ලංකාවේ අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණු නවකතාකරුවෝ කීපදෙනෙක් ගැන අද සටහනක් තියන්න හිතුනා. මේ සියලුම නවකතාකරුවෝ අද වෙනකොට ජීවතුන් අතර නෑ. මේ සියළු දෙනාම ජීවතුන් අතර හිටපු කාලයේ දී ලංකාවේ පිළිගැනීමට ලක් වුණෙත් නැහැ කියන එකත් අපි මතක් කරන්න ඕන. මේ ලිපිය ලියලා තියෙන්නේ ටිකක් වෙනස් විදිහකට කියන එකත් ඔලුවේ තියාගෙන අපි මේ විශිෂ්ටයෝ ගැන අපේ මතකය අවදි කර ගනිමු. .
1. පියදාස සිරිසේන
ලංකාවේ මුල්ම නවකතාව විදිහට සැලකෙන්නේ සයිමන් ද සිල්වාගේ මීනා නවකතාව, නමුත් ලංකාවේ සයිමන් ද සිල්වා ජනප්‍රිය නවකතාකරුවෙක් බවට පත්වුණේ නැහැ. පළමුවරට ජනතාව අතර අතිශයින් ජනප්‍රිය නවකතාකරුවෙක් බවට පත්වෙන්න හැකියාව ලැබුනේ පියදාස සිරිසේන මහත්මයාට. ඔහුගේ නවකතාවල පිටපත් ලක්ෂ ගණනින් විකිණෙන්න පටන් ගත්තා. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි පියදාස සිරිසේන මහත්මයා ජාතික ව්‍යාපාරය තුළ හිටපු ප්‍රධාන චරිතයක්. ෂර්ලොක් හෝම්ස් චරිතය ඇසුරෙන් වික්රමපාල නම් චරිත නිර්මාණය කරමින් ලංකාවේ ලියැවුණු පළමු රහස් පරීක්ෂක කතා ලියන්න පටන් ගන්නෙත් පියදාස සිරිසේන මහත්මයා. නමුත් පියදාස සිරිසේන ව පස්සේ කාලේදී විචාරකයන් අතින් දැඩි විදිහට විවේචනයට ලක් වෙනවා. ඒකට හේතුව විදිහට ඔවුන් දක්වන්නේ පියදාස සිරිසේනගේ නවකතා වල නවකතා ලක්ෂණ අඩුයි කියලා. ඒ වගේම පියදාස සිරිසේන තමන්ගෙ නවකතා හරහා මිනිස්සුන්ට අවවාද ලබා දීම සහ ධර්ම දේශනා කිරීමට උත්සාහ කිරීම කියන කාරණා ඔවුන්ගේ විවේචනයට ලක් වෙනවා.
2. ඩබ්ලිව්. ඒ සිල්වා
ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වුණු ජනප්‍රියතම නවකතාකරුවා විදිහට ඩබ්ලිව්. ඒ සිල්වා මහත්මයාව හඳුන්වන්න පුළුවන්. නවකතාකරුවන්ගේ සුපර් ස්ටාර් කියලා කිව්වොත් වැරදි නැහැ. මේ නිසාම නවකතා චක්‍රවර්ති කියන අනවර්ථ නාමයක් පාඨකයෝ එතුමා වෙනුවෙන් භාවිතා කරලා තියෙනවා. ලංකාවේ පළමු වරට නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වන චිත්‍රපටය තැනෙන්නේත් එතුමාගේ නවකතාවක් ආශ්රයෙන්. ඒ වගේම එතුමාගේ නවකතා ගණනාවක් චිත්‍රපටිවලට වගේම ටෙලිනාට්‍යවලටත් නැගිලා තියෙනවා. පියදාස සිරිසේන මහත්මයාට වගේම විචාරකයන්ගෙන් මෙතුමාටත් නිසි සහයෝගයක් ලැබුනේ නෑ. විචාරකයන්ගෙන් තමන්ට එල්ල වුණු අසාධාරණ විවේචන ගැන එතුමා තමන්ගේ අවසාන සමයේදී දැඩි ලෙස සිත් තැවුලෙන් කල්ගත කරලා තියනවා.
3. කරුණාසේන ජයලත්
කරුණාසේන ජයලත් කියන්නේ කවුද කියලා ආපහු ලංකාවේ කෙනෙක්ට අඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැයි කියලා අපි හිතනවා. කරුණාසේන ජයලත් තමන්ගේ පාසල් සමයේ අත්විඳපු ඒත් තමන්ට සාර්ථක කරගන්න බැරිවුණු ප්‍රේම සම්බන්ධතාවයක් ඇසුරෙන් තුන්කොන් ප්‍රේම කතාවක් පාඨකයන් වෙත ඉදිරිපත් කළා. කොටින්ම ඒ නවකතාව පිස්සුවෙන් වගේ ලංකාවේ පාඨකයො වැළඳ ගත්තා. ඊට පස්සේ කරුණාසේන ජයලත් විසින් රචනා කරපු සියලුම නවකතා නිරායාසයෙන්ම ජනප්‍රියත්වයට පත්වුණා. ඔහුගේ නවකතා ඇසුරෙන් චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය ගණනාවක් නිපදවා තිබෙනවා. ඒ වගේම ඒ කතා ඇසුරෙන් ලියවුනු ගීතත් අතිශයින් ජනප්‍රියයි.
4. ඩීමන් ආනන්ද
වර්තමාන පරම්පරාව නම් නම් ඩීමන් ආනන්ද කියන නම දන්නවාද කියලා අපි දන්නේ නෑ. හැබැයි අපේ පරම්පරාව සහ අපේ පෙර පරම්පරාවට ඩීමන් ආනන්ද හොඳට අඳුරනවා. මාරක කතා චක්‍රවර්ති විදිහට හඳුන්වපු ඩීමන් ආනන්දගේ කෘතිවලින් ත්‍රාසය වගේම ශෘංගාර රසයත් පාඨකයන් වෙත ගෙනාවා. මේ නිසාම විශේෂයෙන්ම දරුවන් ඩීමන් ආනන්දගේ පොත් කියවීම නිසා නරක් වෙන බවට වැඩිහිටියන් විශ්වාස කළා. නමුත් ඒ අදහසට එතරම් එකඟ වෙන්න බෑ. උදාහරණයක් විදිහට සුමින්ද සිරිසේන මහත්මයා කිව්වේ තමන්ගේ කියවීම රුචිය වැඩි වුණේ ඩීමන් ආනන්ද මහත්මයාගේ පොත් කියවීම නිසා කියලා. කොහොම වුණත් අද වෙනකොට ඩීමන් ආනන්ද මහත්මයාගේ සියලුම කෘතී හොයාගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරුයි.
5. කුමාර කරුණාරත්න
කරුණාසේන ජයලත් ගේ අඩි පාරේ යමින් නවකතාකරණයට එකතුවුනු කුමාර කරුණාරත්න කරුණාසේන ජයලත්ට සමාන ජනප්‍රියත්වයක් පාඨකයන් වෙතින් ලබාගත්තා. දවසක් එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී කුමාර කරුණාරත්නගෙන් මාධ්‍යවේදියෙක් මෙහෙම අහනවා. “ඔබේ නවකතා පළ වුණු පත්තර වල නම් කියන්න පුළුවන්ද? “කුමාර කරුණාරත්න ඒ ජනමාධ්‍යවේදියාගෙන් පෙරළා මෙහෙම අහනවා. “ඔය ප්‍රශ්නේ ඔහොම අහනවට වඩා හොදයි මගේ නවකතා පළ නොවුණු පත්තර තියෙනවද කියලා ඇහුවානම් කියලා” මොකද හැට හැත්තෑව දශකවලදී කුමාර කරුණාරත්න ගේ නවකතා නිසා ඒවා පළ වුණු පත්තරත් ඒ හා සමාන ජනප්‍රියත්වයට පත්වූ නිසා.
6. නිව්ටන් ගුණසේකර
නිව්ටන් ගුණසේකර මහත්මයා ජීවතුන් අතර හිටපු කාලයේ දී කිසිම ඇගයීමක් නොලද නවකතාකරුවෙක්. ලියපු නවකතාවක් නිසා නඩුවකට මුහුණ දෙන්න පවා එතුමා ට සිද්ද වුණා. ඒ ඇඩ්ලින් විතාරණ ඝාතනය අළලා ලියූ කතාවක් හේතුවෙන්. ඇඩ්ලින් විතාරණ ඝාතනය මීට දශක ගණනාවකට පෙර ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධියක්. මේ සිදුවීම ඇසුරෙන් වසන්ත ඔබේසේකර මහත්මයා දඩයම නමින් චිත්‍රපටයක් නිර්මාණය කළා. නමුත් නිව්ටන් ගුණසේකර මහත්මයා ඒ සිදුවීම අළලා නවකථාවක් රචනා කිරීමත් එක්ක ඇඩ්ලින් විතාරණගේ දියණිය එතුමාට විරුද්ධව නඩු පවරනු ලැබුවා. නමුත් නඩුවෙන් නම් එතුමා ජයග්‍රහණය කළා.
7. සෝමපාල රණතුංග
ජනතා පත්තරේ කතුවරයෙක් විදිහට කටයුතු කරපු සෝමපාල රණතුංග මහත්මයා ලංකාවේ සාහිත්‍යයේ එක්තරා වාර්තාවකට හිමිකම් කියන පුද්ගලයෙක්. ජීවතුන් අතර ඉද්දි එතුමාගේ පළ වුණේ එකම එක නවකතාවක් පමණයි. නමුත් ඒ නවකතාව අපේ භාෂාවෙන් කියනවා නම් සුපර් හිට් එකක් වුණා. මේ නිසාම ඒ නවකතාව චිත්‍රපටියට පවා නැගුණා. නමුත් එතුමාට හිමි නිසි ගෞරවයක් විචාරකයන්ගෙන් ලැබුණාද කියන එකනම් ප්‍රශ්නයක්.එතුමාගේ මරණයෙන් පස්සේ තවත් එක් නවකතාවක් පලවුණා, ඒ නවකතාව පළමු නවකතාව තරම් ජනප්‍රියත්වයට පත් වුණේ නම් නැහැ.
අපි කලින් කිව්වා වගේම මේ ලිපිය අපි ලිව්වෙ වෙනස් විදියකට. මේ කිසිම නවකතාකරුවෙක් ලියපු නවකතාවක් ගැන වචනයක්වත් අපි නොකියන්න පරිස්සම් වුණා. ඒ අවස්ථාව අපි ලබාදෙන්නේ පාඨක ඔබට. ඔබට පුළුවන් මේ නවකතාකරුවෝ රචනා කරපු නවකතා ගැන කමෙන්ට් තීරුවේ කතාබහක් ඇති කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්න. ඔබේ සංවාදයට Lifie අපිත් එකතු වෙනවා.
Leave a Reply