හැම පුවත්පතකටම කාටූන් කියන්නේ නැතුවම බැරි අංගයක්. සමහර අවස්ථාවල ලංකාවේ වගේම ලෝකය පුරාම දේශපාලනය තුළ විශාල කැළඹීම් ඇති කරන්න කාටූන් සමත් වෙලා තියනවා. ඒ නිසාම කාටූන් ශිල්පියෝ ජනමාධ්‍යවේදීන් අතර සුවිශේෂී ස්ථානයක් හිමි කර ගන්නවා. අද අපේ මේ සටහන ලංකාවේ කාටුන් ලෝකය තුළ නම රන්ඳපු කාටුන් ශිල්පීන් කීප දෙනෙක් පිළිබඳව.
1. ඔබ්රි කොලට්
ලංකාවේ පළවෙනි වතාවට දේශපාලන කාටූන් ආරම්භ වුණේ ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පත හරහා. ඒ සඳහා පුරෝගාමී වුණු කාටුන් ශිල්පියා වුණේ ඔබ්රි කොලට්. මේ නිසාම ඔහුගේ කාටුන් පිළිබඳව රටේ ඉහළම තැන ඉඳන් පහළම තැන දක්වා පිරිසක විශාල අවධානයක් යොමු වුණා. වතාවන් කීපයකදීම සර් ජෝන් කොතලාවල තමන්ව කාටුන් වලින් නිරූපණය කිරීම නිසා කොලට්ට කඳවල පිහිටි නිවසට එන්න කියලා බිත්තර ආප්ප වලින් සංග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම සිහිවටනයක් විදිහට ඔහු විසින් ඇඳපු කාටූන් කීපයකුත් ඉල්ලගෙන තියෙනවා. කාලයක් ලේක්හවුස් පුවත්පත් සඳහා කාටූන් ඇඳපු කොලට් පසුව ඕස්ට්‍රේලියාවේ ‘මෙල්බර්න් හෙරල්ඩ්’ පුවත්පතේ කාටූන් ශිල්පියා බවට පත්වුණා.
2. ජී. එස් ප්‍රනාන්දු
ඒ කාලේ ව්‍යවහාරයේ හැටියට ‘ජී. ඇස් ප්‍රනාන්දු’ නමින් ජනප්‍රිය වුණු මෙම ශිල්පියාගේ කාටුන් වලට අපේ රටේ ජනතාව අතිශයින් ප්‍රිය කළා. සාමාන්‍යයෙන් කොලට් යම්කිසි දුරකට පක්ෂග්‍රාහී ස්වභාවයෙන් කාටූන් ඇන්දත් ජී. එස් බොහෝවිට සැලකුණේ පක්ෂග්‍රාහී හැඟීමකින් තොරව පහර ගැසිය යුතු තැනට පහර ගසන ආකාරයේ කාටූන් ශිල්පියෙක් විදිහට. චිත්‍ර කලාව පිළිබඳව ඔහු දැක්වූ විශිෂ්ට දස්කම් කාටුන් කලාවට පිවිසෙන්න ඔහුට වාසියක් වුණා.
3. විජේරූපගේ විජේසෝම
සෝදුපත් බලන්නෙකු ලෙස ලංකාදීපයට එක්වුණු විජේසෝමගේ දක්ෂතාවයට නිසි තැන ලැබුණේ ඩී. බී ධනපාලගෙන් ලැබුණු මග පෙන්වීම හරහා. පසුව ඔහු විසින් ‘විජේසෝමගේ සිත්තර පටි’ නමින් වෙනස්ම ආකාරයේ කාටුන් චිත්‍ර නිර්මාණය කිරීමට පටන් ගත්තා. ඔහු අතින් නිර්මාණය වුණු ‘පුංචි සිඤ්ඤෝ’ අතිශයින් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙන්න ගත වුණේ ඉතාම ටික කාලයක් පමණයි.
4. යූනුස්
පොදු ජනතාවගේ සමීපතමයෙක් බවට පත් වුණු ‘අප්පුහාමි’ නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ යූනුස් හටයි. යූනුස්ගේ කාටුන් කලාවට වැඩි වශයෙන්ම වශයෙන්ම බලපෑම් කළ පුද්ගලයා විදිහට කොලට්ව හඳුන්වන්න පුළුවන්. පළමුවෙන්ම ඔබ්සර්වර් පත්‍රයේත් පසුව තිනකරන් පත්‍රයේත් කාටූන් ශිල්පියා බවට පත්වුණ යූනූස් ජනප්‍රියත්වයට පත් වුණේ ඇත්ත පත්‍රයේ කාටූන් ශිල්පියා බවට පත්වීමෙන් අනතුරුවයි. තමන් විසින් අඳින ලද කාටූන් නිසා ශාරීරික වධ බන්ධන වලටද ලක් වුණු යූනුස් ඒ කිසිවකින් පසුබට වුණේ නැහැ. අවසාන කාලයේදී ඔහු රාවය පුවත්පතේ කාටූන් ශිල්පියා ලෙසත් කටයුතු කළා
5. එස්. සී ඕපාත
කාටූන් නිර්මාණ ශිල්පියෙකු විදිහට තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක්ම ලේක්හවුස් පුවත්පත් සඳහා සේවය ලබා දීපු ඒ. සී ඕපාත විසින් ‘සිල්වා’ නම් ජනප්‍රිය කාටුන් චරිතය බිහිකරනු ලැබුවා. පසුව ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතට සම්බන්ධ වුණා. පාසල් අධ්‍යාපනය ලබන අතරතුර දී ම මෝනින් ටයිම්ස් පුවත්පතේ කාටුන් ශිල්පියකු විදිහට තමන්ගේ දක්ෂතා කල එළි දක්වපු ඕපාත එය තමන්ගේ පවුලෙන් රහසක්ව තබා ගෙන තිබුණා. එම කාටූන් අඳින්නේ තම පුතා බව නොදැන සිටී සිටි ඕපාත ගේ පියා දැඩි ලෙස එම කාටුන්වලින් විනෝදාස්වාදය ලැබුවා. සිය අධ්‍යාපනය නිම වීමෙන් අනතුරුව තමයි ඕපාත විසින් ඇත්ත පියාට හෙළි කරනු ලැබුවේ.
6. අමිත අබේසේකර
අමිත අබේසේකරත් තමන්ගේ ගමන ආරම්භ කරන්නේ ලංකාදීප පුවත්පතෙන්. එම පුවත්පත සඳහා අමිතගේ ‘විකට විට’ නමින් කාටූන් විශේෂාංගයක් එකතු කළා. ඒ හරහා ඔහු විසින් නිර්මාණය කරන ලද ‘මොට්ටපාල’ චරිතය බොහෝ දෙනෙක්ට තවමත් මතකයි. ඉන්පසුව පුවත්පත් කිහිපයක සේවය කළ ඔහු දි අයිලන්ඩ් පුවත්පත වෙනුවෙන් දිස් ඉස් මයි අයිලන්ඩ් නමින් ජනප්‍රිය තීරු ලිපි පෙළක් රචනා කළා.
7. එස්. කරුණාදාස
ලංකාදීප පුවත්පතෙන් කාටූන් කලාවට අත්පොත් තියපු කරුණාදාස එම පුවත්පත සඳහා’ පලහිලව්ව’, ‘නරිනයිදේ’ වැනි කාටුන් රැසක් නිර්මාණය කළා. ඉන්පසුව ඔහුගේ නවාතැන්පළ වුණේ ලේක්හවුස් එක. එහිදී ඔහු අතින් නිර්මාණය වුණු කාටුන් විශේෂාංග වන්නේ ‘සිනහ රැල්ල’, ‘හසරැල්ල’, ‘බහුරූ කෝලම්’ ආදියයි. විවිධ දක්ෂතා වලින් යුතු පුද්ගලයෙකු වූ කරුණාදාස නාට්‍ය ශිල්පියෙක් වගේම සංගීත ශිල්පියෙක් විදියටත් නමක් දිනාගත්තා
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply