“ඕකුන්ට අපි යහතින් ඔය කසාදේ කන්න ඉඩ තියන්නේ නෑ. කලවා බන්ධනයක් කරලා හරි ඔය කසාදේ කඩලයි පස්ස බලන්නෙ”
මේ මීට අවුරුදු විසි තිස් ගාණකට විතර කලින් ගම්වලින් ඇහුණු දෙයක්. මෙහෙම දෙයක් කවුරුහරි තමන්ගේ පවුලේ සිද්ධ වෙන කසාදයක් ගැන කිව්වා කියලා ආරංචි වුණාම කරන්නේ මොකද්ද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද? කසාදේ කටයුතු ඉවර කරලා නව යුවළ මධුසමයට ගියාට පස්සේ මනමාලයගේ හරි මනමාලීගේ හරි ගෙදර ගුරුන්නාන්සේ කෙනෙක්ව ලෑස්ති කරනවා. ඒ ගුරුන්නාන්සේ රාත්‍රිය පුරාම කලවා බන්ධනයක් ගැන ආරංචිය ලැබුණොත් කියලා ඒ බන්ධනේ කපන්න ලෑස්තිවෙලා ඉන්නවා. සමහර වෙලාවට කලවා බන්ධනේ කැපෙනවා, සමහර වෙලාවට ගුරුකම අහන්නේ නෑ. දැන් කාලේ ඉතින් කලවා බන්ධන කපන්න ගුරුන්නාන්සේලා හොයන්න අමාරු නිසා කසාදයක් කරගන්න හිතන් ඉන්න සේරම අය මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න. තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන්න හිතන් පිටියට ගියාට වැස්සොත් වැඩේ අවුල් යනවනේ, ආහ් සමහර දැන් කසාද බැඳලා ඉන්න අයටත් මේ ලිපිය වැදගත් වෙයි. මේ ලිපිය මෙච්චර කල් අඳුරු වෙලා තිබ්බ තමන්ගේ කසාද ජීවිතය වෙනස් කරගන්නත් හේතුවක් වෙයි.
1. කලවා බන්ධනය කියන්නේ ඇත්තටම ගුරුකමක්ද?
අපේ රටේ විතරක් නෙමෙයි, ලෝකය පුරාම ඈත අතීතේ තමන්‍ට තේරුම් ගන්න බැරි දේවල් ගුප්ත විද්‍යාත්මක පැත්තට දැම්මා. යක්ෂ දෝෂ, ගුරුකම් විදිහට හැඳින්වුවේ ඒ දේවලට. ඒ නිසායි වර්තමානයේ මානසික රෝගයක් විදිහට හැඳින්වුණු දෙයක් බන්ධනයක් නැත්තන් ගුරුකමක් විදිහට හැඳින්වුණේ. ඒ නිසා අපිට දැන් අනිවාර්යයෙන් එක දෙයක් නම් කියන්න පුළුවන්. කලවා බන්ධනයක් කරන්න ගුරුකම් නෑ. මෙහෙම ගුරුකමක් කරනවා කියලා ආරංචි වීමෙන් ඇතිවෙන මානසික පීඩනයත් එක්ක කලවා බන්ධනය විදිහට හැඳින්වෙන තත්ත්වය ඇති වෙනවා. කලවා බන්ධනය ගුරුන්නාන්සේ කෙනෙක් කැපුවා කියලා ආරංචි වීමත් එක්ක මානසික පීඩනය දුරු වීම නිසා තත්ත්වය යථා තත්ත්වයට පත් වෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්.
2. ගුරුකමක් නෙමෙයි නම් කලවා බන්ධනය කියන්නේ මොකද්ද එතකොට?
කලවා බන්ධනය හැදෙන්නේ කාන්තාවන්ට. මේකෙදි සිද්ධ වෙන්නේ සහකාරයට ලිංගික සංසර්ගය සිද්ධ කරන්න ඉඩ නොදී කලවා ප්‍රදේශයේ සහ යෝනි ප්‍රදේශයේ පේශීන් තද වෙන එක. මේක බටහිර වෛද්‍ය විද්‍යාව හඳුන්වන්නේ වැජිනිස්මස් (Vaginismus) රෝගය විදිහට. සිංහලේ භාවිත වෙන්නේ සංසර්ග භීතිකාව කියලා. මේකට හේතුවක් හිතාගන්න බැරි වුණු අපේ පැරැන්නෝ තමයි මේක කලවා බන්ධනයක් විදිහට ලේබල් කළේ.
3. වැජිනිස්මස් රෝගය හැදෙන්නේ ඇයි?
මේ රෝගය හැදෙන්න මූලිකම හේතුව තමයි පළවෙනි ලිංගික එක්වීමේදී අධික වේදනාවක් දැනෙනවා කියලා මනාලිය විශ්වාස කිරීම. මේ මිථ්‍යා විශ්වාසය කාන්තා පාර්ශවය වගේම පුරුෂ පාර්ශවයත් විශ්වාස කරනවා. සමීක්ෂණවලින් හොයාගෙන තියෙන්නේ විශේෂයෙන් යෙහෙළියන් අතර සිද්ධ වෙන ඕපදූප කතාබස්වලින් “පළවෙනි සංසර්ගයේදී අධික වේදනාවක්” එනවා කියන එක කාන්තාවකට විශ්වාස කරන්න බල කරනවා කියලා. ඒ වගේම සමහර කාන්තාවන් ගැබ් ගැනීමට තියෙන බියත් මේ රෝගයට හේතුවෙනවා. කුඩා කාලයේ යම් අපචාරයකට ලක්වීම නිසා ඇතිවුණු අප්‍රසන්න මතකයකුත් මේකට හේතුවෙන්න පුළුවන්. ඒ වගේම අපි කලින් කිව්වා වගේ කලවා බන්ධන වගේ ගුරුකම් ගැන තියෙන මිථ්‍යා විශ්වාසෙත් මේකට ඒක හේතුවක් වෙන්න පුළුවන්.
4. වැජිනිස්මස් සඳහා මූලික ප්‍රතිකාර
වැජිනිස්මස් රෝගයට මූලික ප්‍රතිකාරය කරන්න පුළුවන් සහකාරයටයි. එහිදී තමන්ගේ සහකාරියගේ මානසික තත්ත්වය තේරුම් අරගෙන ඇයට ලිංගික සංසර්ගය ගැන තියෙන බිය කතාබහ කරලා දුරු කරන්න ඕන. ඒ වගේම කෙලින්ම ලිංගික කාර්යයට බහින්නේ නැතුව සිප ගැනීම්, ස්පර්ශ කිරීම් වගේ දේවල්වලින් ඇයව උද්දීපනය කිරීමෙනුත් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි. සමහර අවස්ථාවලදී ඇතැම් සහකාරයන් මේ සිදුවීම් වලදී කලබලයට පත් වෙලා ආක්‍රමණශීලී විදිහට ලිංගික එක්වීමට උත්සාහ කරනවා. මේක කිසිසේත් නොකළ යුතු දෙයක්. තමන් අකමැති දෙයකට බලෙන් පොළඹවන්න ගියොත් ඕනම කෙනෙක් පත් වෙන්න පුළුවන් මානසික තත්ත්වය ගැන හිතාගන්න පුළුවන් නේද? මේවගේ සිද්ධි නිසා සමහර විවාහ පළවෙනි මංගල රාත්‍රියෙන්ම කෙළවර වෙන්න වුණත් පුළුවන්.
5. කතාබහ කරලා හරිගියේ නැත්තම් මොකද කරන්නේ?
එහෙම වුණොත් නම් අනිවාර්යයෙන්ම දෙන්නම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යන්න ඕන. මනෝ වෛද්‍යවරයෙක් නම් වඩා හොඳයි. වෛද්‍යවරයාත් මුලික අවස්ථාවේ කාන්තා පාර්ශවය සමග කතා කරලා ඇයගේ තියෙන අනියත බිය දුරු කරන්න කටයුතු කරනවා. ඒ වගේම බෝහෝ විට සැමියාටත් උපදෙස් ලබා දීම සිද්ධ කරනවා. මේ වගේ අවස්ථාවලදී තමන්ගේ බිරිඳට මේ තත්ත්වයෙන් මිදෙන්න සහයෝගය දෙන එක සැමියෙක් කරන්න ඕන අනිවාර්ය දෙයක්.
6. ඒත් හරි ගියේ නැත්තන්?
බය වෙන්න එපා, ආපහු ගිහිල්ලා වෛද්‍යවරයා මුණ ගැහෙන්න. එතනදී වෛද්‍යවරයා “යෝනි ආතතිය දුරු කිරීමේ ව්‍යායාම” කීපයක් කියලා දෙයි. මුලින් කාන්තාව තනියමත් පස්සේ තමන්ගේ සහකාරයාගේ උදව්වෙනුත් ඒ ව්‍යායාම් ක්‍රියාවලිය අනුගමනය කරන්න ඕන (මේ ව්‍යායාම් ගැන අපි මේ ලිපියෙන් විස්තර කරන්නේ නෑ, ඒවා ගැන අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් මාර්ගයෙන් දැනගන්න ඕන, මොනම හේතුවකටවත් ගොඩ වෙද්දුන්ගේ උපදෙස් ගන්න යන්න එපා) සමහර විට ජෙල් වර්ගයක් භාවිතා කිරීමට වගේම, ලිංගිකව එක්වන ඉරියව්ව වෙනස් කිරීමටත් වෛද්‍යවරයා උපදෙස් ලබාදේවි.
7. සැමියාගේ භූමිකාව
අපි කලිනුත් කිව්වා වගේ සැමියාට මෙතනදි ලොකු වගකීමක් පැවරෙනවා. මේ වගේ තත්ත්වයකදි තමන්ගේ බිරිඳව අපහසුතාවයට ලක් නොකර ඇයව ප්‍රතිකාර සඳහා රැගෙන යාම සිද්ධ කරන්න ඕන. මේක අසාමාන්‍ය රෝග තත්ත්වයක් නොවන විත්තිය විතරක් තේරුම් ගත්තා නම් ඇති. ඒ වගේම තේරුම් ගන්න ඕන තවත් දෙයක් තමයි ලිංගික ක්‍රියාවලිය කියන්නේ ශාරීරික ක්‍රියාවලියක් පමණක්ම නෙමෙයි, මානසික ක්‍රියාවලියකුත් වෙනවා කියන එක.
ලංකාවෙ ලිංගික අධ්‍යාපනය විෂය තාමත් ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු මාතෘකාවක් කියලා බොහෝ දෙනා හිතන නිසා, මේ වගේ ගැටලු නිසා බොහෝ දෙනා අපහසුතාවයට ලක් වෙනවා. ඒ නිසා මේ වගෙ දේවල් ගැන සමාජ මාධ්‍යවල හෝ කතිකාවක් ඇති වෙන එක වැදගත්.
Leave a Reply