එකදිගට ඒකාකාරී වැඩක් කර කර ඉද්දි ඇහැපියවෙන්න වගේ යනවා.පොඩ්ඩක් නැගිටලා වටපිට බලලා ආයේ හරිබරි ගැහිලා වාඩි වුනත් ආයෙම නින්ද ඇවිත් අපිව වෙලාගන්නවා. තව ටික වෙලාවකින් යාළුවෝ ඇවිත් බලනකොට සෙල්ෆියක් ගහලා ෆේස්බුක් දැම්මොත් හතර වරිගයකටම විලි ලැජ්ජා හිතෙන විදියට අපි ඔෆිස් පුටුවේ නිදි. වංචා දූසන යටිමඩි සඟවන්න පුලුවන් වුනාට ඔෆිස් ටේබල් එකේ ඉද්දි නින්ද යෑම නම් ලොක්කට වහං කරන්න ටිකක් අමාරුයි.
1. පියන්ට ආයිබොවන් කියමු
ඒකාකාරී කාර්යාල රාජකාරි වල ලිපි එහා මෙහා ගෙනයෑමට ඔෆිස් එකේ පියන් කෙනෙක් පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. ඇත්තටම ඇතැම් තැන්වල තිබෙන ස්වභාවය අනුව පියන් කෙනෙක් සිටිය යුතුමයි. එහෙත් ලිපියක් යවන්න, පණිවුඩයක් යවන්න, ෆයිල් එකක් අරං එන්න තවත් කෙනෙක් යවන් නැතුව අපේ කකුල් දෙකෙන් ගිහිල්ලා, අපේ අතපය වෙහෙසලා, අපිම කාවහරි මීට් වෙලා එන්න පුලුවන් නම්… අන්න දවසේම එකම තැන වාඩිවෙලා ඉන්නකොට ලෝඩ් වෙන නින්ද කොහේ ගියාද නැති වෙනවා. ඒ වගේ නින්ද යාගෙන එන වෙලාවට මොනවා හරි වැඩකට පොඩ්ඩක් එළියට ගිහින් විනාඩි 10ක් කැරකිලා මොනාහරි කරලා එන්න පුලුවන් නම් ඒ එද්දි නිදිමත සෑහෙන දුරට එහා ටේබල් එකකට ට්‍රාන්සර් වෙලා තියේවි.
2. පොඩ්ඩක් සිරාවටම නිදාගමුද?
මෙය චීන සහ ජපාන ජාතිකයින් කරන වැඩක්. ලංකාවේ වැඩබිම් වල වැඩකරන චීන ජාතිකයින් ලංකාවේ කම්කරුවන් වගේ කිහිප ගුණයකින් වේගවත්. ඔවුන් වැඩ අතරමග තේ බොන්නට බුලත් විඩ කන්නට, සිගරට් උරන්නට යන්නේ නැහැ. ඒත් ආහාර විවේකයේදී චීන ජාතිකයින් සිටින තැනම ඇලවී නිදාගන්නවා. චීනයේ මහා විසාල කාර්යාල සංකීර්ණ වල වැඩ රාජකාරි අතරතුර වුව දිවා ආහාර විවේකයෙන් පසු ඔවුන් පෑ බාගයක් අනිවාර්ය නින්දක් ලබාගන්නා බව එහි ගොස් පැමිණි අයවලුන් පවසනවා. අපිට තිබෙන පසුබිම අනුව කෑමෙන් පසු පොඩ්ඩක් විතර නින්දක් දාලා ආයේ වැඩකරන්න හැකිනම් එතනදී ඇඟට අවශ්‍ය විවේකය ටිකක් හෝ ලැබෙන නිසා ඉතිරි කාලය අවදියෙන් ගතකරන්න අපිට අවස්ථාව ලැබේවි.
3. ළඟ ඩෑල්එක කතාවට අල්ලාගමු
දයාවතී පැයකට පොල් අතු 20ක් වියයි නම් දයාවතී හා සිරියාවතී එකතුව පැයකට වියන පොල් අතු ගාණ කීයද? ඇත්තටම 40යි කියලා හිතුනත් ඒම නෑලු. දෙදෙනා කතාවට වැටෙන නිසා වියන පොල්අතු ගාණ අඩුයි කියලා තමයි පුරාණ ජනකතා වල තිබෙන්නේ. කොහොම වුනත් එකට වැඩ කරන අයට නින්ද එනකොට පොඩි කතාවක් අල්ලලා ඒක නග්ගලා ගන්න පුලුවනි නම් නින්ද පොඩ්ඩක් මග ඇරෙනවා. යාළුවා දේශපාලනය ගැන, කලාව ගැන කතා කරනවා නම් අපිත් අපේ මතය ඉදිරිපත් කරන්න මොළේ වෙහෙසෙනවා. ගෑණු අයනම් එයාල දන්න ගොසිප් ටික කියද්දි අපි දන්න ගොසිප් ටික රිප්ලයි කරනකම් ඉවසිල්ලක් නෑ. කොටින්ම නින්ද යන්නේ නැහැ. වැඩියම නෙමෙයි. එක්තරා ප්‍රමාණයකට වැඩකරන ගමන් කතාකරමින් වැඩ කිරීම නින්ද මගහරවා ගැනීමට හොද උපක්‍රමයක්.
4. බොමුද සීතල වතුර වීදුරුවක්?
සිරුර කියන්නේ ඇඳුම් වලින් වසා තිබුනාට ඇතුළතින් සත්වයෙක්. ඉතිං මේ සිරුරට යම් උවමනා දෙයක් නොලැබෙද්දි ටික ටික අපේ ඇස් පියවිලි නින්දට යනවා. වාතාශ්‍රය ලැබෙන වායුසමන පද්ධතිය අවුල් වීම, ආලෝකය නිසි පරිදි නොවැටීම වැනි කාරණා නින්ද ඉක්මන් කරන බව පර්යේෂණ වලින් ද සනාථ කොට තිබෙනවා. සිරුරට අවශ්‍ය ජලය සැපයුම නිසිපරිදි නොලැබීමත් අසනීප තත්ත්ව ආදියත් ඔෆිස් පුටුව නිදි යහනක් කරන්නට සමත්. කොහොම වුනත් වතුර බෝතලයක් තබාගෙන වතුර ටිකක් බොන්න හුරුවීම හොඳ දෙයක්. මොකද සිරුරේ තිබෙන වතුර අපිව අවදි කරන්න වගේම ප්‍රාණවත්ව තබාගන්නත් විශාල දායකත්වයක් දෙනවා.
5. හපමු
කෑම වේලාවල් අතරමැද අමතර කැලරි තොග ගණන් බඩට එකතු කරගැනීම සුදුසු නැහැ. ඒත් පොඩි ස්නැක් එකක්, පොඩි බිස්කට් එකක් වගේ දෙයක් තියාගෙන නිදිමත වෙලාවට වැඩ එක්ක හපන්න පුලුවන් නම්… අන්න එතනදි අපේ නිදිමත පොඩ්ඩක් අඩුවෙලා යනවා.
6. වැඩේ මාරු කරමු
එක ආකාරයට එකම තැන වාඩිවෙලා බොහෝ වේලා එකම රාජකාරිය කරන විට අපේ මොළය සහ ඉන්ද්රිය වෙහෙසට පත් වෙනවා. ඉන් පස්සේ අපිට නිදාගන්න කියලා මොළෙන්ම අපිට මිස් කෝල් ගහනවා. කාර්යාලයක වුනත් අපිට විවිධ වැඩ පැවරී තිබෙනවා. එකම වැඩේ පැය ගණන් බදාගෙන එහි එරීගෙන කරනවාට වඩා පැය දෙකෙන් දෙකට වගේ කරන වැඩ වලට පොඩි වෙනසක් දෙන්න පුලුවනි නම් නින්ද ළඟාවීම ටිකක් අඩුවේවි. ඒක නින්ද නොයාමට වගේම අපේ කාර්යක්ෂමතාවයටත් හේතුවන දෙයක්.
7. එයාට හායි පාරක් දාමු
මේක නම් හුරුවුනොත් ටිකක් කුඩු ගැහුවා වගේ සිද්ධියක්. ඒත් එයාට හායි පාරක් දාන්න හෝ වෙනයම් දෙයකට ස්මාට්ෆෝන් එක අතට ගත්තාම අපිට එතැන වැඩගොඩයි. ෆේස්බුක් එකේ යාළුවෝ මොනාහරි කියලද? වට්සැප් ගෲප් එකට අලුත් වීඩියෝවක් වැටිලද? අලුත් ගේම් එකේ අලුත් මිශන් එක කෝමද? ශහ් මරු වෙලාව සීරිස් එකේ ඊළඟ එපියේ කෑල්ලක් බලන්න. ආදී දේට අපිට පුටුවේ ඉද්දිම වුනත් ස්මාට්ෆෝනය හරහා සම්බන්ධ වෙන්නට හැකියි. එතැනදී ස්මාට්ෆෝනයේ ඇති අටෝරාශියක් වැඩ රාජකාරි අපිව අවදි කලත් ඉන් පසු දිගටම ස්මාට්ෆෝනයට ඇබ්බැහි වුවොත් එතැනින් ගැලවීමට නැවතත් වෙනත් ක්‍රියාමාර්ග ගන්නට සිදු වෙනවා.
පර්යේෂණ අනුව දිගින් දිගටම පෑ ගණනාවක් වැඩ කිරීමෙන් අපගේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එහෙත් අප රාජකාරි කරන වටපිටාවන් තවමත් බොහෝවිට සැකසී ඇත්තේ තරමක පරණ මාදිලියට. අපිට පුටුවේ නින්ද යෑම අපේ රාජකාරියට බාධාවක්. එය එක් පසෙකින් පෞරුෂයටත් යම් හානියක් කරනවා. ඉතිං ඔයාලගේ යාළුවොත් ඇති ඔෆිස් පුටුවේ ගෙදර ඇඳට වඩා සැපට නින්ද යන. අපි එයාලට සහයෝගයක් විදියට දෙතුන් දෙනෙක් මෙන්ශන් කරගෙනම යමු නේද?
Cover Image Source – cdmessenger.com / healthtopia.com / huffpost.com
Leave a Reply