ජීවිතයේ එක කාලයක දී තරුණ උදවිය මුහුණ දෙන මානසික තත්ත්ව

මානසික රෝග කියන ඒවා යම් යම් මට්ටමෙන් හැමෝට ම තියෙනවා. ඒවා ඒ මට්ටම පැන්නම තමයි ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි සමහර තරුණ උදවිය විලාසිතාවක් විදියට තමන් අහවල් රෝගයෙන් පෙළෙනවා ය කියනවා. ඒ නිසාම ඇත්තටම ඒ රෝග එක්ක ජීවත් වෙන අයව තව ටිකක් වේදනාවට පත් කරවනවා. නමුත් මේ රෝග ඇත්තටම පවතිනවා. ඒක බොරුවක් නෙවෙයි. ඉතින් මේ දේවල් ගැන සුළුවෙන් හෝ කවුරුත් දැනුවත් වෙන එක හොඳයි.



1.විෂාදය


ඩිප්‍රෙෂන් කියලා තේරෙන භාෂාවෙන් කියන්නේ මෙන්න මේකටයි. මේ තියන ලෝක ස්වාභාවය අනුව ඕනිම කෙනෙක් හති වැටෙනවා. හැබැයි ඒකයි විෂාදයයි වෙනස් වෙන්නේ දිගුකාලීනව පවතින රෝග ලක්ෂණ කීපයක් නිසා. කෑම අරුචිය, බර අඩු වීම වගේ ම පමණට වඩා කෑම සහ තරබාරුවත් මෙහි ලක්ෂණ වෙනවා. ඉතින් හිතන්නකෝ වැඩේ. හරියට නින්ද යන්නැති එක, වැඩක් කරගන්න බැරි එක, හරියට දෙයක් හිතන්න බැරි එක වගේ ම බොහොම පොඩි දේවල් ගැන පවා පැය ගණන් එක දිගට හිතන්න මේ රෝගී තත්ත්වය ඔබව පොළඹවනවා. මේක අඳුනාගන්නේ ඉතාම සුළු පිරිසක් විතරයි. ඒ ගැන කතා කරන්නත් අකමැති කට්ටියක් ඉන්නවා. සායනික විෂාදය (clinical depression) මට්ටමට යන්න කලින් මේ ගැන කතා කිරීමෙන් මේ රෝගී තත්ත්වය ක්‍රමිකව අඩු කරගන්න පුළුවන්. ඒකට හොඳ ඇහුම්කන් දෙන්නන් ඉන්න ඕනි. ඉතින් ඒකයි අපි අපේ හිතවතුන්ට ආදරය කළ යුත්තේ. නැත්තන් හෙට දවසේ අපි අකමැතිම ආරංචියක් එන්න පුළුවනි.



2. කාංසාව


ඉංග්‍රීසියෙන් anxiety කියලා කියන්නේ මේකටයි. හැබැයි අපි සිංහලෙන් එහෙම පරිවර්තනය කරාට සාංකාව වගේම දෙයක් කෙරේ ඇති අධික ඇල්මත් ඇන්සයටි කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේ ම විෂාදයෙන් පෙළෙන කෙනෙක් ඇන්සයටිවල ගොදුරක් වීමේ විශාල ප්‍රවණතාවක් තියනවා. කාංසාව හැදුණාම කට්ටිය අහේතුක භීතියක් ඇති කරගන්නවා. විශේෂයෙන් සමාජ භීතිකාවක් ඇති කරගන්නවා. මනුස්සයෙක් එක්ක කතා කරන්නවත් බැරි මට්ටමට ලැජ්ජාව සහ බය කියන දේ ඇති වෙනවා. දහඩිය දැමීම, පපුව වේගයෙන් ගැසීම වගේ ම ආතතියක් දැනෙන එක කාංසාව ඇති වුණාම වෙනවා. සාමාන්‍ය ජීවිතයේ හැම වෙලේ අතපය හෝදන්න පෙළඹෙන එතකොට නාන්න එහෙම හැට පැයක් ගන්න අයට කාංසාව තියෙන්න ඉඩ වැඩියි. මනෝ වෛද්‍ය උපදේශකවරයෙක් මුණ ගැසිය යුතුමයි.



3. අවධාන ඌනතා අධික්‍රියාකාරී අක්‍රමතාව 


අපි දේවල් ඉංග්‍රීසියෙන් කිව්වමයි දන්නේ. ඉතින් ඔය උඩ කියා තියෙන්නේ වෙන දෙයක් ගැන නෙවේ ADHD ගැන. මේක ගොඩක් වෙලාවට හැදෙන්නේ පිරිමි පාර්ශ්වයටයි. මොළයේ රසායනික සංයුතිවල වෙන එක එක අකරතැබ්බ නිසා සිතුවිලි සහ හැඟීම් පාලනය කරගන්න බැරි වෙන එකයි වෙන්නේ. මේ රෝග ලක්ෂණ පාසල් කාලයෙදි විශේෂයෙන් ම ඇති වෙනවා. සමහරවිට ඔයාලා ඒ කාලේ පන්තියේ මැට්ටා කියලා හංවඩු ගැහුවේ ADHD රෝගියෙක් ව වෙන්න පුළුවන්. එයාලට අවධානය තියාගන්න අමාරුයි. වැඩ කළමනාකරණය බිංදුවයි. එක තැනක ඉන්න බෑ. තමන්ගේ බඩු නැති කරගන්නවා. ඊට අමතරව තොරතෝංචියක් නැතුව කියවනවා. කකුල් වේගයෙන් හොළවනවා. වෛද්‍ය ප්‍රතිකාර වගේ ම සමහර චර්‍යාත්මක වෙනස්කම් එක්ක මේ රෝගීන් සුවපත් කරන්න පුළුවන්.



4. ද්වීධ්‍රැවීය ආබාධය


Bipolar Disorder කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන මේ රෝගය බලන් ඉද්දි වෙස් පෙරැළෙන රෝගයක්. මේ රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවීමට තියන ප්‍රධානම සාධකයක් තමයි මේ වෙස් පෙරැළිය දෙයියෙක් හරි භූතයෙක් හරි වැහිලා වෙන දෙයක් කියලා මිනිසුන් සිතා ගැනීම. මේ රෝගයේ දී අධික සතුටට පත් වෙන එකත් අධික ලෙස ක්ෂණයෙන් දුකට පත් වෙන එකත් සිද්ධ වෙනවා. අධික සතුටට පත් වීමෙනුත් මහා වේදනාවක් ලබනවා. කොහෙවත් නැති අසාමාන්‍ය ජවයක් එවෙලෙට එනවා. ඒ වගේ ම බොරු ලොකුකමක් කියවිල්ලක් අසාමාන්‍ය ලෙස මුදල් වියදම් කිරීමක් සහ ලිංගික ආශා ඇති වෙනවා. අනික් එක ඉතින් අධික ලෙස දුක්වීම හෙවත් මානසික අවපීඩන තත්ත්ව. සාමාන්‍ය පුද්ගලයෙකුට හිතෙනවා වගේ හැට ගුණයකින් ජීවිතය තොර කරගන්න මේ රෝගියෙකු හිතනවා. නිසි වෛද්‍ය ප්‍රතිකාර ඒ නිසා ඕනිමයි.



5. භින්නෝන්මාදය


ලොව ඇති භයානකම මානසික රෝගය කියලා කියන්නත් පුළුවන්. තමන්ගේ හිතට කවුරු හරි බලෙන් දේවල් ඇතුල් කරන තමන්ගේ ම සිතුවිලි තමන්ට ඇහෙන්න ගත්තම අම්මෝ මොන නරකාදියක් ද ඒක? ඊට අමතරව කාටවත් නොපෙනෙනෙ දේවල් සහ ශබ්ද ඇහෙන්න ගන්නවා. පිටසක්වල ජීවය වගේ දේවල් කතා කරනවා. එක ම ඉරියව්වකින් දින මාස ගණන් ඉන්නවා. නොගැලපෙන ප්‍රකාශ නිකුත් කරනවා. ඒක ඇත්තටම බය හිතෙන ලෙඩක්. මේ වගේ වෙලාවක දී කළ යුත්තේ ඔහු ව කොන් කරන එක නෙවේ. අනෙක් අයගේ ආදරය සහ වෛද්‍ය උපදෙස්. එකිනෙකාට ආදරේ කිරීමෙන් ගොඩක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්. කරන්නේ නැත්තෙත් ඒකනේ. 



6. සයිකෝසියාව


මනෝ විකාරය කියලා මේ රෝගය හඳුන්වන්නේ ඇත්තටම ඒක එක්තරා විකාරයක් නිසයි. මොකක් හරි සිතුවිල්ලක් ගත්තොතින් මේ රෝගියෙකුව ඒ සිතුවිල්ල සම්බන්ධයෙන් ඔහුගේ ඇති මතය වෙනස් කරන්න හරි ම අමාරුයි. ඒ විදියට එල්බ ගත් මතය වෙනස් කිරීමේ අපහසුව සහ භ්‍රාන්ති කියන දේවල් සයිකෝසියාවේ ලක්ෂණ වෙනවා. මේක ලෙඩකට වඩා ලෙඩ කීපයක එකතුවක්. ශ්‍රව්‍ය භ්‍රාන්තියක් විදියට ගත්තොත් කෙනෙක් කතා නොකරන මුත් කතා කරනවා වගේ දැනෙනවා. 

 


7. ග්‍රස්තිය


මොකක් හෝ අදහසක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේ කෙළවරක් නොමැතිකම කියලා කියන්න පුළුවන් සරලවම. ඒ කියන්නේ උදාහරණෙකින් කිව්වොත් ගෑස් එක වහනවා. වහලා ඇවිත් නිදාගන්නවා. හැබැයි හිත කියන්නෙම ගෑස් එක වහලා නෑ ගිහින් බලපන් කියලා. අන්න එහෙම දෙගිඩියාවක් ඇති කරවනවා. ඊට අමතරව සමහර දේ ගැන ඕනවටත් වඩා පිරිසිදු වෙනවා. හැම වෙලේ ම අත් හෝදනවා. වෙන කෙනෙක් ඇල්ලූ දෙයක් ආයෙ අල්ලන්නේ නැහැ. මේ රෝගය ගැන තමයි ප්‍රේමය නම් කියන චිත්‍රපටය හදලා තියෙන්නේ. මේ රෝග ලක්ෂණ හඳුනාගැනීමේ හැකියාව එක්ක ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *