පිරිමින්ටත් හැදෙන පියයුරු පිළිකා

මේ ලිපිය කියවන ඔබට පිළිකා රෝගියෙක් පිළිබඳව කුඩා හෝ මතක සටහනක් ඇති. අද වෙනකොට පිළිකා රෝගය සුලබ රෝගයක් බවට පත්වෙලා තියෙනවා. ඒ අතරින් පියයුරු පිළිකා ගැන අපිට නිතර අහන්න ලැබෙනවා. සුපිරි හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී පවා පියයුරු පිළිකාවට ගොදුරු වුණා. ඇය පියයුරක් ඉවත් කිරීමේ සැත්කම සඳහා යොමු වුණා. බොහෝ කාන්තාවන් මේ ගැන එළිපිට කතා නොකරද්දි ඇය මේ ගැන විවෘතව කතා කළේ මේ රෝගය ගැන කාන්තාවන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු කරන්න. ඇන්ජලීනා ජොලී වගේම විවිධ පාර්ශව, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන කාන්තාවෝ ගොදුරු වෙන්න පුළුවන් මේ අවදානම ගැන කතා කරනවා. නමුත් පිරිමින්ටත් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? කාන්තාවන්ට සාපේක්ෂව බහුල නොවුණත්, ලෝක පිරිමි ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පියයුරු පිළිකාවට ගොදුරු වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතුවා අද පියයුරු පිළිකා පිළිබඳව කතා කරන්න.

 

1. පිළිකාවක් කියන්නේ?

Image Source – medicalnewstoday.com

අපේ මූලික මාතෘකාවට යන්න කලින් පිළිකාවක් කියන්නේ මොන වගේ රෝග තත්ත්වයක්ද කියන එක ගැන තේරුම් ගමු. අපේ ශරීරයේ විවිධාකාර සෛල තියෙනවා. මේ සෛලවලට ආගන්තුකව සෛලවල වර්ධනයක් විදිහට අපිට පිළිකාව හඳුන්වන්න පුළුවන්. මේ පිළිකා සෛල අසාමාන්‍ය වර්ධනයක් පෙන්නනවා. මේ නිසා ඉක්මනින් පිළිකාවට ආරම්භක ස්ථානයේ ඉඳන් ශරීරයේ අනෙක් ප්‍රදේශවලටත් පැතිර යන්න පුළුවන්.

 

2. පියයුරු පටකය

Image Source – pain-away.ru

අපි කලින් පිළිකාවක් කියන්නේ මොන වගේ රෝග තත්ත්වයක්ද කියන එක ගැන දළ අදහසක් ගත්තා. ඊළඟට පියයුරු පිළිකාවට ගොදුරු වෙන පියයුරු පටකය ගැන කතා කළොත් පිරිමි ගැහැණු දෙවර්ගයටම තන පුඩු පිහිටලා තියෙනවා කියලා ඔබ දන්නවා. මේ තනපුඩුවලට යටින් තමයි පියයුරු පටකය පිහිටන්නේ. කාන්තාවකගේ හෝමෝන ක්‍රියාකාරීත්වය එක්ක කාන්තා පියයුරු විශාල බවට පත්වෙනවා. නමුත් ඊට සාපේක්ෂව පිරිමි පියයුරු විශාල බවට පත් වෙන්නෙ නෑ.

 

3. පියයුරු පිළිකාවක් ඇති වෙන්න හේතු

Image Source – nationalbreastcancer.org

පියයුරු පිළිකා ඇති වීමට හේතු බොහෝ ගණනක් බලාපාන්න පුළුවන්. තරබාරුවීම, මත්ද්‍රව්‍ය භාවිතය, හෝමෝන ප්‍රතිකාර ක්‍රම, වෛද්‍ය නිර්දේශයකින් තොරව උපත් පාලන පෙති භාවිතය වගේ දේවල් වගේම ජානමය සාධකත් පියයුරු පිළිකා ඇති කරන්න හේතු වෙනවා. ඒ නිසා ඔබේ පවුලේ පියයුරු පිළිකාවෙන් පෙළෙන හෝ පෙළුණු කෙනෙක් ඉන්නවා නම් ඔබ වුණත් ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම වයස්ගත වීමත් එක්ක පිරිමි ගැහැණු දෙපාර්ශවයම පියයුරු පිළිකාවට ගොදුරු වීමේ අවදානම වැඩියි. ඒ වගේම විකිරණශීලී ද්‍රව්‍යවලට සහ රසායන ද්‍රව්‍යවලට නිරාවරණය වීමත් මේකට එක හේතුවක්.

 

4. පියයුරු පිළිකාවක ලක්ෂණ

Image Source – 123rf.com

ගැහැණු පිරිමි දෙපාර්ශවයෙම පියයුරු පිළිකා ලක්ෂණවල ලොකු වෙනසක් නෑ. සුලබම රෝග ලක්ෂණය තමයි පියයුරේ අසාමාන්‍ය ගැටිත්තක් ඇතිවීම. ඊට අමතරව ඒ ප්‍රදේශය රළු සහ තද ස්වභාවයක් ගන්න පුළුවන්. තන පුඩුවෙන් යම් ශ්‍රාවයක් ගැලීම, ඒ වටා ප්‍රදේශය ඉදිමීම, කුෂ්ඨ ඇතිවීම පියයුරු පිළිකාවක අනෙකුත් රෝග ලක්ෂණ විදිහට හඳුන්වන්න පුළුවන්

 

5. පියයුරු පිළිකාවක් හඳුනාගැනීම

අනෙක් පිළිකාවලට සාපේක්ෂව පියයුරු පිළිකා හඳුනාගැනීම පහසුයි. ඒ නිසාම පියයුරු පිළිකා රෝගීන්ගෙන් 90%ක් විතර ස්වයං පියයුරු පරීක්ෂාව මගින් හඳුනාගත හැකියි.

ස්වයං පියයුරු පරීක්ෂාව සිද්ධ කරන්නේ මෙන්න මෙහෙමයි.

පළමු පියවර

Image Source – hopechests.org

  • කැඩපතක් ඉදිරියට යන්න. දෑත් දෙපසට දමා සැහැල්ලු ලෙස සිටගන්න. ඔබට දැන් පියයුරුවල අසාමාන්‍ය වෙනසක් ඇති බවක් නිරීක්ෂණය වුණාද?
  • දැන් නැවත දෑත් ඉහළට ඔසවන්න. පියයුරුවල පිටතට පෙනෙන පරිදි ගැටිති ස්වභාවයක් පෙන්වන්නේද? ඉදිමීම් හෝ ඒ අවට සම අඳුරු පැහැයක් ගෙන ඇත්ද? තන පුඩුවේ වෙනත් වෙනස්කම් ඇතිද? ඒ වටා කුෂ්ඨ හෝ වෙනත් ආසාදනයකට ලක්වී ඇත්ද? තන පුඩුවෙන් කිරි නොවන ශ්‍රාවයක් ගලන්නේද?
  • ඉන්පසු දෑත ඉන මත තබා ඉහත ආකාරයටම පරීක්ෂා කර බලන්න.

දෙවෙනි පියවර

  • දකුණු උරහිස යටින් කොට්ටයක් තබා තිරස් අතට වැතිරෙන්න.
  • දකුණු අත නමා දකුණු අත්ල  හිසට යටින් තබාගන්න.
  • දැන් වමතේ ඇඟිලි මගින් ඇඟිලිවල ඇතුළු පැත්තෙන් දකුණු පියයුර වක්‍රාකාර හැඩයට තෙරපන්න. එවැනි තෙරපීම් මගින් මුළු පියයුරම පරීක්ෂා කරන්න.
  • දබර සහ මහපට ඇඟිලි එක් කර තනපුඩුව මිරිකා ශ්‍රාවයක් පිටවේදැයි පරීක්ෂා කරන්න.
  • මේ විදිහටම වම් පියයුරත් පරීක්ෂා කරගන්න.

ඉහත කිව්ව විදිහේ කුමන හෝ රෝග ලක්ෂණයක් මතු වෙලා තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහීම අත්‍යාවශ්‍ය කාරණයක්. බොහෝ වෙලාවට කාන්තා පාර්ශවය මේ ගැන ඉක්මනින් අවධානය යොමු කළත් පිරිමි පාර්ශවය මේ ගැන නිසි අවධානයක් යොමු කරන්නේ නෑ. මේ ගැන ඇති නොදැනුවත්කම සහ සබකෝලය මීට හේතු වෙනවා.

 

6. පියයුරු පිළිකාව සුව කරන්න පුළුවන්ද?

Image Source – cdn1.medicalnewstoday.com

මුල් අවධියේදීම හඳුනාගත්තොත් ඔව්. අපි ඉහත කිව්වා වගේ වෛද්‍යවරු පිළිකා රෝගියාව අදාළ පරීක්ෂණවලට යොමු කරලා පිළිකාව පැතිරිලා තියෙන ප්‍රදේශය සහ පිළිකාව කුමන අවධියේ තියෙනවද කියන එක ගැන නිගමනය කරනවා. ඒ අනුව ප්‍රතිකාර ක්‍රමය නිර්දේශ කරනවා. ශල්‍යකර්ම සිදුකිරීම, විකිරණ ප්‍රතිකාර ලබාදීම, අදාළ ඖෂධ ලබාදීම සිද්ධ වෙනවා.

 

7. පිළිකා වළක්වාගන්නේ කොහොමද?

Image Source – cdn1.medicalnewstoday.com

අවසාන වශයෙන් පියයුරු පිළිකා විතරක් නෙමෙයි ඕනෑම පිළිකාවක් ඇතිවීම වළක්වාගන්නෙ කොහොමද කියන දේ ගැන හිතුවොත් මූලික දේ තමයි ශරීරයේ නිරෝගී  බරක් පවත්වාගෙන යෑම. ඒ සඳහා ප්‍රමාණවත් සහ පෝෂ්‍යදායී ආහාරවේලක් ලබා ගැනීම වැදගත්. ඒ වගේම විවිධ කෘත්‍රීම රසකාරක අඩංගු ආහාර වෙනුවට හැකිතාක් දුරට ස්වභාවික එළවළු සහ පලතුරුවලට යොමු විය යුතුයි. එපමණක් නෙමෙයි, නිසි පරිදි ව්‍යායාම් සිදු කිරීමත් කළ යුතු වෙනවා.ඒ වගේම  මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන් නතර කළ නොහැකි නම් අවම වශයෙන් එය පාලනය කිරීම කරන්න අවශ්‍ය වෙනවා. ඊට අමතරව හැකිතාක් ආතතියෙන් තොර ජීවිතයක් ගෙන යා යුතු වෙනවා. ඒ සඳහා කාර්යබහුල ජීවිතයෙන් මිදී ඔබට ඔබ වෙනුවෙනුත් කාලයක් වැය කිරීම අත්‍යාවශ්‍යයි.

මේ ලිපියත් මැසෙන්ජර්, වට්ස්ඇප්වල සහ ෆේස්බුක්වල ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Cover Image Source – sbs.com.au/ independent.co.uk

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *