ලෝකයේ මුහුදු ගැන වැඩිදෙනෙක් නොදන්නා කරුණු

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මුහුදට සමාන පදයක් විදිහට සාගරය කියන පදයත් යොදනවා. හැබැයි නිවැරදිව කල්පනා කරලා බැලුවොත් එහෙම මුහුද සහ සාගරය කියන්නෙ එකිනෙකට වෙනස් ජල ස්කන්ධ දෙකකට. සාමාන්‍යයෙන් මුහුදක් විදිහට සැලකෙන්නේ කරදියෙන් පිරුණු විලක් වගේ ජල ස්කන්ධයකට. බොහෝ වෙලාවට මේ මුහුදු සාගර කලාපයකට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වට වුණු මුහුදුත් තියෙනවා. අපි අද ලෝකයේ සුප්‍රකට මුහුදු කීපයක් ගැන කතාබහ කරමු.

 

1. මධ්‍යධරණී මුහුද 

අප්‍රිකාව සහ යුරෝපා මහද්වීපය වෙන් කරන යෝධ කරදිය ජලස්කන්ධය මධ්‍යධරණී මුහුද විදිහට හඳුන්වනු ලබනවා. ඉතාමත් පටු තීරුවකින් මේ මුහුද අත්ලාන්තික් සාගරය හා සම්බන්ධ වෙනවා. තව අවුරුදු දස දහස් ගණනකට පස්සේ ගොඩබිම සිදුවන වෙනස්කම් නිසා මධ්‍යධරණී මුහුද සම්පූර්ණයෙන්ම අත්ලාන්තික් සාගරයෙන් වෙන් වුණු ජල කලාපයක් බවට පත් වෙයි කියලා භූ විද්‍යාඥයෝ අනාවැකි පළ කරනව. මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව ඇතිවුණු ග්‍රීක, රෝම, ඊජිප්තු ආදියේ සභ්‍යත්වවල වර්ධනයට මෙම මුහුද බෙහෙවින්ම උපකාරී වුණා.

 

2. කැරිබියන් මුහුද 

ඇතැම් අය ඇමරිකාවේ මධ්‍යධරණී මුහුද විදිහට කැරිබියන් මුහුද හඳුන්වනු ලබනවා. මෙම මුහුදේ විසිරී තිබෙන කුඩා කුඩා දූපත් සමූහය ඒ අනුව කැරිබියන් දූපත් ලෙස නම් වනු ලබනවා. මහා බාධක පරයට පමණක් දෙවැනි වන මෙසෝඇමරිකන් බාධක පරය මෙම මුහුද ආශ්‍රිතව පිහිටා තිබෙනවා. එසේම මේ මුහුද ආශ්‍රිතව බහුලව පවතින තෙල් සම්පත නිසා යටත් විජිත යුගයේ පටන් අද දක්වා බොහෝ දෙනෙකුගේ අවධානය මෙම මුහුද වෙත යොමු වී පවතිනවා.

 

3. දකුණු චීන මුහුද 

බටහිර පැසිෆික් සාගරය ආශ්‍රිතව පිහිටා ඇති මෙම මුහුද දකුණු චීනය, ඉන්දු චීන අර්ධද්වීපය, ඉන්දුනීසියානු දූපත්, පිලිපීනය සහ තායිවානය අතර පිහිටා තිබෙනවා. ඉහත සඳහන් කළ රටවල් අතර පවතින මුහුදු කලාප වලට ඔවුන් වෙනත් වෙනත් නම් ද භාවිතා කරනවා. ලෝකයේ ආර්ථික සහ භූ දේශපාලනය තුළ ඉතා ඉහළ වටිනාකමක් හිමිව ඇති මෙම මුහුද හරහා ලෝකයේ නාවික ගමනාගමනයෙන් තුනෙන් එකක් සිදුවෙනවා. එසේම මෙම මුහුද ආශ්‍රිතව තවමත් ගවේෂණය නොකළ තෙල් සම්පත් ඇති බවට සාධක හමු වී තිබෙනවා. මෙම නිසාම දකුණු චීන මුහුද ආශ්‍රිතව පවතින දූපත් සහ අනු කුඩා මුහුදු කලාප වලට අසල්වැසි රටවල් තරඟකාරී ලෙස උරුමකම් කියනවා.

 

4. බීරිං මුහුද

ඇමරිකා මහාද්වීපය සහ ආසියා මහද්වීපය වෙන් කරනු ලබන බීරිං මුහුද දෙපස රුසියාව සහ ඇලස්කාව පිහිටා තිබෙනවා. භූ ගර්භ විද්‍යාඥයන් විශ්වාස කරන පරිදි මීට සහස්‍ර ගණනාවකට පෙර අතීතයේ දී  මෙම මුහුද මත වූ අයිස් තට්ටුව ඝන ස්වභාවයෙන් පැවති අතර ඒ හරහා ආසියාවේ සිටි පුරාණ මානවයින් ඇමරිකා මහද්වීපය වෙත සංක්‍රමණය වී තිබෙනවා. 2010 වසරේ දී බීරිං මුහුද මතට උල්කාපාතයක් පතිත වූ අතර එම පිපිරුමේ ප්‍රබලත්වය හිරෝෂිමාවට එල්ලවුණු පරමාණු බෝම්බය මෙන් දහ ගුණයක ප්‍රබලත්වයක් සහිත වී තිබෙනවා.

 

5. අන්දමන් මුහුද 

ඉන්දියන් සාගරයේ කොටසක් වන අන්දමන් මුහුද බෙංගාල බොක්කෙන් වෙන් කරනු ලබන්නේ අන්දමන් සහ නිකොබාර් දූපත් මගිනුයි. සාම්ප්‍රදායිකව ධීවර කර්මාන්තයට සහ සංචාරක කර්මාන්තයට අන්දමන් මුහුද සහ ඒ ආශ්‍රිත දූපත් ප්‍රසිද්ධියක් උසුලනු ලබන අතර 2004 වසරේදී සිදුවුණු සුනාමි ඛේදවාචකය එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනයට මරු පහරක් එල්ල කරනු ලැබුවා.

 

6. සාර්ගාසෝ මුහුද 

ලෝකයේ ගොඩබිමකට මායිම් නොවන එකම මුහුද වන්නේ  සර්ගාසෝ මුහුදයි. ඇමරිකා මහද්වීපය ආශ්‍රිතව උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති මෙම මුහුද නිර්මාණය වන්නේ වක්‍රාකාරව සංසරණය වන මුහුදු දිය රැල් වල ප්‍රතිඵලයක් ලෙසටයි. අත්ලාන්තික් කලාපයේ අනිත් ප්‍රදේශවලට සාපේක්ෂව තද නිල් පැහැයෙන් යුතු මෙම මුහුදේ අඩි දෙසීයක් දක්වා ගැඹුරට පැහැදිළිව නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙනවා.

 

7. කැස්පියන් මුහුද 

සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වට වුණු විශාලතම මුහුද ලෙස සැලකෙන්නේ කැස්පියන් මුහුදයි. ඇතැම් අවස්ථාවල මෙය විලක් ලෙස ලෙසද හඳුන්වනු ලබනවා. යුරෝපයේ දිගම ගඟ වන  වොල්ගා ගඟ මෙම මුහුද පෝෂණය කරනු ලබන ප්‍රධාන ජල ජල පෝෂකයක් වනවා. ලෝකයේ මිල අධිකතම මත්ස්‍ය විශේෂය ලෙස සැලකෙන කැවියාර් මත්ස්‍යයන්ගේ මුල් නිජබිම වන්නේ ද කැස්පියන් මුහුදයි. දීර්ඝ කාලයක් මුළුල්ලේ කැස්පියන් මුහුද විලක්ද යන්න පිළිබඳව විවාදයක් පැවැති අතර ඊට බලපෑවේ දේශපාලන කාරණායි. මුහුදු සම්බන්ධයෙන් අන්තර්ජාතික සම්මුතීන් අදාළ වන නිසා රුසියාව කැස්පියන් මුහුද විලක් ලෙස නම් කිරීමට උත්සාහයක් ගත්තා. නමුත් එය සාර්ථක වුණේ නැහැ.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *