ඒ ලෙවල් ෆේල් ඔබට සයිබර් අවකාශයෙන් කියන කතා

AL talks

පහ වසර විතර ඉඳන් පටන් ගත්තම ජීවිත කාලෙම විභාග තමයි. ඒ අස්සේ භීෂණේ වගේ තියෙන්නේ ඒ ලෙවල්. ජීවිතේ ඉතිරි කාලේ හොම්බෙන් යවාගන්නවා ද නැත්තන් හොඳ තැනකට යනවා ද කියන එක තීරණය කරන්නේ මේ විභාගය. මෑතක ඉඳන් තමන්ගේ ප්‍රතිඵල ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා අන්තර්ජාලයට විසි කරලා මොරාල් එකක් ගන්න මෙව්වා එකක් අපේ රටේ පටන් ගෙන තියනවා. මේකත් එක්ක ම ඒ දාන දාන ස්ක්‍රීන්ෂොට් එකට දැනමුතුකම් දෙන්න යන ගුරාලා සෙට් එකකුත් ඉපදිලා. එහෙන් මෙහෙන් අහුලා ගත්ත එයාලාගේ කතා තමයි මේ.

 

1. විභාග කියන්නේ ජීවිතේ ම නෙවේ

AL talks

Source – giphy.com

විභාගේ කෙළවගත්ත ඔයාට කවුරුහරි හිත හදන්න ඉස්සෙල්ලා ම කියන කතාව තමයි මේ. මේකේ එක්තරා විදියක ඇත්තකුත් තියෙනවා තමයි. හැබැයි අවුරුදු 13ක් තිස්සේ ඔයා ඉගෙනගත්තේ කීයටවත් මේ දේ කාගෙන්වත් අහගන්න ද කියන එකත් ප්‍රශ්නයක්. අනික කවුරු මොනා කිව්වත් මේ ලොකේ මිනිස්සු සුදුසුකම් හදාගන්න මාර ම කෑදරයි. පොඩි ජොබ් එකටත් ඒ ලෙවල් රිසල්ට්ස් බලන කාලේ විභාග කියන්නේ ජීවිතේ ම නෙවෙයි කියලා හිත හදාගන්න පුළුවන් ද? ඔහොම තමයි බන් ජීවිතේ, ජය පරාජය දෙකම තියනවා කියලා උපදෙස් දෙන ගොඩක් අය ඒ ලෙවල් උඩින් ම පාස්.

 

2. ඔයාට ඉස්සරහට යන්න පාරවල් ගොඩක් තියනවා

AL talks

Source – giphy.com

ඔව්. පාරවල් ගොඩක් තියනවා. හැබැයි ඒ එකක්වත් මේ ගොඩක් තියනවා කියන තරම් ලේසි නෑ. වංගු, වළවල්, ඒ මදිවට කාලයක් පවතින ට්‍රැෆික් එකක් වුණත් ඒ පාරවල සෙට් වෙන්න බැරි නෑ. ජීවිතේ දිනන්න ගොඩක් පාරවල් තියනවා. හැබැයි ලේසිම පාර තමයි ඒ ලෙවල්. යන්න ඕනි පාර පැහැදිලිව තියෙද්දී අමුතුවෙන් පාරවල් හොයන්න යන්නේ මොකද? අනික මේක හැමෝට ම සාධාරණීකරණය කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නයත් තියෙනවා. වෙනත් අතක් බලාගන්න අද කාලේ ගොඩක් වෙලාවට මුදල් ඕනි. එහෙමත් නැත්තම් උදව් කරන්න පුළුවන් හිතමිත්‍රාදීන් ඉන්න ඕනි. තනියම අරමුණු සාක්ෂාත් කරගන්න ටිකක් අමාරුයි.

 

3. විභාගේ ෆේල් අය තමයි අද ලොකු තැන්වල ඉන්නේ

AL talks

Source – verg.in

කලින් කිව්ව ඕනෑ තරම් තියන පාරවල කොහොමහරි ගියපු කට්ටියව හිස් මුදුනේ තියන් කියන මේ කතාව කියන්න තිබ්බේ ඒ ලෙවල් ලියන්න කලින්. එහෙනම් ගෙදර මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරන්නෙත් නැතුව ඕනි පාරක යන්න තිබ්බා. මේ වගේ කියමන් නිසා හොඳක් වෙනවාට වඩා වෙන්නේ අවැඩක්. ඒක දකින වෙන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ ලෙවල් ලියන්න ඕනිත් නෑ කියලා. අනික ඔය ලොකු තැන්වල ඉන්න මහත්තුරු කවුරුත් එක පාර උඩ ගිය අය නෙවෙයි. තවත් කෙනෙක්ගේ සහයෝගය ඇතුව තමයි ලොකු තැන්වල ඉන්නේ. නැත්තම් පවුලෙන් එන බිස්නස් එක රන් කරන් යනවා.

 

4. මගේ කතාව අහන්නකෝ.. නැත්තම් මේ මෙයාගේ කතාව අහන්නකෝ

AL talks

Source – cnbc.com

තමන් කියන කතාව කොහෝමහරි හරිය කියලා කියන්න රටේ නැති උදාහරණ පෙන්නනවා. එක එක මිනිස්සුන්ගේ අභිලාෂ වෙනස්. ඒක නිසා අපිට කවදාවත් බලාපොරොත්තු වෙන්න බැහැ මගේ කතාව අහලා ඒ අනුව තව එකෙක් හැදෙයි කියලා. ලෝකේ තියන තරගකාරී ම විභාගයකට වාඩි වෙන්නේ කතා අහලා ඒ මග යන්න නෙවෙයි. තමන්ගේ විතරක් නෙවෙයි දෙමව්පියන්ගෙත් බලාපොරොත්තු විභාග ප්‍රතිඵල අස්සේ දියවෙලා යනකොට ආය පාරක් කරන්න, එහෙමත් නැත්තම් පෞද්ගලිකව අර කිව්ව වෙනත් පාරක් බලාගන්න උදව් කරන එක හැරුණම කතා අහන එක තේරුමක් ම නැති දෙයක්.

 

5. බඩු ටික පැක් කරගෙන ගෙදරින් යන්න කාලේ හරි

AL talks

Source – webtokri.com

වෙන ම ආතල් එකක් කරන් ප්‍රතිඵල එන්නත් කලින් විභාග ෆේල් වුණොත් ළමයින්ව ගෙදරින් එළියට දානවා කියලා සමාජගත කරනවා තරම් රට හරක් වැඩක් තවත් තියෙයිද? පහුගිය දිනවල ෆේස්බුක් පේජ්වල ඇඩ්මින්ලා එක දිගට වසංගතයක් වගේ කිව්වේ මේ දේ. ලංකාවේ අම්මලා තාත්තලා ළමයින් එක්ක තියෙන්නේ පුදුම ලෙංගතුකමක්. විභාගයක් නිසා ඒ ආදරය නැතිවෙයි කියලා හිතන්නවත් අපිට අයිතියක් නෑ. මොන පොර ටෝක්ස් දුන්නත් ළමයගේ අනාගතය සම්බන්ධයෙන් තීරණ ගන්න ඕනි විදිය දන්නේ අදාළ පුද්ගලයයි එයාගේ දෙමවිපියොයි විතරයි.

 
Cover Image Source – istock.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *