කාලෙන් කාලෙට බඩ තඩි අංකල්ලයි ස්පොන්සර්ලයි ඇවිල්ලා ලංකාවෙ ෆුට්බෝල් ගොඩගන්න හැදුවට ඒක තාම සිද්ධ වුනේ නැහැනෙ. ඉතිං අපි එහෙවු රටක ෆුට්බෝල් ලෝලියෝ හැටියට ඒ ක්‍රීඩාවට ආදරේ කරන්න තෝරගත්තෙ වෙනිං රටවල්. අපේ රටේ මැච් දිනුවෙ නැතත් පෙන්නන දවසක බලන්නයි කල්පනාව. අපේ රටේ ක්‍රීඩා සමාජ තියෙද්දි විදෙස් ක්‍රීඩා සමාජ දිහා බලං ඉන්නෙත් ඒ විදියටමයි. ඔන්න ඔය ෆුට්බෝල් ලෝලීන්ගෙ හිතේ කැරකෙන අවුල් ගැන තමයි අපි අද කියන්නෙ. කවදකහරි ලංකාවත් ෆිෆා රෑංකිංවල උඩට ඇවිල්ලා ඉතාලි ඩිෆෙන්ඩර්ලා කඩාගෙන යන්න බෝලයක් ගෝලගත කරන මොහොතක් මැරෙන්න කලින් බලන්න තියෙනවනං අපිට ඇති.
1. වමෝස් ශ්‍රී ලංකා
ග්ලෝරි ග්ලෝරි මෑන් යුනයිටඩ්, විස්කා එල් බාසා, හලා මැඩ්රීඩ් කිය කිය අපිට චියර් කරන්න වෙලා තියෙන්නෙ වෙනිං රටවල්වල වෙනිං ක්ලබ්වලට. අපි කවද්ද අපේ රටට චියර් කරන්නෙ කියන දුක මේ හැම චියර් එකක් යටම තියෙනවා. ඊජිප්තුවෙ අයටත් චියර් කරන්න ක්‍රීඩකයෙක් ඉන්නවා. ජපන්නුන්ටත් එහෙමයි. එක්කෙනෙක් හරි පිටරට ලීග් එකක දස්කම් දක්වනවා. මුළු රටක් වෙනුවෙන්ම ඒ තනි මිනිහට චියර් කරන්න සූදානම්. අපේ රටට එහෙම කෙනෙක් නෑ. ඒක ඉතිං හැම බ්‍රසීල ජයග්‍රහණයක් යටම, හැම බාසිලෝනා ජයග්‍රහණයක් යටම සැඟවුණු ශ්‍රී ලාංකික දුකක්.
2. ඩීප් ස්ලීප්
අවුරුද්ද පුරාම ෆුට් බෝල් මැච්නං බලාගන්න පුළුවන්. ඉංග්ලිෂ් ප්‍රිමියර් ලීග්, ල ලීගා, චැම්පියන්ස් ලීග්, නේෂන්ස් ලීග්, ෆිෆා වර්ල්ඩ් කප්, කෝපා ඩෙල් රේ, ක්ලබ් වර්ල්ඩ් කප් වගේ තරග එක පිට එක වගේම කාලෙන් කාලෙටත් ටීවී එකට එනවා. හැබැයි ඉතිං හැම මැච් එකම වගේ සෙට් වෙන්නෙ එක්කො අපි නිදියන්න හදන වෙලාවට, එහෙමත් නැත්තං අපි ගැඹුරු නින්දෙ ඉන්න වෙලාවට. ඉතිං මැච් එක බලලා ඒක ගැන ෆේස්බුක් සමාලෝචනයකුත් කරලා නින්දට යනකොට පාන්දර තුනත් පහුවෙලා. ෆුට්බෝල් බැලුවා කියලා ෂෝට් ලීවු අනුමත වෙන්නෑනෙ. ඉතිං මේක එක දිගටම සිද්ධ වෙනකොට කාර්යාල ජීවිතේටත් අවුල්.
3. සපෝටිවු!
අපි සාමාන්‍යයෙන් අපි සපෝට් කරන දෙයක් වෙනුවෙන් පෙළ ගැහෙන්නේ කොහොමද? අපි හැම මැච් එකක්ම බලන්න පටන් ගන්නවා. ඒ වෙනුවෙන් තර්ක කරනවා. ඒ බව පෙන්නන්න ඒ මර්චන්ඩයිස් මිලදී ගන්නවා. අන්න එතනදි තමයි හිර වෙන්නෙ. ෆුට්බෝල් ක්ලබ්වල ඔරිජිනල් මර්චන්ඩයිස් මිලදී ගන්න එක ශ්‍රී ලංකා ක්‍රිකට් ටීෂර්ට් එකක් මිලදී ගන්නවාට වඩා අපහසුයි. ඒ තරමට මිල අධිකයි වගේම හොයාගන්නත් අමාරුයි. එක්කො අපිට සිද්ධ වෙනවා රෙප්ලිකා එකකට අපේ හීනය සීමා කරන්න. එහෙමත් නැත්තං පඩියෙන් බාගයක් විතර දීලා දාන්න.
4. සිහින!
සනත් ජයසූරියව, අරවින්ද ද සිල්වාව, මහේල ජයවර්ධනව, මුත්තයියා මුරලිදරන්ව, කුමාර සංගක්කාරව වීරයො විදියට ඉන්දැද්දිත් ඒ අයව ළඟට දැකලා නැත්තං ඒක ඉතිං රසිකත්වයේ අවුලක්. හැබැයි ඉතිං ලියොනෙල් මෙසී හෝ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වගේ අයව ළඟට දකින එක ඒ තරම් ලේසි නැහැ. ට්‍රැවල් කරන්න හෝ චැරිටි වැඩකට ආවොත් මිසක් ඒ අය නුදුරු අනාගතේදි ලංකාවට ඒවි කියලා හිතන්න අමාරුයි. ඒ අය සෙල්ලං කරන රටකට යන්න තියෙන අමාරුව නිසාම ඒ සිහිනය දරාගෙන ඉන්න ලංකාවෙ ෆුට්බෝල් රසිකයන්ට සිද්ධ වෙනවා.
5. ගොන්නු!
හරි දැන් තමුන් කැමති දේ වෙනුවෙන් ඕනම කෙනෙක් පෙනී සිටිනවානෙ. ෆිල්ම් බලන්න කැමති අය ෆිල්ම් ගැන කතා කරනවා වගේම ෆුට්බෝල් බලන්න කැමති අය ෆුට්බෝල් ගැන කතා කරනවා. පහුගිය දවසක ඉවර වෙච්ච ෆිෆා ලෝක කුසලානය කාලෙ ෆේස්බුක් එකේ ෆුට්බෝල් ලෝලීන්ට අහන්න වුණු කතාවක් තමයි ඒ අය මේ ෆුට්බෝල් ගැන කතා කරන්නෙ රැල්ලට මිසක් සැබෑ හැඟීමකින් නෙමෙයි විත්තිය. අපි නං කියන්නෙ මෙහෙම කියන්නෙ ගොන්නු! කියලා මේ කතාව අමතක කරලා දාන්න කියලයි. හැබැයි එහෙම කරන්නත් අමාරුයි. මොකද ගොන්නු වුනත් උනුත් යාලුවොනෙ. යාලුවොන්ගෙ වැරදි වැටහීම් තියෙද්දි සාමාන්‍යයෙන් කේන්ති යන ප්‍රමාණය වැඩියි.
6. වලි
අපි ශ්‍රී ලංකාවෙ අය නිසා ලංකාවෙ ක්‍රිකට් දිනුවත් පැරදුනත් රසිකයන් අතරෙ මතවාද ඇතිවෙන්නෙ නෑ. හැබැයි ෆුට්බෝල්වලට ලංකාවෙ අයට අයිකන්ස් විදියට ඉන්නෙ විදෙස් ක්‍රීඩකයො නිසා තමුන් තෝරාගන්නා ලීගය, ක්‍රීඩකයා සහ පිළ සම්බන්ධයෙන් වලි වලට මැදිහත් වෙන්න ලාංකික ෆුට්බෝල් රසිකයාට සිද්ධ වෙනවා. ඊපීඑල්-ලලීගා, මෙසී-රොනාල්ඩෝ, ජර්මනි-බ්‍රසීල් කියලා යන වලිවලින් ලැබෙන්නෙ සමාන දුකක්. දැන් ශ්‍රී ලංකාව ක්‍රිකට් මැච් එකක් පරාද වුනොත් ඒක අපිට දුකක්. එතනින් ඉවරයි. හැබැයි රොනාල්ඩෝට පැනල්ටිය මිස් වුනොත් රොනාල්ඩෝ රසිකයන්ට ෆේස්බුක් එකෙන් අහගන්න වෙන කතා බොහොමයි. මැන්චෙස්ටර් සිටි රසිකයන්ට නොසිතූ මොහොතක පරාජයක් සිද්ධ වුනොත් ලිවර්පූල් රසිකයන්ගෙන් අහගන්න වෙනවා හොඳ හූවක්.
7. හිත් බිඳෙන සුළු දේ
මීටත් වඩා හිත් බිඳෙන සමහර සිද්ධි තියෙනවා. තාත්තාට සංගීත වැඩසටහන් බලන්නට උවමනා වුනාම ඩේටා කපාගෙන මැච් බලන්න කට්ටියට සිද්ධ වෙනවා. ඒ වගේම සමහර මැච් ටීවී එකේ නොපෙන්වද්දිත් ඒ දුක එසේමයි. සමහර වෙලාවට අම්මගෙන් උඹ ඔච්චර නටන්නෙ ඕක උඹේ රටද? කියලා බැනුම් අහගන්න වෙනවා. කැමතිම ටීම් දෙකක් එකම වෙලාවක මැච් දෙකකට සෙට් වුනොත් මොකක් බලන්නද කියලා උභතෝකෝටිකයකට එන්න වෙනවා. ඔන්න ඕක තමයි විදෙස් ක්‍රීඩකයන්ට විතරක් ප්‍රේම කිරීමේ අවුල!
Leave a Reply