බැංකුවකට ගිහින් හරි විදියට හැසිරෙන්නේ, කටයුතු කරන්නේ මෙහෙමයි!

අපි ඕනම කෙනෙක් බැංකුවකට ගිහින් ඇතිනේ. ඔය පොඩිම කාලෙදී බැංකුවකට ගියහම අපිට හරිම අමුතුයි, හා නැද්ද? තුවක්කු තියාගත්තු ගාඩ්ලා, පෝලිම් වල මිනිස්සු, කවුන්ටර්ස් වල ඉඳන් අමුතු මැෂින් එක්ක කඩිමුඩියේ වැඩ කරන බැංකු නිලධාරියෝ. දැන් වෙනකොටත් ඉතින් ඔය දේවල් තව නවීකරණය වෙලා තියෙන එක විතරයි වෙනස. තාමත් බැංකුවක් ඇතුළේ හරිම කලබලයක් තමයි දවසේ ගොඩක් වෙලාවට තියෙන්නේ.

හැබැයි ප්‍රශ්නේ ඕක නෙවෙයි. අපි හැමෝම ඇත්තටම දන්නවද බැංකුවකට ගිහින් හරි විදියට හැසිරෙන්න? ඒ කියන්නේ බැංකුවට ගියා, පෝලිමේ හිටියා, වැඩේ කරගත්තා, ආවා කියන එක තමයි සරලවම අපිට තියෙන අවශ්‍යතාවය. හැබැයි ඔය අතරේ අපි නොදැන කරන වැරදිත් තියෙනවා. ඒ කියන්නේ හැසිරීමේ තියෙන අවුල්. ඒ වගේ අවුල් නිසා අපිටත්, බැංකුවේ වැඩ කරන අයටත්, බැංකුවට ආපු අනික් අයටත් කරදර විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා අපි බැංකුවකට ගියාට පස්සේ පොඩ්ඩක් හරියට හැසිරෙන්න ඉගෙන ගන්න එක වටිනවා. මේ ඒකට උපදෙස් ටිකක්!

 

1. බැංකුව ඇතුළට යන්න ඕනම අවස්ථා හඳුනා ගමු

බැංකුව ඇතුළට ගියහම හැසිරෙන්න ඕන විදිය ගැන දැනගන්න කියලා පටන් ගත්තු ආටිකල් එකක, බැංකුව ඇතුළට යන්නම ඕන අවස්ථා හඳුනාගමු කියලා කිව්වහම පොඩ්ඩක් පැටළුනා වගේද? නෑ. ඇත්තටම නිකමට හිතන්න, දවසේ  වැඩ කරන වෙලාවකදී බැංකුවක් ඇතුළේ කී දාහක් සෙනඟ ඉන්නවද? අන්න එතකොට අපිට කොයි තරම් නම් වෙලාවක් බලාගෙන ඉන්න වෙනවද? ඒක අමතක කරන්න. එකවුන්ට් එකකට සල්ලි දාන්නත් මිනිස්සු බැංකුවේ පිරිලා ඉන්නකොට, අලුත් එකවුන්ට් එකක් ඕපන් කරන්න ආපු මනුස්සයෙක්ට හරි වෙනත් අනිවාර්‍යයෙන්ම බැංකුවට එන්න අවශ්‍ය වෙන වැඩකට ආපු මනුස්සයෙක්ට හරි කොයි තරම් වෙලාවක් අර සෙනඟ පෝලිමේ ඉන්න වෙනවද? ආන්න ඒ නිසා, මුලින්ම හිතන්න ඕන තමන්ගේ වැඩේට ඇත්තටම බැංකුව ඇතුළට යන්න අවශ්‍යද කියන එක. එහෙම අවශ්‍ය වෙන්නේ නැති නම්, කරුණාකරලා බැංකුවට යන්න එපා. උදාහරණයක් විදියට ගත්තොත්, දැන් හැම බැංකුවකම වගේ බිල් ගෙවන්න, සල්ලි එකවුන්ට් වලට දාන්න ATM මැෂින් එක්කම මැෂින් තියෙනවා එලියේ. ඒකකින් පුළුවන් දේවල් කරගන්න.

ඊටත් වඩා, දැන් හැම බැංකුවකම ඔන්ලයින් බෑන්කින් පහසුකම් ලබාදීලා තියෙනවා. කරුණාකරලා අන්න ඒ ඔන්ලයින් බෑන්කින් පහසුකම් පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල් කරගන්න. ඒකෙන් තමන්ගේ කාලයත් ඉතුරු වෙනවා, බැංකුවේ තදබදයත් අවම වෙනවා.

 

2. ගෙදරින්ම ස්ලිප් එක පුරවගෙන එමුද?

හරි, බැංකුවට ගිහිල්ලම වැඩ කරගන්න ඕනැයි කියමුකෝ. එතකොට අපිට හිතන්න පුළුවන් හැකිතාක් බැංකුව ඇතුළේ රැඳෙන වෙලාව අවම කරගන්නේ කොහොමද කියන එක ගැන. උදාහරණයක් විදියට අපිට පුළුවන් බැංකුව ඇතුළට ගිහිල්ලා පුරවන ස්ලිප් එක ගෙදරදීම පුරවගෙන යන්න. එහෙම කරන්නෙ කොහොමද? අපි නිතරම බැංකුවට ගිහිල්ලා ස්ලිප් වලින් ගනුදෙනු කරනවා නම්, අපිට පුළුවන් අවශ්‍ය ස්ලිප්ස් ටිකක් ගෙදර ගෙනැල්ලා තියාගන්න. ඒකට බැංකුවෙන් මොකුත් කියන්නෙ නෑ. විශේෂයෙන්ම අපිට එක පාරකට ස්ලිප් ගණනාවකින්ම ගනුදෙනු කරන්න වෙනවා නම් හොඳම දේ තමයි ගෙදර ඉඳලා නිවීහැනහිල්ලේ ඔය ස්ලිප්ස් ටික පුරෝගෙන යන එක.

ඒ වගේම, පොඩි පොඩි දේවල් තියෙනවා බැංකුවේ රැඳෙන වෙලාව අඩු කරන්න පුළුවන්. එකක් තමයි පෑනක් ගෙදරින් අරගෙන යන එක. එතකොට තමන්ට එකවුන්ට් එකක් ඕපන් කරනවා හරි ඒවගේ වෙනත් වැඩක් නම් තියෙන්නේ, යන්න කලින් බැංකුවට කෝල් කරලා අවශ්‍ය ලිපිලේඛන මොනවද කියලා හරියටම දැනගෙන, ඒ ඔක්කොම පිළිවෙලට අරගෙන යන එක තවත් හොඳ පුරුද්දක්!

 

3. ස්ලිප් පුරවනකොට මෙහෙමයි හැසිරෙන්න ඕන

දැන් අපි බැංකුවට ගිහිල්ලා ස්ලිප්ස් පුරවන්න ඉන්නවනේ. අන්න එතකොට හැසිරෙන්න ඕන විදිය ගැනත් විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕන. සාමාන්‍යයෙන් ස්ලිප්ස් පුරවන්න එක කවුන්ටර් එකක් හදලා තියෙනවනේ. ඔතන ඕන නම් පෑන් දෙකක් උපරිම තියෙයි. හැබැයි තමන් ගෙදරින් පෑනක් ගෙනියනවා නම්, ස්ලිප් එක අරගෙන වෙන ඉඩ තියෙන තැනක ඉඳලා වුනත් ඒක පුරවගන්න පුළුවන්. එහෙම නැතිනම් ඉතින් කරුණාකරලා ඉවසිල්ලෙන් ඉඳලා, ස්ලිප් පුරවන කවුන්ටර් එක හිස් වෙලා තමන්ගේ වාරය ආවහම වැඩේ කරගන්න. එතන පෝලිම් නම් නෑ. හැබැයි අපිට කලින් ස්ලිප් පුරවන්න ඇවිත් බලාගෙන ඉන්න කෙනෙක්ව පෙරලගෙන ගිහින් අපේ වැඩේ කරගන්න හදන්න එපා.

ඒ වගේම, සමහරු කිසි ගාණක් නැතුව ස්ලිප්ස් වරදින වරදින වෙලාවට ඒ ස්ලිප්ස් ඔහේ බිමට දාලා අලුතින් ලියනවා. එහෙම නාස්තිකාර වැඩ කරන්න එපා. හදිසි නොවී, කලබලයක් නැතුව ස්ලිප් එක ලියන්න. එතකොට වරදින්න තියෙන ඉඩ අඩුයි!

 

4. බැංකුවේ තියෙන සිස්ටම් එකට වැඩ කරමු

ඕනම බැංකුවක් ඇතුළට ගියහම අපිට දකින්න පුළුවන් එක්තරා විදියක සිස්ටම් එකක් තියෙන බව. ඒ කියන්නේ, එක් එක් කටයුතු වලට එක් එක් අංශ වෙන් කරලා තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, ස්ලිප් වලින් කෙරෙන වැඩ වලට වෙනමම කවුන්ටරයක් තියෙනවා. ඒ කවුන්ටරේ වුණත් සල්ලි දාන්න වෙනම පෝලිමක්, සල්ලි ගන්න වෙනම පෝලිමක් තියෙන්න පුළුවන්. එතකොට දැන් ගොඩක් බෑන්ක් කවුන්ටර්ස් වල එක පෝලිමක් තියෙන්නේ, හැබැයි තමන්ගේ වාරය ආවහම ෆ්‍රී වෙලා තියෙන කවුන්ටර් ඔෆිසර් ගාවට යන්න පුළුවන්.

ඒ වගේම, ගොඩක් බැංකුවල ඒ ඒ කාර්යයන්ට අදාළ වෙනම ඔෆිසර්ලා ඉන්නවා. ඒ අයගේ ඩෙස්ක් ඉස්සරහා හරි, වෙන ක්‍රමේකට හරි එහෙම අදාළ කාර්යය ගහලා තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ලීස් එකක් දාගන්න යන්න ඕන එක ඔෆිසර් කෙනෙක් ගාවට. ණය ගැන දැනගන්න වෙනම තැනක් තියෙනවා. අන්න ඒ නිසා, බැංකුව ඇතුළට ගියපු ගමන් පොඩ්ඩක් වටපිට බලලා හොයාගන්න තමන්ට යන්න ඕන තැන. හොයාගන්න බැරි නම් සිකුරිටි මහත්තයාගෙන් අහන්න.

ඒ වගේම දැන් ඔය චෙක්පත් නිශ්කාෂණ වලට ගොඩක් බැංකුවල චෙක් මැෂින් එකෙන් තමයි වැඩ කරන්නේ. එතකොට ඒ සිස්ටම් එකත් එක්ක වැඩ කරනවා මිසක්, එතන චෙක් කවුන්ටරේ ඉන්න කෙනාට වද දෙන්න එපා එයාටම ඒක කරන්න කියලා. චෙක් මැෂින් එකෙන් වැඩ කරන හැටි හුරු නැතිනම්, එතන ඉන්න කෙනෙක් කියලා දෙයි.

 

5. පෝලිමේ වාතයක් නොවෙමු

දැන් පෝලිමේ ඉන්නකොට වුණත් දැකලා තියෙනවද සමහරු පුදුමාකාර වාතයක් වෙනවා? එක්කෝ සකබඹරයක් වගේ කැරකෙන්න ගිහින් ඉස්සරහා ඉන්න මනුස්සයගෙ ඇඟේ හැප්පෙනවා. සමහරු නම් ඉන්නවා ඔය ඇහැට කණට පේන කෙනෙක් ඉස්සරහා හිටියොත් හිතාමතාම ගිහින් හේත්තු වෙන්න ට්‍රයි කරන. ඕවා නං අන්තිම කැතයි. එතකොට තවත් සමහරු ඉන්නවා බැංකුවේ පෝලිමේ ඉන්න ගමන් තමන්ගේ කෝල්ස් වල මහ හයියෙන් කෑ ගහන. පෝලිමේ ඉන්න අතරේ කෝල් එකක් ගත්තට කමක් නෑ. හැබැයි බැංකුවටම ඇහෙන්න බෙරිහන් දෙන එකෙන් තමන්ගේ පුද්ගලික කෝල් එකක කතා කරන දේවල් අනික් අය දැනගන්නවා වගේම, කාර්යබහුල බැංකුවක් ඇතුළේ ඒක ම​ළ වාතයක් වෙනවා අනික් අයට. අන්න ඒ නිසා, පෝලිමේ ඉන්නකොට පෝලිමේ අනික් අයට වාතයක් වෙන්නෙ නැතුව, පෝලිම් පනින්න යන්නේ නැතුව, තමන්ගේ වාරය එනකල් ඉවසීමෙන් ඉන්න එක තමයි හැසිරෙන්න ඕන හරි විදිය.

 

6. හැම දේම පැහැදිළිව කියමු, අහමු

මෙන්න මේකත් විශේෂයෙන් හිතේ තියාගන්න ඕන කාරණයක්. බැංකුවකට ගියාට පස්සේ සමහර දේවල් සිද්ධ වෙන විදිය අපි දන්නෙ නැති වෙන්න පුළුවන්. අන්න එතකොට අපි ඒවා පැහැදිළිවම අහලා දැනගන්න ඕන. උදාහරණයක් විදියට, මොකක් හරි බැංකු එකවුන්ට් එකක් අරින්න ගියොත්, ඒ එකවුන්ට් එකේ තියෙන විශේෂ ප්‍රතිලාභ, ඒවා ලැබෙන්නේ කොහොමද, ඒ එකවුන්ට් එක හැන්ඩ්ල් වෙන්නේ කොහොමද, දැනගන්න ඕන විශේෂ දේවල් මොනවද වගේ හැමදෙයක්ම, තමන්ට ඒකට සහාය වෙන බැංකු නිලධාරියාගෙන් අහලා කරලා දැනගන්න ඕන. එතකොට අපි කියමු ණයක් ගන්න ගියා කියලා. එතකොට වුණත් හැම සුළු දෙයක්ම හරියට අහලා දැනගන්න ඕන. අමතක වෙන්න පුළුවන් දේවල් ලියාගත්තත් කමක් නෑ. උදාහරණයක් විදියට ණය ලබාගන්න මොනවද ඉදිරිපත් කරන්න ඕන ලිපිලේඛන කියලා අහලා, අමතක එනවට ලියාගන්න පුළුවන්.

ඒ වගේම, තව දෙයක්. බැංකුව අපෙන් යම් යම් දේවල් අහනවනේ. කවුන්ටර් එකකදී නම් කතාබහක් අවශ්‍ය නොවෙන තරම්. හැබැයි බැංකුවෙන් වෙනත් වැඩක් කරගන්න ගියොත් යම් යම් දේවල් ගැන කතා කරන්න වෙනවා. අන්න එතනදී පැහැදිලිව, කණට ඇහෙන්න ඒ අවශ්‍ය කාරණා කියන එකත් වැදගත්.

 

7. ඉවසීමෙන් වැඩ කරමු

අන්තිමට ඉතින් බැංකුවට ගියහම විතරක් නෙවෙයි, වෙන කොතනක ගියත් ඕනම කෙනෙක්ට තියෙන්න ඕන දේ ගැන තමයි මේ කියන්නේ. ඉවසීම. ඉවසීමෙන් යුතු වීම කියන්නේ අනිවාර්ය කාරණයක්, විශේෂයෙන්ම බැංකුවක් වගේ කාර්යබහුල තැනකදී. එතන වැඩ කරගන්න ඇවිත් ඉන්නේ තමන් විතරයි කියන මානසිකත්වයෙන් මිදෙන්න ඕන. තමන්ට හදිසියි කියන මානසිකත්වයෙනුත් මිදෙන්න ඕන. මොකද, තමන්ට වඩා හදිසි වැඩ තියෙන අය පෝලිමේ ඉන්න පුළුවන්. ඉතින් ඔය ඉවසීම තියෙනවා නම්, පෝලිම් පනින්න, අදාළ වැඩේට අදාළ නොවන බැංකු නිලධාරීන් ගාවට ගිහින් වද දෙන්න, වාත වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ.

ආ තව දෙයක්. බැංකු අරින වහන වෙලාවල් එක් එක් බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. විශේෂයෙන්ම මේ කොවිඩ් කාලෙත් එක්කත් බැංකු අරින වහන වෙලාවල් සහ දවස් වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, හොඳම දේ තමයි අදාළ බැංකුව වැඩ කරන වෙලාවල් හරියට දන්නෙ නැතිනම් බැංකු ශාඛාවට කෝල් එකක් දීලා හරියට වෙලාවල් දැනගෙන යන එක. හරි ලේසියෙන් ගූග්ල් සර්ච් කරලා ඕනම බැංකුවක, බැංකු ශාඛාවක නොම්බරේ හොයාගන්න පුළුවන්!

 

ඒ ඇරෙන්න, දැන් කාලේ විදියට මීටරේ දුරින් ඉන්න, මාස්ක් දාගෙන බැංකුවට යන්න, අත් හෝදගෙන යන්න වගේ කොවිඩ්-19 සෞඛ්‍ය නිර්දේශ පිළිපදින්නත් අමතක කරන්න එපා. ඒවත් දැන් කාලේ බැංකුවකට ගිහින් හරියට හැසිරෙන විධි වලට අයිති වෙනවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *