දෙතුන් පාරක් විවාහ වුණු අපේ රටේ ජනප්‍රිය ඇත්තෝ

අපේ රටේ සංස්කෘතිය ඇතුළේ විවාහයට හිමි වෙන්නේ පූජනීය ස්ථානයක්. මේ නිසාම කොයිතරම් නොගැලපීම් තිබ්බත් පෝරුවේ ඉඳන් අන්තිම හුස්ම හෙළනකන් විවාහය රැකගන්න අපේ රටේ ස්ත්‍රී පාර්ශවය වගේම පුරුෂ පාර්ශවයත් උපරිම උත්සාහ කරනවා. ඒත් වෙන් වෙන්න හේතු කප්පරක් තියෙද්දි දහ දුක් විඳ විඳ ජීවිත කාලකන්නි කරගන්න ඕනද කියන ප්‍රශ්නය තියෙනවා. අද Lifie ආටිකල් එක වෙන් වෙන්නේ දෙතුන් වතාවක් විවාහ වුණු අපේ රටේ ජනප්‍රිය පුද්ගලයෝ ගැන. මේ විවාහ බිඳවැටීම් සහ නැවත විවාහවීම්වලට හේතු මේවා කියලා සමාජයේ ඕපදූප කොච්චර පැතිරිලා තිබ්බත් ඒවලට හේතු අපි කිසිසේත්ම නොදන්න, ඒ අයම විතරක් දන්න හේතුවක් වෙන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා.

 

1. ඇන්ජලා සෙනෙවිරත්න 

දෛවය විසින් විවිධ අවස්ථාවල පරීක්ෂණවලට ලක් කරපු සුන්දර කාන්තාවක් විදිහට ඇන්ජලා සෙනෙවිරත්නව හඳුන්වන්න පුළුවන්. ඇයට ගාමිණී ෆොන්සේකාව මුණ ගැහෙන්නේ කොටි වලිග​ය චිත්‍රපටියේ රූගත කිරීමේදී. එවිට ඇය මොහොමඩ් ඉස්මයිල් ශමීන් නම් මාලදිවයින් ජාතිකයා සමග පැවති විවාහය බිඳ වැටීමෙන් දරුවෙකු සමග තනිවුණු මවක්. ගාමිණීත් තමන්ගේ පළමු විවාහයට මානසිකව සමුදීලා විවිධ සම්බන්ධතාවල පැටලෙමින් හිටපු කාලයක් ​ඒ. නමුත් මේ සුන්දර තරුණියව ගාමිණී විසින් හින්දු ක්‍රමයට විවාහ කරගන්නවා. ගාමිණී නිසා ඇයට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. පසුව ගාමිණී වටා හිටපු අය නිසා ඒ විවාහයටත් කණ කොකා හඬනවා. ඉන්පසුව ඇය හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වුණු එරාජ් අබේවර්ධන සමග විවාහ වෙනවා. එරාජ් දැඩි ලෙස රෝගී වුණු කාලයේදී ඔහු ළඟින්ම ඉඳන් ඇය ඔහුට ඇප උපස්ථාන කරනවා.

 

2. ජයසේකර අපෝන්සු 

වතාවක් ජයසේකර අපෝන්සු තමන්ගේ බිරිඳ එක්ක සිරස සුපර් ස්ටාර් අවසාන වැඩ සටහන බලන්න යනවා. ඒ අවස්ථාවේදී සිරස නිවේදකයෙකු වුණු  ප්‍රියන්ත විජේසිංහ ඇවිත් “මචන් උඹේ කොල්ලා අම්මත් එක්ක ඇවිත් ඉන්නවා, පොඩ්ඩක් හැරිලා බලපන්” කියලා කියනවා. ඒ ඇවිත් තිබුණේ ජයසේකර අපෝන්සුගේ පළමු විවාහයේ බිරිඳ සහ දරුවා. නමුත් අපෝන්සු හැරිලාවත් ඔවුන් දෙදෙනා දිහා බලන්නේ නෑ. පස්සේ අපෝන්සු අසනීප වෙනවා. හිටපු තරුණ බිරිඳ දාලා යනවා. නැවතත් ඔහු ළඟ ඉන්න බිරිඳ සහ දරුවා එනවා. හැබැයි විවිධ හේතු නිසා මේ සමගියත් තියෙන්නේ ටික කාලයයි. ජයසේකර අපෝන්සු අද විවාහ වෙලා ඉන්නේ තමන්ට වඩා බෙහෙවින්ම බාල තවත් තරුණියක් එක්ක.

 

3. මධුමාධව අරවින්ද

කාලෙන් කාලෙට දේශපාලනය ඇතුළේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කර​න මධුමාධවගේ විවාහ ජීවිතය ගැනත් විවිධ අවස්ථාවල අපේ රටේ කතාබහට ලක් වුණා. නිල්මිණි තෙන්නකෝන් සමග විවාහය බිඳ වැටෙද්දි මුළු රටේම කණගාටුව හිමි වුණේ නිල්මිණීට. රටේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය පවා ගත්තේ නිල්මිණිගේ පැත්ත. හැබැයි මේ දෙන්නා නීත්‍යානුකූලව වෙන් වුණත් මේ දෙන්නටම අත් අරින්න බැරි බැඳීමක් තිබ්බා. ඒ තමයි ඒ දෙන්නාගේ දුව  ශ්වේතා. කොයි තරම් බැණ අඬගසා ගත්තත් දුවගේ සියලු කටයුතුවලට දෙදෙනාම එකට සහභාගී වුණා. පස්සේ කාලෙකදි දෙදෙනාම දෙවැනි විවාහවලට ගියත් ඒ විවාහත් බිඳ වැටුණා. නිල්මිණී නම් ඉන් පස්සේ විවාහ ගැන හිතන එක නැවැත්තුවත් මධුමාධව නම් තෙවෙනි විවාහයකුත් කරගත්තා.

 

4. තිස්ස අබේසේකර 

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “අහසින් පොළොවට” චිත්‍රපටිය රූගත කිරීම් කරද්දි තිස්සගේ හිත චිත්‍රපටියට ආපු ලාබාල නිළියකට ඇදිලා යනවා. ඒ තමයි සුවීනිතා වීරසිංහ. මේ සබඳතාවය නතර වෙන්නේ මහ දවල් මේ දෙන්නා පැනලා යාමෙන්. නමුත් මේ විවාහයට වැඩි ආයුෂ තියෙන්නේ නෑ. ඉන්පසේ තිස්ස විවාහ වෙන්නෙ තමන් පාසල් කාලේ ඉඳන් දන්නා හඳුනන පුෂ්පා මීවැල්ල එක්ක. නමුත් ඒ විවාහයත් බිඳ වැටෙනවා. තුන්වෙනියට තිස්ස විවාහ වෙන්නේ ඔගස්ටා පුෂ්පරාණී නම් නිළිය එක්ක. ඔගස්ටාට “අසංකා මොනරවිල” කියලා අලුත් නමක් දෙන තිස්ස, තමන්ගේ ජීවිතයත් ඒ විවාහය හරහා අලුත් කරගන්නවා.

 

5. සුවිනීතා වීරසිංහ

අපි කලින් කිව්වා වගේ සුවිනීතා පළමු වරට විවාහ වෙන්නේ තිස්ස අබේසේකර එක්ක. නමුත් ඇය පස්සේ කාලෙක නම් කිව්වේ තිස්ස තමාව යම්තාක් දුරකට රැවටුවා කියලා. ඔවුන් දෙදෙනාගේ විවාහය බිඳ වැටීමෙන් පස්සේ ඇයත් දෙවන විවාහයකට යනවා. ඒ සරත් කෝන්ගහගේ එක්ක. සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක දේවින්ද කෝන්ගහගේ ඔවුන් දෙදෙනාගේ පුත්‍රයා. විවිධ නොගැලපීම් නිසා ඒ විවාහයත් දික්කසාදයකින් කෙටි වෙලා යනවා. සරත් කොන්ගහගේ වර්තමානයේ ප්‍රකට දේශපාලනඥවරියක වන ශාන්තිනී කෝන්ගහගේ සමග විවාහ වෙද්දි සුවිනීතා නන්දලාල් මාලගොඩ සමග විවාහ වෙනවා.

 

6. සනත් ජයසූරිය 

මාස්ටර් බ්ලාස්ටර්ගේ මුල්ම විවාහය සිද්ධ වුණේ සුමුදු නම් ගුවන් සේවිකාවක් එක්ක. මේ විවාහයට එවකට ලංකාවේ ඉහළම ප්‍රභූ පිරිස් සම්බන්ධ වුණා. ඒ වගේම ජනමාධ්‍ය හරහා මේ විවාහයට ඉහළ ප්‍රචාරයක් ලැබුණා. නමුත් මේ විවාහය වසරක් යන්නට පෙර බිඳ වැටුණා. ඉන්පසුව ඔහු විවාහ වුණේ සැන්ඩ්‍රා ටානියා නම් තවත් ගුවන් සේවිකාවක් සමගයි. මේ විවාහයෙන් ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක් බවට පත් වුණා. ඒ අතරතුරදි සැවොම පුදුමයට පත් කරමින් ඔහු මලීකා සිරිසේනගේ නම් තරුණිය සමග පන්සලකදී විවාහ දිවියට එළඹුනා. නමුත් පසු ව ඔවුන් දෙදෙනා ම එසේ විවාහයකට එළඹීම ප්‍රතික්ෂේප කළා.

 

7. සුනේත්‍රා සරච්චන්ද්‍ර 

මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ ප්‍රියතම දියණිය වූයේ සුනේත්‍රායි. මුල්​ම අවස්ථාවේ සිංහබාහු නාට්‍යයේ පෙළෙහි පිදුම වෙන් වුණෙත් සුනේත්‍රා වෙනුවෙනුයි. පස්සේ කාලෙක සුනේත්‍රා, සරච්චන්ද්‍රගේම ගෝලයෙක් වුණු ධම්ම ජාගොඩ සමග විවාහ වුණා. එයට සරච්චන්ද්‍ර මහතාගෙන් අනුමැතියක් හිමි වුණේ නෑ. විවිධ හේතු නිසා එම විවාහය බිඳ වැටෙද්දි ඇය නිහාල් ප්‍රනාන්දු සමහ විවාහ වුණා. නමුත් ඒ විවාහය තුළත් ඇයට අවැසි රැකවරණය හිමි වුණේ නෑ. ඊළඟට ඇගේ නවාතැන වුණේ කැලිෆෝනියාව. එහිදි ඇය සිය තෙවන විවාහය සිදු කරගත්තා. අද වන වි​ට ඇය කලා කටයුතුවල නිරත වෙමින් කැලිෆෝනියාවේ සතුටින් කල් ගත කරනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම  මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *