ජනප්‍රිය බොලිවුඩ් නළු නිලියන්ගේ ටැටූ පිටුපස ඇති කතන්දර

ටැටූ එකක් කියන්නෙ දැන් තව දුරටත් රස්තියාදුකාරකමක් හරි චණ්ඩි පාට් එකක් හරි පෙන්නන විලාසිතාවක් නෙමෙයි. ඒක ප්‍රකාශන මාධ්‍යයක් වෙලා. තමන්ට ප්‍රකාශ කරන්න තියෙන දෙයක්, සැමරුමක් එහෙමත් නැත්නම් තමන් ආස කර​න දෙයක් තමන්ගෙ ශරීරයෙ කොටා ගන්න එක මේ වෙද්දි අතිශය සාමාන්‍ය දෙයක් වෙලා. මේ වෙද්දි ටැටූ එකක් ශරීරයේ නැති අයට වඩා ඇති අය වැඩි තත්ත්වයක් තියෙන්නෙ. හැබැයි අපි හැමෝම ටැටූ ගහනව වගේ නෙමෙයි, ජනප්‍රිය පුද්ගලයෙක් ටැටූ එකක් ගැහුවම ඒ ටැටූ එක මොකක්ද? ඒ​ක පිටිපස්සෙ තියෙන කතන්දරේ මොකක්ද? කියලා හොයන්න ලොකු කුතුහලයක් ඇති වෙනව. 

මේ කියන්නෙ ඒ විදිහට අපි නිතර දකින බොලිවුඩ් තරු කීපයක ටැටූ පිටිපස්සෙ තියෙන කතන්දරයි!

 

1. සංජේ දත්

සංජේ දත් කියන්නෙ බොලිවුඩ්වල ඉන්න ලොකුම පච්ච සිරෙක්. වෙනම ආටිකල් එකක් ලියන්න තරම් පච්ච සංජේගේ ඇඟේ තියනව. උරහිස්, අත් පපුව ව​ගේ ඇඟ පුරා එක එ​ක තැන්වල සං​ජේ දත් පච්ච කොටාගෙන ඉන්නවා. සංජේගෙ පපුවේ තියෙන ලොකු පච්චයක උර්දු සහ දේවනාගර භාෂා වලින් එයාගෙ දෙමවුපියන්ගෙ නම් කොටල තියනව. වම් උරහිසේ ඕම් නම: ශිවාය කියල ශිව දෙවියන්ව සිහිවන්න ටැටූ එකක් ගහල තියන​ව. දකුණු උරහිසේ උඩම තියනවා වාසනාව වෙනුවෙන් ගහපු මක​ර ටැටූවක්. ඊට පහලින් තියනවා මල් වැස්සක යටින් ඉන්න සමුරායි සටන්කරුවො දෙන්නෙක්. ඒකෙන් අදහස් වෙන්නෙ සංජේගෙ ජීවි​​තේ මුහුණ දෙන්න වෙච්ච කරදර බා​ධක මැද ඔහු නොසැලී හිටියයි කියන එකලු. මීට අම​තරව තව ටැටූ ගණනාවක්ම සංජේ දත් කොටාගෙන ඉන්නවා තමන්ගෙ ජීවිතේ සමීප අයව සිහිවෙන්න.

 

2. ප්‍රියංකා චොප්රා

බොලිවුඩයේ වගේම දැන් හොලිවුඩයෙත් එක ව​ගේ ජනප්‍රිය ප්‍රියංකා චොප්රාගේ දකුණු අතේ පැත්තකින් කොටාගෙන ඉන්න අකුරු පේළියක ටැටූ එකක් ඔයාල කවුරුත් දැකල ඇති. මේ ටැටූ එකේ සටහන් වෙලා තියෙන්​නෙ ‘Daddies lil girl (තාත්තගෙ පුංචි කෙල්ල)’ කියලයි. ප්‍රියංකා චොප්රා තමන්ගෙ තාත්තත් එක්ක හරිම සමීපව ආදරයෙන් හිටපු කෙනෙක්. ප්‍රියංකා සහභාගි වෙන සම්මාන උත්සවවලට එහෙමත් හුඟක් වෙලාවට එයාගෙ තාත්තා එයත් එක්ක ගියා. ක්ෂේත්‍රයෙ වැඩි දෙනෙක් නොදැන හිටියට ප්‍රියංකගෙ තාත්තා ප්‍රියංකා ජනප්‍රිය වෙනකොටත් පිළිකා තත්ත්වයක​ට ප්‍රතිකාර ගනිමිනුයි හිටියේ. 2012 අවුරුද්දෙදි තාත්තගෙ අත් අකුරු වලින්ම මේ ටැටූ එ​කේ අකුරු ලියාගෙන ප්‍රියංකා තමන්ගෙ ශරීරයෙ ඒක ටැටූවක් හැටිය​ට සටහන් කරගන්නවා. 2013 අවුරුද්දෙදි එයාගෙ ආදරණීය තාත්තා මෙළොව හැරදාල යනව.

 

3. ආක්ෂේ කුමාර්

90 දශකයේ බොලිවුඩයේ සිහින කුමාරයෙක් සහ අංක එකේ ක්‍රියාදාම නළුවෙක් වෙලා හිටපු ආක්ෂේ කුමාර් කියන්නෙත් ටැටූ වලට ප්‍රිය කරන නළුවෙක්. ආක්ෂේගෙ ටැටූ ඔක්කොම වගේ ගහල තියෙන්නෙ තමන්ගෙ ජීවිතේට සමීප අයව සිහිගන්වන්නයි. තමන්ගෙ පවුලේ අය එක්ක නිතර රැඳී ඉන්න කාර්යබහුලත්වය ඉඩ දෙන්නෙ නැති නිසා මේ ටැටූ ඒ අයගෙ මතකය තමන්ට තවත් සමීප කරන්න ගහගත්ත ඒව කියලයි ආක්ෂේ කියන්නෙ. ආක්ෂේගෙ පිටේ තියනවා තමන්ගෙ පුතාගෙ නම් වන ‘Aarav’ කියල ගහපු ටැටූවක්. දකුණු උරහිසේ දුවගෙ නම වන ‘Nitara’ ටැටූ කරල තියනව. ඒ වගේ​ම වම් උරහිසට ටිකක් උඩින් තමන්ගේ බිරිඳ වෙන ට්වින්කල් ඛන්නාගෙ කෙටි නම වන ‘Tina’ ටැටූ එකක් හැටියට ආක්ෂේ ගහගෙන ඉන්නව.

 

4. කන්ගනා රනවුත්

බොලිවුඩයේ ඉන්න ආන්දෝලනාත්මක පුවත් මවන්නියක් සහ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන කංගනාගෙ බෙල්ලේ තියනවා ඉතාම ලස්සන ටැටූ එකක්. කංගනා මුල් කාලේ ගහගෙන හිටපු ඔටුන්නක් සහ දේව දූතයන්ගේ පියාපත් සහිත ටැටූ එකක් මොඩිෆයි කරලා කංගනා මෑතකදී ගහනවා ‘වීර දේවදූතිය’ වගේ අර්ථයක් තියන ටැටූ එකක්. ඒකේ තියෙන්නේ ඔටුන්නක්, කඩුවක් සහ දිව්‍යමය පියාපත් දෙකක්. ​මේකෙ ඔටුන්නෙන් අදහස් කරන්නෙ තමන් රැජිණක් කියන එකලු. කන්ගනාට බොලිවුඩයෙ අසීමිත ජනප්‍රියත්වයක් අරන් දීපු ‘ක්වීන්’ චිත්‍රපටයටත් මේ ටැටූ එක සම්බන්ධයි. එතකොට දිව්‍යමය පියාපත් වලින් එයාගෙ ජීවිතේ ආශාවන් සං​කේතවත් වෙනවලු. ඒ වගේම මැද තියෙන කඩුවෙන් කියන්නෙ එයාගේ නොපසුබසින සටන්කාමී චරිතය ගැනලු. මොකද කංගනා කියන්නෙ සිනමා කර්මාන්තයට සම්බන්ධ නැති පවුලක ඉපදිලා බොහොම අසීරුවෙන් ඉහළ නැග්ග චරිතයක් නිසා.

මේ ටැටූ එකට අමතරව කං​ගනා තමන්ගෙ කකුලේ වළලුකරකත් සුර දූතියකගෙ ටැටූවක් සටහන් කරගෙන ඉන්නවා.

 

5. දීපිකා පදුකෝන්

මෙන්න මේක තමයි බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය සහ කතාබහට ලක්වෙලා තියන ටැටූ එක. මේක තියෙන්නෙ අතිශය රූමත් බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ගේ බෙල්ල පිටිපස්සේ. ලතාවකට ලියැවුණු ‘RK’ කියන අකුරු දෙක තමයි එයා එතන කොටාගෙන ඉන්නෙ. මේ RK කවුද කියලා ඔයාල වැඩි දෙනෙක් දන්නව ඇති නෙ? ඒ තමයි ඒ කාලෙ දීපිකාගෙ පෙම්වතා වුණු ජනප්‍රිය නළු රන්බීර් කපූර්ගෙ නමේ මුලකුරු දෙක. රන්බීර්ගෙන් වෙන් වුණාට පස්සෙත් දීපිකා මේ ටැටූ එක මකාගත්තෙ නැහැ. කොටින්ම පස්සෙ කාලෙක ජනප්‍රිය බොලිවුඩ් නළු රන්වීර් සිං එක්ක පෙම් සම්බන්ධයක් ඇතිකර ගත්තට පස්සෙත් මේ ටැටූ එක දීපිකාගෙ බෙල්ලෙ තිබ්බා. සමහරු දීපිකාගෙන් ප්‍රශ්න කරලත් තිබ්බා මේ ‘ටැටූ එක තාම තියනවට රන්වීර් මොකුත් කියන්නෙ නැද්ද?’ කියල අහල. මේ වෙද්දි ඒ ටැටූ එක දීපිකා මකාගෙන කියලත් බොලිවුඩ් ගොසිප් අඩවි වල පළවෙනවා. දීපිකා ඒක මකාගෙනද? එහෙමත් නැත්නම් මේකප් වලින් වහගෙනද කියලා නම් හරි තොරතුරක් දැනගන්න නැහැ.

 

6. රන්බීර් කපූර්

දීපිකාගේ ටැටූ එකට නිමිත්ත වෙච්ච රන්බීර් කපූර්ගේ ටැටූ එකකුත් මීට අවුරුදු කීපයකට කලින් බොලිවුඩයේ කසුකුසු ඇති කරන්නට සමත් වුණා. බොම්බේ වෙල්වට් චිත්‍රපටය රූගත කරන කාලයේ එළියට ආපු මේ ටැටූ එක කොටලා තිබ්බේ රන්බීර්ගෙ දකුණු අතෙයි. දේවනාගර භාෂාවෙන් ‘ආවාරා’ කියල තමයි කොටාගෙන තිබුණෙ. ආවාරා කියන්නෙ අයාලේ යන නිදහස්කාමී බවක් අර්ථ ගන්ව​න වචනයක්. රන්බීර් කපූර්ගෙ සීයා වුණු රාජ් කපූර්ගේ ප්‍රසිද්​ධම චිත්‍රපටයක් තමයි 1951 ආපු ආවාරා චිත්‍රපටය. සමහරු කිවුවා මේක තමන්ගේ සීයාව සිහිපත් වෙන්න රන්බීර් ගහගත්ත ටැටූ එකක් කියලත්. තවත් සමහරු ඒ කා​ලෙ කිවුවා මේක චිත්‍රපටයක් චරිතයක් වෙනුවෙන් රන්බීර් ගහගත්ත තාවකාලික ටැටූවක් කියලා.

 

7. සායිෆ් අලී ඛාන්

සායිෆ් අලී ඛාන්ගෙ වම් අතේ යටි බාහුවේ තඩි සයිස් ටැටූ එකකින් අකුරු වගයක් කොටාගෙන ඉන්නවා ඔයාල කවුරුත් දැකල ඇති. දේවනාගර අක්ෂරවලින් සායිෆ් ඒ කොටාගෙන ඉන්නෙ ඒ කාලෙ එයාගෙ පෙම්වතිය සහ පස්සෙ බිරිඳ බවට පත්වෙච්ච කරීනා කපූර්ගෙ නමයි. කරීනා ටැටූ එකට අත තියන්න සායිෆ් තමන්ගේ බිරිඳට සහ දරුවා වෙන ටයිමුර්ට ඇරුණහම වෙන කාටවත් ඉඩ තියන්නෙ නැහැලු. ටැටූ ගහන ඉක්මනින් මකන්න වෙන කලා ලෝකේ කරීනා – සායිෆ් යුවළ 2012 විවාපත් වෙලා අද වෙනකන්ම බොහොම ආදරයෙන් ප්‍රීතියෙන් ගතකරන බවක් තමයි පේන්න තියෙන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *