මියෙන තුරා ශ්‍රවණයට කණ හොඳින් රැකගන්නා හැටි

අපේ සිරුර බාහිර ලෝකේ සංවේදන ලබාගෙන ඒ අනුව හැසිරෙන්නට, ප්‍රතිචාර දක්වන්නට හැඩගැහිලා තියෙනවා. කණ කියන්නේ ඒ වගේ ශ්‍රවණය හරහා බාහිර සංවේදනා සිරුරට ලැබෙන එක් අංගයක්. කණ ඇහෙන්නේ නැතිව ගියොත් හරි, ඇහෙනවා අඩු වුනොත් හරි එයින් අපේ එදිනෙදා ජීවිතයට සැර බාධාවක් වෙනවා. ඉතින් කණ කොහොමද රැක ගන්නේ? ඒකට මොනවද කරන්න ඕනි කියලා අපි බලමු. මේ සමහර ඒවා ඔයාල දැනටම දන්නවා. ඒත් ඔයාල මෙතෙක් දැනගෙන සිටියේ නැති කණ ගැන වැදගත් තොරතුරුත් මෙහි ඇතුළත් වෙනවා.

 

1. අධික ශබ්දයේදී කන් ඇබ පාවිච්චි කරමු

යම් වටපිටාවකදි අපිට තව කෙනෙක්ට විලාප තියලා කෑගහන්න වෙනවා නම් ඒ වටපිටාව  කණට සුදුසු නැහැ. ඒ වගේ තැනකදි කන්වලට පළඳින්න කන් ඇබ තියෙනවා. සංගීත සංදර්ශන සහ ඩීජේ වලදි ඒවායේ සේවයේ නිරත වෙන අය ඉයර්ප්ලග් පළඳිනවා. ඒත් ඒවායෙන් එයාලට අදාළ මියුසික් එක සද්දෙන් ඇහෙනවා. ඒ වගේ අධික සද්දෙන් සංගීතය වුනත් සවන්දෙන්නට වෙන අවස්ථාවලදී වුනත් කන් වලට සුදුසු ජාතියේ ඇබ දෙකක් ගසාගන්නට ඕනි. අධික ශබ්ද තියෙන ෆැක්ටරි වල සහ වැඩබිම්වලදිත් කන් වලට සුදුසු ජාතියේ කන් ඇබ පාවිච්චි කළ යුතු වෙනවා.

 

2. සද්දේ අඩු කරගමු

බස් වල යද්දි අපිට ඇහෙන්න තියෙන බස් එකේ මියුසික් ඝෝෂාව නම් අපිට නවත්වාගන්න අමාරුයි. ඒත් ඉතින් වෙනත් තැන්වලදි අපිම අපේ කන්වලට ඇබ ගහගෙන මියුසික් අහනවා. නැතිනම් චිත්‍රපටි බලනවා. ඒ වගේ අවස්ථාවලදි වොලියුම් ලෙවල් එක 60ට දාගෙන විනාඩි 60ක් පමණ ගීත ඇසීමේ සික්ස්ටි සික්ස්ටි ස්ටෑන්ඩර්ඩ් එකට පවත්වාගන්න එක සුදුසුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට ලෝකේ වටා බිලියනයකට අධික තරුණ පිරිස මේ කණේ ගහන් සිංදු අහන හෙඩ් සෙට් සහ මියුසික් වලට සද්දෙන් සවන් දීම නිසා කන් ඇහීමේ දෝෂ වලට ලක් වෙන්න අවදානමක් තියෙනවා.

 

3. කණට විවේකය

මහා ඝෝෂාවන් තියෙන මියුසික් කොන්සර්ට්, ඩීජේ උත්සව අවස්ථා ආදියට අපිට සහභාගි වෙන්නට ලැබෙනවා. නැතිනම් කරච්චලය අධික තැනක අපිට ඉන්නට සිද්ද වෙනවා. ඒ වගේ වැඩි සද්ද වටපිටාවක අපි හිටියොත් එයින් මිදිලා කණට විවේකයක් ලබාදෙන්නට ඕනි. හොඳ සද්ද වටපිටාවක රැයක් ගත කරපු අයෙකුගේ කණ නැවත යථා තත්ත්වයට  පත්වෙන්න පැය 16ක් විවේක ගන්නට ඕනා.

 

4. කොට්න් බඩ්ස් පාවිච්චිය

කොට්න් බඩ්ස් හෝ මොනයම්ම දෙයක් කණ ඇතුළට දැමීම කිසිසේත්ම සුදුසු නැහැ. කණට යම් දෙයක් අනතුරකින් ගියත් වඩාත්ම කළ යුතු දේ තමයි සුදුසු වෛද්‍යවරයෙක් ගේ සහාය ගන්න එක. සතෙක් ගියොත් නම් පිරිසිදු තෙල් ටිකක් දාලා සතා මැරෙන්න අරින්නට පුළුවන්. කණේ කළාඳුරු නැතිනම් ඉටි විදිහට කණේ තියෙන දේවල් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕනි නැහැ. කණේ තියෙන මේ ඉටි ස්වභාවය ස්වාභාවිකවම තියෙන්නට ඕනි. කණේ තියෙන ඉටි ස්වභාවය නිසා කණට දූවිලි සහ බාහිර දේවල් යන එක අවම වෙනවා. කණේ මේ ඉටි එකතු වෙලා, හිර වෙලා කණ ඇහෙන්නේ නැතිව යනවා වගේ නම් දොස්තර මහත්මයෙකුට පෙන්වලා මේ ඝන ඉටි මෘදු වෙන්න කණට දාන්න ඔයිල් එකක් ඉල්ලා ගන්න ඕනි. කොට්න් බඩ්ස් තියෙන්නේ කණට දාන්න වුණත් දැන් සොයාගෙන තියෙන විදිහට තියෙන ඉටිත් ගිහින් කන්බෙරේ ගාව තදවෙලා කණ තවත් අවහිර වෙන්න මේ කොට්න් බඩ්ස් පාවිච්චිය හේතු වෙනවා.

 

5. නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට පෙන්වීම

කණට විවිධ ආකාරයේ වෙද හෙදකම් ආදිය විවිධ තරාතිරම් වල අය යෝජනා කරනවා. කණේ පොඩි ආබාධයක් වුනාම මෙහෙම කළානම් හොඳයි, එහෙම කළානම් හොඳයි, අපේ අල්ලපු ගෙදරට, අල්ලපු ගෙදර එක්කෙනාට මේ අත්බේත හරිගියා කියලා අපේ වටේ අය යෝජනා කරනවා. ඒත් කණ කියන්නේ සංවේදී දෙයක්. කණ කෙලින්ම මොළයටත් සම්බන්ධ වෙනවා. ඒ වගේම සමබරතාවයට වැදගත් වෙන කොටසුත් ඇතුළු කණේ තිබෙනවා. ඒ වගේ සංවේදී අවයවයක් වන නිසා මොනා හරි කණේ අවුලක් තියෙන බවක් වැටහෙනවා නම් කණ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට පෙන්වන එක තමයි කළ යුතු වෙන්නේ.

 

6. කණ වියලිව තබාගැනීම

පිහිනන අයට, වතුරේ කිමිදිලා නාන අයට කණේ ආසාදන ඇතිවෙනවා වැඩියි. මොකද පිට කණට වතුර ඇතුළු වුණාම කණ තුළ බැක්ටීරියා ඇතිවෙනවා. ඒ නිසා නාලා ඉවර වුනාට පස්සේ ඔලුව හරවලා කණේ වතුර යනකම් ඔලුව ටිකක් ගස්සලා, ඉන් පස්සේ මෘදු තුවායකින් කණ පිටින් පිසදැමීම යෝග්‍ය වෙනවා. ඒ වගේම නිතර පිහිනන ඉසව් වලට සහභාගී වෙන කෙනෙක්ට නම් පිහිනීමේදී පාවිච්චි කරන්නට සුදුසු ඉයර්ප්ලග් එකක් පාවිච්චි කරන එක හොඳයි.

 

7. නැගිට ඇවිදිමු, දුව පනිමු

අධිරුධිර පීඩනය, දියවැඩියාව ආදී බෝනොවන රෝග නිකංම ඉන්නකොට වැඩි වෙන නිසා කට්ටිය දැන් හැකි පමණ ව්‍යායාමයට යොමු වෙනවා. එය පැහැදිලිවම හොඳ දෙයක්. නිකම්ම ඇඳෙන් කාර් එකට, කාර් එකෙන් ඔෆිස් එකට සහ නැවතත් ඒ රවුමම නැවත නැවත කරන අයට කොහොමත් ලෙඩ වැඩියි. හොඳට ව්‍යායාම කරලා ෆිට් ඇඟක් තියෙන අයගේ කණට හොඳට  ලේ ගමනාගමනය වෙනවා. ඒ වගේම ව්‍යායාම කරන අයගේ කන්වල දෝෂ අඩුයි කියලා පර්යේෂණ වලිනුත් සොයාගෙන තියෙනවා.

 

8. සිතේ පීඩනය අඩු කරගමු

යාන වාහන වලින් ඉහළින් යන හොඳ සැපවත් ගෙවල වාසය කරන අයටත් ප්‍රශ්න වලින් නම් අඩුපාඩුවක් නැහැ. මේ ස්ට්‍රෙස් එක වැඩිපුර තියාගන්න එක කොයිකාටත් අවුලක්. නිතර ප්‍රශ්න ගැන මෙනෙහි කරමින් ඒවා අතර විවේකයක් නැතිව, වෙනසක් නැතුව දිගටම හිත හිත ඉන්න එක ලෙඩවලට අතවනනවා. ඒ විතරක්ම නෙමෙයි, කණටත් මේ මානසික පීඩනය නරකට බලපානවා. දැඩි මානසික පීඩනයකට ආවාම අපේ සිරුර ඒ සඳහා අමුතු විදිහට සූදානම් වෙනවා. මිනිසා කැළේ සිටි කාලේ සිටම පුරුදු වී ඇති අයුරෙන් අපි ස්ට්‍රෙස් වුනාහම රුධිර ගමනාගමනය වැඩිවීම, ඇඟේ උණුසුම වැඩිවීම වගේම කණේ ද වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ නිසා  මනස ගාණකට තියාගන්න එක කණටත් සනීපයක් වෙනවා.

 

මීට අමතරව වාර්ෂිකව සිරුරට මෙඩිකල් චෙකප්ස්, එහෙම නැතිනම් වෛද්‍ය පරීක්ෂණ ආදිය කරන විට කණ ගැනත් බලාගන්න හැකිනම් හොඳයි. කණ කියන්නේ ශබ්ද හරහා ලෝකය අපිට ග්‍රහණය කරගන්න තියෙන වැදගත් ඉන්ද්‍රියක්. කණට කරාබු දාලා, හෝදලා, පිහලා ලස්සනට තියාගන්නවා වගේම කණේ සෞඛ්‍ය ගැනත් අවධානය යොමු කළොත් ඇහෙන දෝස නැති සෞඛ්‍ය සම්පන්න කන් දෙකක් ඔයාලටත් දිගටම පවත්වාගන්නට හැකි වේවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *