කාලවේලාව බොහෝ ගතකරමින් ෆේස්බුක් හි සිටින අය සමාජයට මෙන්ම ෆෙස්බුක් එකටද වදයක් වෙමින් පවතින බව මේ හරහා පෙන්නුම් කරනු ලැබේ.
එක් අයෙකු වැඩි වේලාවක් ෆේස්බුක් ජාලය තුල රඳවාගන්නවාට වඩා මෙතෙක් ෆේස්බුක් වෙත එළැඹී නැති තවත් පිරිස ෆේස්බුක් වෙත ඇදගැනීම එහි නව අරමුණු අතර වේ.
2. නිවුස් ඈත් කිරීමේ අරමුණ
ලංකාවේ දේශපාලන අවකාශය තුලද ෆේස්බුක් විසින් පසුගිය කාලයේ යම් වැඩකොටසක් කළ අතර ඒ ගැම්මෙන් තේරී පත් වූ දේශපාලකයින්ටද ෆේස්බුක් යම් ආකාරයක වදයක් වෙමින් පවතී. මූලික දහරාවේ ප්‍රවෘත්ති වලට අමතරව මහජනයා විසින් ගොඩනගන ප්‍රවෘත්ති වටපිටාවක්ද ෆේස්බුක් මගින් බිහිවිය. එහෙත් ඒ තැනුනු නව සමාජ අවකාශයම ෆේස්බුක් වෙත පාරාවලල්ලක් වී තිබේ.
ප්‍රවෘත්ති පෙන්වීම සීමා කිරීම මෙන්ම විශ්වාසනීය ප්‍රවෘත්ති පමණක් භාවිත කරන්නාට ලබාදීමද ෆේස්බුක් හි වෙනස්කම් වල තවත් අරමුණකි. බොරු ප්‍රවෘත්ති වලින් පුද්ගලයින්ටත් ආයතන වලටත් දැඩි හානියක් සිදු වේ. ඇතැම් බොරු පුවත් වහා පැතිරීමට ඉඩ දීම තුලින් ඒවා හරහා ඇතැම් හොඳ දේටද හානියක් වීම ෆේස්බුක්හි තිබූ යම් අඩුවකි. අනෙක් අතට එය පාලනය කොට විශ්වාසනීය තොරතුරු පමණක් ඉහලට ගැනීමෙන් ෆේස්බුක් නැවතත් සාම්ප්‍රදායික මාධ්‍ය වලට පමණක් ඉඩදෙන පැරණි මාදිලියේම තැනක් වෙනු ඇත. මේ ගැන සමජ ජාලා ගැන අදහස් දක්වන අයද විවිධ මතවාද ඉදිරිපත් කරනු ලැබේ.
3. ෆේස්බුක් ආදායම හා දත්ත
පසුගිය වසරේ අවසාන මාස තුනේ ෆේස්බුක් යූසර් ප්‍රමාණය 14%කින් ඉහල ගොස් ඇති අතර දැන් භාවිතා කරන්නේ බිලියන 2.13ක් ෆේස්බුක් වටා වෙති.
ෆේස්බුක් හි පසුගිය වසරේ සමස්ත ආදායම ඩොලර් බිලියන 40කි. එය කලින් වසරට වඩා ඩොලර් බිලියන 16ක වැඩිවීමකි.
ඇමරිකානු බදු ගෙවීම් අංශ වලට පමණක් බදු වශයෙන් ඩොලර් බිලියන 2.3ක් ෆේස්බුක් වෙතින් ගෙවිය යුතු වේ.
ෆේස්බුක් හි දිනකට සක්‍රිය භාවිත කරන්නන් ගනන බිලියන 1.4කි.
4. ෆේස්බුක් ගැන වූ සමාජ කතාකාවත්
මේ ෆේස්බුක් වෙනස්කම් ඉදිරියේදී අධිකරන සහ බලධාරින් වෙතින් එන්නට නියමිතව තිබූ ෆේස්බුක් සිමාකිරීම් වලට ප්‍රථමයෙන් ගත් පියවරයන් යැයි ද ඇතැම් විශේෂඥයෝ මත පල කොට තිබේ. එනම් ෆේස්බුක් වැනි සමාජ ජාලා තුලින් මිනිසුන්ගේ මානසික සෞඛ්‍යය සහ සමාජ ජීවිතය කෙරෙහි ඇතිවන අහිතකර බලපෑම ගැන ලොවම කතාවෙමින් පවතී. ඒ ගැන නීති රීති සම්පාදනය කොට ෆේස්බුක් වෙත ඇති ආකර්ෂණීය ස්වභාවය අඩු කළ යුතුයැයිද මතවාදයක් තිබේ.
වැඩිම භාවිත කරන්නන් පිරිසක් ෆේස්බුක් වටා රොද බඳින ආසියානු කලාපයට වඩා ෆේස්බුක් වෙත ආදායම එන්නේ උතුරු අමරිකා සහ කැනඩාව දෙසිනි. ෆේස්බුක් ඇරඹුණු ඒ සීමාවන්හි ඇතිවන වෙනස්කම් ෆේස්බුක් කෙරෙහි දැඩිව බලපානු ලැබේ. යෞවන යෞවනයින්ගේ අධ්‍යාපනය සහ ඔවුන්ගේ එදිනෙදා කටයුතු කෙරෙහි සමාජ ජාලා විසින් කරන බලපෑම සුළුපටු නොවේ යැයිද සමාජ ජාලා ඒ ගැන වගකිව යුතු යැයිද ප්‍රබල හඬක් සමාජය තුලින්ම ෆේස්බුක් වලට එරෙහිව බුර බුරා නැගෙමින් පවතී.
5. වෙනස අපිට කොහොම වෙයිද?
සමාජ ජාලා යනු හුදෙක් නිවුස් සහ විස්තර ලබාදෙන මොඩලයක් නොව වාණිජමය අවකාශයකි. සිය අඩවිය කෙරෙහි භාවිත කරන්නා ඇද බැඳ තබාගන්නට ෆේස්බුක් යොදාගන්නේ එක උපක්‍රමයක් දෙකක් නොවේ. එය සාම්ප්‍රදායික මීඩියා එකක් වෙත සිය පාරිභෝගිකයින් ඇද බැඳ තබාගන්නවාට වඩා සංකිර්ණ ක්‍රියාවලියකි.
සිය අඩවියේ නිතර කරක් ගසන සොයාබලන එහිම ජීවත්වෙන පහල මට්ටමේ අය වෙනුවට සමාජයේ ඇති හැකි අය අතර ෆේස්බුක් ජනප්‍රිය වී ඔවුන් දිනකට මඳ වේලාවක් හෝ ෆේස්බුක් වෙත යොමුකරගැනීම ෆේස්බුක් හි අරමුණ වී තිබේ. ව්‍යාපාරයක ඉලක්කගත පාරිභෝගිකයින් සංඛ්‍යාව වැඩිකරගැනීමත් ඉහල මට්ටමේ පාරිභෝගිකයින් ඉලක්ක කිරීමත් සාමාන්‍ය කරුණකි. යම් වෙනස්කමකින් අපිට ෆේස්බුක් එපා වීමක් සිදුවීමේ ඉඩකඩ සාපේක්ෂව අඩුය. ඔවුන් කරන්නේ ෆේස්බුක් වෙත ඇති චෝදනා අඩුකරගෙන අප දිනකට එහි සිටින කාලය මඳක් අඩුකිරිම මිස අපව ඈත් කරගැනීම නොවේ. එය සූක්ෂම ඇල්ගෝරිතම වෙනස් කිරීමෙන් ෆේස්බුක් අපටත් නොදැනීම සිදුකරනු ඇත.
Cover Image Source – huffingtonpost.com / marketingland.com
Leave a Reply