දැන් ඔය ආහාරපාන ගත්තහම, අපි දන්න ගොඩක් කෑම වර්ග ඇත්තටම ඇවිත් තියෙන්නේ පිටරටින් තමයි. ආහාර පාන සංස්කෘතීන් මොන රටෙත් එහෙම තමයි. දැන් මොකද අපි කඩේ පාන් කියලා කෑවට ඇත්තටම පාන් ලංකාවේ කෑමක්ද? නෑනේ. ආන්න ඒ වගේ. හැබැයි එහෙම කිව්වට සමහර කෑම ජාති තියෙනවා නම ඇහුණු ගමන් අපිට තේරෙනවා ලංකාවේ නෙවෙයි කියලා. උදාහරණ විදියට කිවුවොත් ඔය චිලී පරෝටා වගේ කෑමක්, එතකොට ටාකෝස්, බරීතෝ වගේ කෑමක්, මැකරෝන් වගේ කෑමක් ගත්තොත් අපි දන්නවා ටක්කෙටම වෙන රටක තමයි කියලා. දැන් අපි කියන්න යන්නේ ඔන්න ඔය විදියේ එක එක රටවලින් ආපු සුවිශේෂී කෑම වර්ග කොළඹ අවට හොයාගන්න පුළුවන් තැන් කීපයක් ගැන.
1. ෂවර්මා
ෂවර්මා කියන්නේ ගොඩක් අය දන්න, ලොකු බර්ගර් ෂොප් වල ඉඳලා ඔය පාරවල් අයිනේ පොඩි කරත්ත වෙනකල් තැන්වල හොයාගන්න පුළුවන් කෑමක්. ඇත්තටම බර්ගර් එක්ක විකිණුවට ෂවර්මා කියන්නේ අරාබියානු කෑමක්. ෂවර්මා රොටියක් හොඳට ගින්නට අල්ලලා පදම් කරලා අරගෙන, ඒක මැද්දට මස් වර්ග, එළවළු වර්ග, සෝස් අනං මනං තියලා හොඳට තදින් ඔතලා ගත්තහම ෂවර්මා එක හරි. බඩත් පිරෙන, හිතත් පිරෙන කෑමක්.
ෂවර්මා කන්න තැන් ඕන තරම් තියෙනවා. අර ඉස්සර බර්ගර්’ස් කින්ග් කියලා කියපු දැන් ෆස්ලීස් හලාල් රෙස්ටුරන්ට් එකේ ෂවර්මා එක තාමත් ඉස්තරම්. ගෝල්ෆේස් නානාගෙ කඩේකින් වුනත් ෂවර්මා ගන්න පුළුවන්. ඒ වගේම Shawarmaz @ GP වගේ ෂවර්මා වලටම නම් දරපු තැනකින් වුනත්, එහෙම නැතිනම් වෙනත් ඕනම රෙස්ටුරන්ට් එකකින් වුනත් ෂවර්මා ගන්න පුළුවන්. සමහර රෙස්ටුරන්ට් වල Wraps කියලා විකුණන්නෙත් ෂවර්මා තමයි!
2. ටාකෝ
ලංකාවට ටාකෝබෙල් ආවට පස්සෙ තමයි ගොඩක් අය මේ විදියේ මෙක්සිකානු කෑමක් තියෙනවා කියලා දැනගත්තේ. සමහරු නම් ඉතින් කුප්ප කතා කිව්වා, ටාකෝ නිකං පපඩම් මැදට මස්, චීස් දාලා කනවා වගේ කියලා. හැබැයි කොහොම වුනත් ටාකෝ, චලූපා, බරීතෝ වගේ මෙක්සිකානු කෑම අතරින් බොහොම ප්‍රසිද්ධ ආහාරය තමයි ටාකෝ. මේක ඇත්තටම ටාකෝ ෂෙල් කියලා කියන ඉරිඟු හෝ තිරිඟු පිටි වලින් හදපු ටෝටියා රොටියක් වගේ ඝන ෂෙල් එකක් ඇතුළට පුරවපු මස් මාලු ජාති, එළවළු ජාති, සෝස් සහ යහමින් දාපු චීස් වලින් සමන්විත කෑමක්.
ටාකෝබෙල් තමයි ඇමරිකාවෙන් ආපු ජනප්‍රිය ටෙක්ස් මෙක්ස් දාම අවන්හල. මේකේ ටාකෝ තියෙනවා. හැබැයි නියම මෙක්සිකානු රස තියෙන ටාකෝ කන්න නම් අපි රෙකමන්ඩ් කරන්නේ Mexican House හරි Tacocat හරි තමයි.
3. ක්‍රෙප්ස්
මේ ක්‍රෙප්ස් කියලා කියන්නේ මොන වගේ කෑමක්ද? හිතාගන්නකෝ තුනී පෑන් කේක් එකක් මැද්දට එක එක ජාතියේ පැණි රස ජාතියක් හෝ මස් මාළු ජාතියක් දාලා දෙකට තුනට නවාගත්තු කෑමක් කියලා. මේ ක්‍රෙප්ස් ඇත්තටම ප්‍රංස කෑමක්. දැන් ලෝකේ පුරාම තියෙනවා. ලංකාවෙත් තියෙනවා.
ඇත්තටම ඕන නම් මේ ක්‍රෙප්ස් බොහොම ලේසියෙන් ගෙදර හදාගන්නත් පුළුවන්. හැබැයි ඉතින් රෙස්ටුරන්ට් වල තියෙන ක්‍රෙප්ස් වල විශේෂත්වය වෙන්නේ ඒවා ඇතුළට දාන ෆිලින් එක. ෆිලින් එක වැරදුනොත් ක්‍රෙප්ස් කාලත් හමාරයි.
ක්‍රෙප්ස් වලටම ප්‍රසිද්ධ ගාල්ලේ පොඩි තැනක් තමයි Crepeology කියන්නේ. ඒ වගේම කොළඹ අවට තියෙන ගොඩක් රෙස්ටුරන්ට් වල මෙනු එකේ ක්‍රෙප්ස් හොයාගන්න පුළුවන්.
4. ඩම්ප්ලින්ග්
යූ ආර් මයි ඩම්ප්ලින්ග් ඩම්ප්ලින්ග් හෙලෝ හනී බනී කියලා අහලා තිබුණට ගොඩක් අය ඩම්ප්ලින්ග් කාලා නම් නැතුව ඇතිනේ. චීන රටෙන් ආපු කෑමක් වෙන ඩම්ප්ලින්ග් කියන්නේ චීනේ සහ ඒ ආසන්න රටවල නම් බොහොම සුලභ සහ සාමාන්‍ය කෑමක්. මේකත් ඇත්තටම මැද්දට මස් වර්ග, මාලු වර්ග, එළවළු වර්ග හෝ වෙනත් ඕනෑම ඒ විදියේ ෆිලින්ග් එකක් දාලා, පිටි ඩෝ එකකින් හදාගත්තු පැටිස් එකක් වගේ එකක්. හැබැයි පැටිස් වගේ බේක් වෙලා එන්නෙ නැති නිසා මේ ෆිලින්ග් එක වටේ තියෙන ඩෝ එක බොහොම මෘදුයි.
දැන් ඩම්ප්ලින්ග් කන්න නම් චීන කෑම කඩේකට යන්න එපැයි. හැබැයි හැම මකරා මාක් චීන කෑම කඩේකම ඩම්ප්ලින්ග් විකුණන්න නෑ. ලංකාවේ ඕන නම් Shang Palace හරි Laksa Noodle Bar හරි Mainland China හරි වගේ නියම චීන අවන්හලකින් ඩම්ප්ලින්ග් ගන්න පුළුවන්.
5. සුෂි
සුෂී ගැන නම් අහල තියෙනවනේ. ඔව් ඔව්, අර අමු මාලු එක්ක කන පොඩි පොඩි සීන් එක තමයි. හැබැයි එහෙම සරලව හිතුවට, සුෂී කියන්නේ නිකම්ම නිකම් අමු මාලු එක්ක අරවා මෙව්වා නෙවෙයි. සුෂී නිර්මාණය වගේම ආහාරයට ගැනීමත් එක්තරා විදියක ආට් එකක්. සුෂී එන්නේ ජපානෙන්.
සුෂී කියන්නේ ඇත්තටම මාළු ඇතුළු මුහුදු ආහාර වර්ග සහ එළවළු අමුවෙන්, අර ජපන් ටයිප් එකේ ඇලෙන සුදු බත් වගේ දේවල් සුළු ප්‍රමාණයන්ගෙන් ආටිස්ටික් විදියට සකස් කරලා, වසාබි, සෝයි සෝස් වගේ එව්වත් එක්ක කන්න තියෙන ආකාරයක්. බොහොම පොඩි ප්‍රමාණයන්ගෙන් තමයි සුෂී හැදෙන්නේ.
සාමාන්‍යයෙන් කොළඹ තියෙන ඕනම ජපාන අවන්හලක පාහේ සුෂී තියෙනවා. හැබැයි ඉතින් ජපන් අවන්හල් බොහොම අඩුයි. මිලෙන් වුනත් ටිකක් වැඩියි. කොහොම හරි Kuuraku Colombo, Naniyori, The Sushi Bar Samurai, Kami Maki, Nihonbashi වගේ අවන්හල් අපිට සුෂී කන්න යන්න රෙකමන්ඩ් කරන්න පුළුවන්.
6. චාට්
චාට් කියලා කියන්නේ අපිට අසල්වාසී ඉන්දියාවෙන් එන අතුරු කෑම වර්ගයන් ගණනාවකට පොදුවේ කියන නමක්. ඇත්තටම චාට් කියන්නේ අතුරුපස විදියටත්, ඇපටයිසර් -ඒ කියන්නේ ප්‍රධාන කෑමට කලින් කන්න තියෙන කෑමක් විදියටත් කන්න තියෙන පොඩි පොඩි කෑම වර්ග. ඔය කඩචෝරු කියන්නේ, අන්න ඒවා. මේවා ප්‍රමාණයෙන් කොයි විදිය වුනත්, ෂෝට් කෑම විදියට කන්න පුළුවන්. ඒ කියන්නේ බඩගින්න නිවෙන්නම කන කෑම නෙවෙයි.
ඉන්දියාවේ නම් අඩියෙන් අඩියට චාට් විකුණන කරත්ත තියෙනවා. ලංකාවේ එහෙම නෑනේ. ඒත් ලංකාවේත් ගොඩක් ඉන්දියානු කෑම තියෙන ඉහළ මට්ටමේ රෙස්‍ටුරන්ට් වල චාට් වර්ග වෙනම තියෙනවා මෙනු එකේ. ඒ වගේම The Chaat Kade හරි Indian Chaat Corner වගේ තැනක් කියන්නේ චාට් වලටම විශේෂත්වය දුන්නු තැන්.
7. කෙබාබ්
කෙබාබ් කරත්ත කියන්නෙත් ඉන්දියාවේ සුලභ දර්ශනයක්. හැබැයි කෙබාබ් කියන්නෙත් මැදපෙරදිගෙන් ආපු කෑමක්. සාමාන්‍යයෙන් කෙබාබ් කියන්නේ කෝට්ටක ගහපු මස් වර්ග, මාළු වර්ග හොඳට මැරිනේට් කරලා -ඒ කිව්වේ පදම් කරලා ස්කිවර්ස් කියලා කියන කූරු වල ගහලා ගිණි අඟුරු උඩ පළහලා ගන්න කෑමක්. මේ කෙබාබ් වලට මාළු වලටත් වඩා හරියන්නේ කුකුල් මස්, ඌරු මස්, හරක් මස් සහ එළු මස් තමයි. සීෆුඩ් – ඒ කිව්වේ දැල්ලෝ, ඉස්සෝ එහෙමත් කෙබාබ් කරගන්න පුළුවන්. හැබැයි රහස තියෙන්නේ හොඳට සීසන් කරලා මැරිනේට් කරන එකේ තමයි.
ඇත්තටම කෙබාබ් කන්න ඕන තරම් තැන් තියෙනවා. ගෝල් ෆේස් ගියොත් අනිවා කෙබාබ් තියෙනවා. එතකොට ෆස්ලීස් හලාල් රෙස්ටුරන්ට් එකේ ඉඳලා ඒ පැත්තේ පොඩි පෙට්ටි කඩවලින් වුනත් කෙබාබ් හොයාගන්න පුළුවන්. එහෙම නැතිනම් Acropol වගේ රෙස්ටුරන්ට් එකකිනුත් කෙබාබ් පාරක් දාගන්න පුළුවන්!
Leave a Reply