ටැටූ එකක් කියන්නෙ තව දුරටත් මැජික් එකක් නෙමෙයි. කොල්ලෝ, කෙල්ලෝ වෙනසක් නැතුව අද කාලේ හුඟ දෙනෙක්ගෙ ශරීරයේ ටැටූ තියනවා. ඇත්තටම ඇයි මිනිස්සු ටැටූ ගහන්නේ? ඒකට බලපාන හේතු ගොඩක් තියනවා. අපි අද කියන්නේ එයින් ප්‍රධානම හේතු කීපයක්.
1. මතක සිහිවටන
අපි හැමෝගෙම ජීවිතේ අමතක කරන්න බැරි මතකයන් සහ සිහිවටන තියනවා. මේවා රැඳිලා තියෙන්නේ අපේ මතකයේ, හිතේ වුණාට සමහරු කැමතියි ඒවා ශරීරයෙත් සටහන් කරගන්න. තමන්ගේ ආදරණීයයෙක් ගැන, ජීවිතේ සංවේදී සිදුවීමක් හෝ අහිමිවීමක් ගැන සිහිකරවන ටැටූ මේ අතරින් විශේෂයි.
2. ෆැෂන්
ලංකාවේ තවත් බොහෝ දෙනෙක් විලාසිතාවක් හැටියට ටැටූ කරන්න පෙළඹිලා තියනවා. එහෙම උදවිය බොහෝ වෙලාවට අර්ථයකට අනුව ටැටූ එකකට යනවට වඩා අලුත් ට්‍රෙන්ඩ් එකක ටැටූ එකක් ගහන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි තමන්ගේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන කස්ටමයිස්ඩ් ටැටූ තොරගන්න අයත් නැතුවම නෙමෙයි.
3. තමන් ගැන කියන්න
ටැටූ එකක් කියන්නේ ආත්ම ප්‍රකාශන මාධ්‍යයක්. අපි කලින් කියපු ජීවිතේ සිහිවටන ගැන වගේම තමන්ගේ කැමැත්තවල්, ජීවිත දර්ශනය, එහෙමත් නැත්නම් තමන් කියන්නේ කොයි විදිහේ පුද්ගලයෙක්ද කියන එක ගැන යම් අදහසක් දෙන්න සමහරු ටැටූ යොදාගන්නවා. විවිධ ලයිෆ්ස්ටයිල්වලට අනුව සටහන් කරගන්නා ටැටූ විශේෂත් තියනවා.
4. අවධානය දිනාගන්න
සමහරු ටැටූ ගහන්නේ අනිත් අයට පේන්නේ නැති තැන්වල. තවත් අය ලේසියෙන් පෙනෙන අත් බාහුවල වගේ තැන්වල ටැටූ ගහගන්න පෙළඹෙනවා. නිතර පෙනෙන තැන්වල ටැටූ ගහන හැමෝම ඒක කරන්නේ අවධානය දිනාගැනීමේ පරමාර්ථයෙන්ම නෙමෙයි. ඒත් අපි මේ කියන අවධානය වෙනුවෙන් ටැටූ ගහන උදවිය වැඩිපුරම ටැටූ සටහන් කරගන්නේ කෙනෙක්ගේ අවධානය ඉක්මනින්ම ලක්වෙන තැන්වලයි. මිනිස්සු බොහෝමයක් ෆැෂන් කරන්නේ අනිත් අය අතරින් තමන්ට හොඳ අවධානයක් දිනාගෙන කැපිලා පෙනෙන්නනේ. එනිසා ටැටූ එකක් වුණත් අවධානය උදෙසා ගහන එකේ වරදක් අපි දකින්නේ නැහැ.
5. ජීවිතේ ගැම්මකට
අපේ ජීවිතේ අපිට ගැම්ම සපයන සමහර දේවල් තියනවා. ඒවා පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. සමහරු කැමතියි තමන් ජීවිතේ ලබපු ජයග්‍රහණයක්, ජයගත්ත දුෂ්කරතාවයක් හෝ මිදිච්ච ඇබ්බැහියක් සිහිකරවන ටැටූ එකක් ගහගන්න. එහෙමත් නැත්නම් තමන්ට ශක්තියක් ධෛර්යයක් සපයන සංකේතයක් පච්චා කොටාගන්න. තමන් ජීවිතේ අධෛර්යයට පත්වෙන අවස්ථාවල තමන්ට එයින් මිදෙන්න කරන සිහිපත්කිරීමක් හැටියට මේ අය තමන්ගේ ටැටූ ශරීරයේ සටහන් කරලා තබාගන්නවා.
6. ආතල් එකට
මේ කියන්නේ අපි ඉහතින් කියපු හේතු වලින් පිට හේතුවක් ගැන. ගොඩක් අය ටැටූ එකක් කොටාගැනීමෙන් ආතල් එකක් ලබනවා තමයි. ඒත් අපි මේ කියන උදවිය විශේෂ හේතුවක් නැතුව තනිකර ආතල් එක විතරක් ඉලක්ක කරන් ටැටූ ගහන උදවියයි. හැමෝම ටැටූ කරන නිසා ටැටූ ගහන අයත්, මටත් ‘මොකක් හරි’ ටැටූ එකක් තිබ්බොත් හොඳයි කියල හිතලා ටැටූ කරන අයවත් මේ ගොඩට දාන්න පුළුවන්.
7. කැළැල්
මේක ලංකාවේ එච්චරම ජනප්‍රිය ටැටූ හේතුවක් නෙමෙයි, ඒත් නොයෙකුත් තුවාල කැළැල්, පිළිස්සුම් කැළැල් තිබෙන නිසා ඒවා වහගන්න ටැටූ භාවිතා කරන උදවියත් ඉන්නවා. දක්ෂ ටැටූ ශිල්පියෙක්ට පුළුවන් ඒ වගේ අවස්ථාවකදි කැළලත් වසමින්, එහෙම නැත්නම් ඒකට අපූරු අර්ථයක් දෙමින් ආකර්ෂණීය ටැටූවක් අදාළ පුද්ගලයාට ලබා දෙන්න.
8. ඇබ්බැහිවීම්
වැඩි දෙනෙක් නොදන්නවා වුණාට කාලයක් තිස්සේ ටැටූ ගහන සමහරුන්ට මේ ටැටූ ඇබ්බැහිය තියනවා. එහෙම අය අතේ මුදලක් රැඳෙනකම් ඉන්නේ තමන්ගේ හිතේ රැඳුණු ඊළඟ ටැටූ නිර්මාණය තමන්ගේ ශරීරයේ කොටාගන්න. ලෝක සිතියම් වගේ ශරීරය පුරා එක එක ටැටූ තියෙන අය අතරින් බොහොමයක් දෙනා මේ වර්ගයට අයිතියි.
ඔබත් ටැටූවක් හෝ කීපයක් සටහන් කරන් ඉන්න කෙනෙක්ද? එහෙනම් අපිට කමෙන්ටුවකින් කියන්න ඒ ගැනත්. ඔබේ ජීවිතේට විශේෂිත වෙච්ච ටැටූ එකේ ෆොටෝ එකක් ෆේස්බුක් කමෙන්ට් එකක් හැටියට දාන්නත් ඔබට පුළුවන්…
Leave a Reply