ඔය කවුරුත් අර Purge ෆිල්ම් එක එහෙම බලල ඇතිනේ. ඒකේ කතන්දරේ මෙහෙමයි. ඇමරිකාවේ එක දිනයක් තියෙනවා. ඒ දිනේ හවස ඉඳන් පහුවෙනිදා උදේ වෙනකල් පැය 12 ක කාලයක්, ඕනෑම අපරාධයක් නීත්‍යානුකූලයි. ආයෙ මිනී මරන්න, ලිංගික අපරාධ කරන්න, මංකොල්ල කන්න වගේ ඕනම අපරාධයක් කරන්න පුලුවන්. ආයෙ පොලිසිය, හමුදාව පැත්ත පලාතේ නෑ, රෝහල් ඇම්බියුලන්ස් එහෙමත් හොයන්න නෑ. එතකොට ඔය වගේ අපරාධ වලට අවශ්‍ය අවි ආයුධ, ගිනි අවි එහෙමත් රටේ ඕනම තැනකින් ඕනම වෙලාවක මිලදී ගන්න පුලුවන්. ඉන්ෂුවරන්ස් එහෙම ඔය වෙනකොට දරන්නත් අමාරු තරම් ඉහළ ගිහින් නිසා, තමන්ගේ ආරක්ෂාව තමන්ටම තමයි බලාගන්න වෙන්නේ.
දැන් ඔය වගේ අපරාධ පැය 12 ක් නීතිගත වෙන තත්වයක් ආවොත්, අපිටත් මරු ආතල් එකක් ගන්න පුලුවන් කියලා කෙනෙක් හිතන්න පුලුවන්. “අඩේ, එහෙම වුණොත් කෙලින්ම ටවුමේ තියෙන සුපර් මාකට් එකට පැනලා ආස කරන එව්වා ඔක්කොම ගෙදර ගේන්න පුලුවන්” කියලා හිතන්න පුලුවන්. හැබැයි අමතක කරන්න එපා. ඔය පැය 12 ඇතුළේ හැමෝටම අපරාධ කරන්න පුලුවන්. ටවුමේ තුවක්කු ගත්තු ගැන්සි සැරිසරනවා වෙන්න පුලුවන්. අපිත් එක්ක පොඩි කෝන්තරයක් හරි තියෙන කෙනෙක් අපිව දඩයම් කරන්න සැලසුමක් හදලා තියෙනවා වෙන්න පුලුවන්. ඒ නිසා, මේ වගේ තත්වයක් ඇති වුණොත්, මුලින්ම අපිට කරන්න වෙන්නේ අපේ ආරක්ෂාව බලාගන්න එක. ආන්න ඒක කරන්න උපදෙස් කීපයක් තමයි මේ.
01. මූල්‍ය සැලසුමක්, ආදායමක් සහ හොඳ ආයෝජනයන්
පැය 12 ක අපරාධ නීතිගත කාලයේදී දිවි බේරාගන්න නම් ඇත්තටම කරන්න තියෙන පළවෙනිම දේ තමයි ධනවත් වෙන එක. මේක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඔය purge ෆිල්ම්ස් බලනකොට අපිට තේරෙනවා, ඒ වෙනකොට තියෙන්නේ ධනපතියා තවත් ධනවත් වෙන, දුප්පතා තවත් දුප්පත් වෙන සිස්ටම් එකක් කියන එක. ඒ සිස්ටම් එකත් එක්ක සටන් කරන එක purge එකෙන් බේරෙනවටත් වඩා අමාරුයි. හැබැයි හොඳ මූල්‍ය සැලසුමක් සහ නව ආදායම් මාර්ග එක්ක ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. දැන් මේ ධනවත් වීම කොහොම වෙතත්, තමන්ට සුවපහසුවෙන් සහ ආරක්ෂාකාරීව ජීවත් වෙන්න ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් තියෙන එක වටිනවා. ඇයි කියලා ඉස්සරහට කියවගෙන යනකොට තේරෙයි.
02. ගෙදරම ඉන්න ඕන
මේක ඉතින් වැදගත් වෙන්නේ purge නයිට් එක දවසට. ඒ තමයි, ගෙදරම ඉන්න කියන එක. ගෙදර ආරක්ෂක සංවිධාන තර කරන විදිය අපි පහළ කියලා තියෙනවා. ඒ නිසා, හොඳම දේ තමයි, ජීවිතයයි මරණයයි අතර දේකදී ඇරෙන්න purge නයිට් එක දවසේ හෝ ඊට කලින් දවසේ හෝ කොහේ හරි දුර බැහැරක යනවා වගේ අවදානම් නොගන්නවා නම් හොඳයි. මොකද, purge එකට කලින් ගෙදර එන්න කියලා හිතාගෙන ආවට, අතරමඟදී මොනවා හෝ කරදරයක් වෙලා, purge නයිට් එකේදී යන්න එන්න තැනක් නැතුව හිරවෙන්න වුණොත් එහෙම දෙයියන්ගෙම පිහිටයි. අනික මතක තියාගන්න, ඔය purge ෆිල්ම්ස් වල විදියට නම්, ක්ලාස් 4 වලට අඩු ඕනෑම ආයුධයක් නීත්‍යානුකූලයි ඔය පැය 12 අපරාධ කාලයේදී. ඒ කියන්නේ ස්නයිපර් ගත්තු පිස්සෝ එහෙම වහලවල් උඩ ඉඳන් පාරේ ඉන්න අයව ටාගට් කරන එක ලේසියෙන්ම වෙන්න පුලුවන් දෙයක්. ඒ ඇරෙන්න ඔය මර උගුල් එහෙමත් තියෙන්න පුලුවන්. ඒ නිසා හොඳම දේ ගෙදරට වෙලා ඉන්න එක.
03. ගෙදර අවට පිරිසිදු කරන්න
දැන් ඔය purge එක තිබ්බත් නැතත් ගෙදර දොර අවට, වත්ත පිටිය සුද්ධ බුද්ධ කරගෙන තියාගෙන ඉන්න එක කොහොමත් හොඳයි. එහෙම නැතිනම් ඉතින් සත්තු සර්පයි ගෙට රිංගලා වෙනම කරදරයක් වෙනවා. දැන් purge රාත්‍රියක් තියෙනවා නම්, ඊට කලින් වත්ත පිටිය හොඳට සුද්ධ කරලා තියන එක හොඳයි. මොකද, purge එකට අපිට ගේමක් දෙන්න එන හොර හතුරෙක්ට වුණත් පහසුවෙන් හැංගිලා ඉන්න පුලුවන් විදියට ගස් කොළන් ඕනවට වඩා වැවිලා තියෙන එක අවදානම්. ඒ විතරක් නෙවෙයි, purge නයිට් එකට අපිව මරන්න හරි කොල්ලකන්න හරි හිතාගෙන එන කෙනෙක්ට වුණත්, අපිට නොපෙනී ගේ ලඟටම එන්න පුලුවන්නේ එහෙම තත්වයක් තිබුණොත්. ඒක ආරක්ෂාවට අවදානමක්.
04. ගෙදර බලකොටුවක් බවට පත් කරන්න
දැන් අපේ අරමුණ වෙන්නේ purge නයිට් එකේදී ආරක්ෂා වෙන එකනේ. ඒකට ප්‍රධානතම අවශ්‍යතාවයක් තමයි තමන් ඉන්න ගෙදර බලකොටුවක් බවට පත් කරගන්න එක. නිකම්ම, ජනෙල් දොරවල් ලොක් කරන එක විතරක් කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. මතක තියාගන්න, අපි මේ ආරක්ෂා වෙන්න හදන්නේ නිකම්ම ගෙට පනින්න හදන හොරෙක්ගෙන් නෙවෙයි. ප්‍රබල අවි ආයුධ අරගෙන එන කණ්ඩායම් වලින්. ඒ නිසා, වෙඩි නොවදින ලෝහ තහඩු වලින් සම්පූර්ණයෙන්ම ගෙට ඇතුළු වෙන්න පුලුවන් දොරවල්, ජනෙල්, වා කවුළු වගේ හැම තැනක්ම ආවරණය වෙන විදියේ සිස්ටම් එකක් හදාගන්න එක අත්‍යවශ්‍යයි. එතකොට කිසිම කෙනෙක්ට බයිපාස් කරන්න බැරි විදියේ අගුළු එහෙමත් දාගන්න ඕන. මේ විදියේ purge නයිට් එකක් ඇතිවුණොත් ඉතින් ඔය විදියේ ගෙවල් ආරක්ෂා කරන සිස්ටම් විකුණන්න වෙනම වෙළඳපොළක් එහෙමත් හැදෙයි. හැබැයි ඉතින් ඒ සිස්ටම් ලොකු ධනවතුන්ට විතරක් දරන්න පුලුවන් අස්ප ගණන් වෙයි. එහෙම තත්වයකදී එක්කෝ තමනුත් ධනවත් වෙන්න ඕන. ඒක තමයි අපි ආ මුලින්ම කිව්වේ. එහෙම නැතිනම් ඉතින් තමන්ගේ පරිකල්පනය සහ හැකියාවන් පාවිච්චි කරලා ඔය සිස්ටම් එක තමන්ටම හදාගන්නත් පුලුවන්. ඕන නම් විදුලිය කවපු වැටක් එහෙමත් හදාගන්න පුලුවන්.
ආ තව දෙයක්. මුළු ගේම සහ ගේ අවට වත්ත පිටිය, පාරවල් වගේ හැමදේම ආවරණය වෙන විදියේ සීසීටීවී සිස්ටම් එකකුත් අවශ්‍යයි. මොකද, ගේ ඇතුළේ ඉඳලම බලාගන්න පුලුවන් වෙන්න ඕන මොනවද අවට වෙන්නේ, කවුද එන්නේ කියන එක.
මේ ඇරෙන්න අන්තිම තුරුම්පුව විදියට ගෙදර පැනික් රූම් එකකුත් හදාගන්න පුලුවන් නම් මරු. ඒ කියන්නේ, අපිව මරලා දාන්න මිනීමරු කණ්ඩායමක් ඇවිල්ලා ගෙට කොහොමහරි ඇතුළු වුණත්, මොන විදියකටවත් බිඳ දාන්න බැරි විදියට ආරක්ෂා සංවිධාන තර කරපු එක කාමරයක්. ආයෙ ඇසිටෝන් ටෝච් ගෙනැල්ලවත් කපන්න බැරි විදියට ලෝහ වලින් වට කරපු කාමරයක් නම් මරු.
05. කණ්ඩායමක් නම් වඩා හොඳයි
සාමාන්‍යයෙන් එක ඉරට්ටක් ලේසියෙන් කඩන්න පුලුවන් වුණාට, ඉරටු මිටියක් කඩන්න බැහැ කියන එක අහලා ඇතිනේ. ඉතින් ඒ නිසා, purge නයිට් එකට මුහුණ දෙන්නත් සෙට් එකක් එක්කම ලෑස්ති වෙන එක හොඳයි. දැන් ඔය purge ෆිල්ම්ස් වලත් සෙට් එක පිටින්මනේ බහින්නේ අනික් අයව දඩයම් කරන්න. එතකොට, පවුලේ අය එතකොට සමීපතම යාලුවෝ වගේ සෙට් එකක් හොඳට බලකොටුවක් වගේ ආරක්ෂා සංවිධාන තර කරපු එක ගෙදරකට එකතු වෙන්න පුලුවන්. තනියෙන්, අවිනිශ්චිත හැඟීමෙන් purge රාත්‍රිය පහන් කරනවට වඩා, කතා බහ කරන්න හරි සෙට් එකක් ඉන්න එක හොඳයිනේ. එතකොට හිතටත් පොඩි ෆිට් එකක් තියෙනවා.
හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕන. purge රාත්‍රිය දවසෙදී තමන්ගේ යාලුවා කියලා හිතාගෙන ඉන්න කෙනෙක් වුණත්, පවුලේම කෙනෙක් වුණත් මොකක් හරි කෝන්තරයක් හිතේ තියාගෙන ඉඳලා අපිට ෂොට් එක දෙන්න ඉඩ තියෙනවා. එතකොට කොහොමද අපිට ගේම දෙන්නම අවුරුද්දක් ප්ලෑන් කරපු මනුස්සයෙක්ට අපි purge නයිට් එකට අපේ ගෙදර ඉන්න කියලා ආරාධනා කළහම? ආන්න ඒ නිසා, කොහොම වුණත් සූදානම් ශරීරයෙන් ඉන්න ඕන කියන එක අමතක කරන්න එපා.
06. අවි ආයුධ අවශ්‍යමයි!
මේක තමයි ඉතින් purge නයිට් කිව්වහම ගොඩක් දෙනෙක් කැමතිම කොටස. හැබැයි ඇත්තටම අපිට purge නයිට් එකකදී අවි ආයුධ අවශ්‍ය වෙන්නේ අනික් මිනිස්සුන්ට අනතුරු කරන්න නෙවෙයි. අපේ ආරක්ෂාව බලාගන්න. අන්න ඒකට ගැලපෙන්න අපිට හොඳ අවි ආයුධ ටිකක් හොයාගන්න වෙනවා. දැන් ලංකාවේ මේ වෙනකොට අවි ආයුධ – ඒ කියන්නේ ගිනි අවි එහෙම- සම්පූර්ණයෙන්ම තහනම්නේ. ඒ විතරක් නෙවෙයි, ඔය කඩුවක් කිරිච්චියක් වුණත් එහෙම අත ලඟ තියාගන්න තහනම්. හැබැයි purge නයිට් එකක් නීතිගත වුණොත් එහෙම, අවි ආයුධ තමන් ගාව තියාගන්න එක නීත්‍යානුකූල වෙලා, ඔය පිටරටවල අපි දකින විදියේ ගිනි අවි වර්ග එහෙමත් මෙහේ මාකට් එකේ ගන්න ඉඩ හැදෙන්න පුලුවන්.
ඒ නිසා, purge නයිට් එකට මුහුණ දීලා ජීවිතේ බේරගන්න ගැලපෙන ආයුධ ලිස්ට් එකක් අපි හදලා බලමු. මේවා නිකම් යෝජනා විතරයි. මීට වඩා වෙනස් අවි ආයුධ වුණත් තමන්ගේ කැමැත්තේ හැටියට, ප්‍රායෝගිකත්වයේ හැටියට එකතු කරගන්න පුලුවන්. හැබැයි නිකම්ම ආයුධ එකතු කරගත්තට මදි. මේවා පාවිච්චි කරන්න හොඳ පුහුණුවකුත් තියෙන්න ඕන. ඒ කියන්නේ කොම්බැට් ට්‍රේනින් එකක් අරගෙන තියෙනවා නම් වඩාත් හොඳයි. මොකද, මේ වගේ අවස්ථාවකදී දිවි ගලවා ගන්න නම්, හොඳ ආයුධ නෙවෙයි, ආයුධ හොඳටම පාවිච්චි කරන්න හැකියාව තියෙන්න ඕන.
- හොඳ Machete පිහියක්, බැරි නම් ලංකාවේ තියෙන කඩුවක්
- රම්බෝ පිහියක්, කිරිච්චියක්
- නකල් ඩස්ටර් දෙකතුනක්
- හොඳ පිස්තෝල දෙකතුනක් – Glock 19, Smith & Wesson M&P M2.0, Sig Sauer P320 වගේ
- .357 Magnum රිවෝල්වර් එකක් එහෙමත් තිබ්බට කාරි නෑ
- හොඳ ෂොට්ගන් එකක් – Beretta 1301, Remington 870 Police, Benelli M4
- රයිෆල් එකක් – KelTec SUB-2000, AR-15, AK-103, IWI Tavor X95 NATO, S&W M&P15
- ටේසර් එකක්
- ප්‍රබල ආලෝකයක් තියෙන පොඩි පහේ ෆ්ලෑෂ් ලයිට් එකක්
07. හදිසියකට වාහනයක් තියාගන්න
දැන් ඔය හැම ආරක්ෂා සංවිධානයම සකස් කරලා, purge රාත්‍රියේ ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතුවට, ඇත්තටම ගෙදරින් එළියට යන්න මොකක්ම හරි හදිසි අවශ්‍යතාවයක් මතුවෙන්න පුලුවන්නේ. දැන් ඔය හැම purge ෆිල්ම් එකකම මුලින් මුලින් කට්ටිය ගෙදර ආරක්ෂාව තර කරගෙන ගෙදරට වෙලා ඉන්න හිතුවත්, ඇත්තටම වෙන්නේ මොකක් හරි අලකලංචියක් වෙලා පාරට බහින්න සිද්ධ වෙන එකනේ. ආන්න ඒ නිසා, අපි purge රාත්‍රියේ අපේ ආරක්ෂාව ගැන හිතනවා නම්, ප්ලෑන් බී එකකුත් තියාගන්න වෙනවා. ඒ කියන්නේ ඔය රාත්‍රියේදී මොකක් හරි සංගෙදියක් සිද්ධ වුණොත්, හැකි උපරිම ආරක්ෂාවකින් purge නයිට් එකේ එළියට බහින්න වාහනයක් ඕන. ඒකට ඔය ත්‍රීවිල් එකක් හරි, ස්කූටරයක් හරි, මරුතියක් හරි සෙට් වෙන්නෙ නෑ. ටිකක් හයියෙන් යන්න පුලුවන් වාහනයක් වෙන්න ඕන. ලොකු සයිස් වාහනයක් ගන්නවට වඩා, ටිකක් හුරුබුහුටි වාහනයක් ගන්න එක හොඳයි. හැබැයි වැදගත්ම දේ, ඒ වාහනේ හැකි උපරිමයෙන් වෙඩි වැදීම් වලින් එහෙම ආරක්ෂා වෙන විදියට තහඩු වටේට ගහලා වේගෙන් යන්න පුලුවන් බලකොටුවක් විදියට හදාගන්න එක හොඳයි.
ඒ වගේම වැදගත්ම දේ. purge නයිට් එකට කිව් ආර් කෝඩ් වලින් තියා මොකකින්වත් තෙල් ගහන්න ෂෙඩ් ඇරල නෑ. ඒ නිසා ෆුල් ටෑන්ක් ගහල තමයි වාහනේ තියාගන්න ඕන.
08. හැමෝටම හොඳින් සලකන්න, නමුත් සූදානම්ව ඉන්න
මේකත් purge නයිට් එකක් ඇත්තටම නීත්‍යානුකූල වෙලා, අවුරුද්දකට පැය 12 ක් හැම අපරාධයක්ම නීතිගත වුණොත් එහෙම, ඔළුවේ අනිවාර්යයෙන්ම තියාගන්න ඕන කාරණාව. ඒ තමයි, හැමෝත් එක්කම හොඳට ඉන්න උත්සාහ කරන එක. ඒ කියන්නේ, purge නයිට් එකේ තමන්ට ගේම දෙන්න ඉන්න අය හදාගන්නේ නැතුව, ඒ කියන්නේ හතුරෝ හදාගන්නේ නැතුව ඉන්න උත්සාහ කරන එක.
හැබැයි ඉතින් මේක සියේට සීයක් හරියන්නෙ නෑ මොකද, අපි කොයි තරම් මිනිස්සුත් එක්ක හොඳින් ඉන්න හැදුවත්, අපිව පෙන්නන්න බැරි, එහෙම නැතිනම් අපිට ඉරිසියා කරන මිනිස්සු ඉන්නවා. ඒක තමයි ලෝකේ හැටි. ඒ නිසාම, මේ විදියෙන් අපිට purge නයිට් එකේ කරදර කරන්න එන අය නැතිවෙයි කියලා සියේට සීයක් කියන්න බෑ, අන්න ඒ නිසා, සූදානම් ශරීරය කෝකටත් හොඳයි!
දැන් ඇත්තටම ලෝකේ මෙහෙම පැය 12 ක අපරාධ නීත්‍යානුකූල කරන තත්වයක් ඇතිවෙන්න හිතලවත් නෑ. හැබැයි ඉතින් කෝකටත් එක්ක සූදානම් ශරීරය හොඳයිනේ. ඉතින්, මෙහෙම Purge රාත්‍රියක් බැරිවෙලාවත් ලංකාවෙත් උදාවුණොත්, කරන්න පුලුවන් දේවල්, ගන්න පුලුවන් ආරක්ෂා විධිවිධාන මොනවද, තියාගන්න ඕන වෙපන්ස් එහෙම මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න!
Leave a Reply