දැන් අපි ඕනම කෙනෙක්ට පරණ ලව් එකක් තියෙන්න පුළුවන්නේ. හරි අපි කියමු මේක කියවන අපි හැමෝටම පරණ ලව් එකක් තියෙනවා කියලා. ඒ පරණ ලව් එක, ඒ කියන්නේ පරණ පෙම්වතා හෝ පෙම්වතිය තව දවසක කොහෙදි හරි අපිට හම්බ වෙන්න පුළුවන්ද? බැරි මොකද, මේක අපි හිතනවට වඩා පුංචි ලෝකයක්. අපි ඉන්නේ ඊටත් වඩා පුංචිම පුංචි රටක. එතකොට ඉතින් අර ගහට ගහක් මොරටුවේදී හම්බෙනවා වගේ පරණ ලව් කරපු මනුස්සයෙක්ව කොහේදි හරි නොහිතූ වෙලාවක හම්බෙන්න පුලුවන්. හරි දැන් එහෙම හම්බ උනා කියමුකො. එහෙම වෙලාවකව මොකද කරන්නේ? අපිට මොනවද හිතෙන්නේ? නයි වයිරයකින් සම්බන්ධතාවය කෙළවර වුනානම්, කිසිසේත්ම මේ හමුවීම සතුටු දායක වෙන්නේ නෑ. එහෙම තත්වයක් තියෙනවා නම් අහක බලාගෙන යන්න තමයි වෙන්නේ.
හැබැයි දෙන්නටම කතා කරන්න පුළුවන් මට්ටමේ හෝ තත්ත්වයක් තියෙනවා නම්, ඒ කියන්නේ සුහදතාවයක් තියෙන්නම ඕන නෑ, හැබැයි හතුරු කමක් නැති නම්, අන්න එතකොට කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි අපි මේ කියන්න යන්නේ.
01. දුම්මල වරම අතට නොගන්න
දැන් අපි පටන් ගද්දිම කිව්වා, සමහර පෙම්වතුන් වෙන් වෙලා තියෙන්නෙම නයයි මුගටියයි වගේ. සම්බන්ධය අවසාන වුණාට පස්සේ, අනිත් කෙනා ගැන ලෝකෙට කියපු කයි-කතන්දර එක්ක ආයේ මුණ බලන්න තියා, ඉන්න පාරක වත් යන්න බැහැ. හරි අපි කියමුකෝ දැන් ඔය වගේ තත්ත්වයක් මත වෙන් වුණු යුවලක් අහම්බෙන් හම්බෙනවා කියලා. එතකොට පිහියෙන් බැරිනම් වචනවලින් හරි ඇනලා දාන්න තරමට ආවේගයක් එනවනම්, හොඳම වැඩේ තමයි නොදැක්කා වගේ යන්න යන එක. ඒ වගේ වෙලාවක හොඳට මතක තියාගන්න, සම්බන්ධයක් ඉවර වෙනකොට ඒකට දෙපැත්තෙම වැරදි තියෙන්න පුළුවන්. අපිට කියන්න පුළුවන්ද අනිත් කෙනා විතරයි වැරදි කියලා? එහෙම කියන්න පුළුවන් උනත්, කිසිම කෙනෙක් ගැන වෛරයක් හිතේ තියා ගන්නේ නැති තරමට, අපිට ස්ට්‍රෙස් නැති ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ නිසා, පරණ ලව් එක හම්බ උනහම මූණට දමලා අනින්න පුළුවන් විදිහේ ආවේගයක් එනවනම් මඟහැරලා යන්න. එහෙම අවුලක් නැති නම් යන්න පොයින්ට් අංක 2 ට.
02. අවුලක් නැති නම් මග ඇරලා යන්න එපා
හරි දැන් මුල පොයින්ට් එකේ කිව්ව විදියේ ප්‍රශ්නයක් නැතිනම්, අපිට පරණ පෙම්වතාව හරි පරණ පෙම්වතියව හරි කොහේ හරි දැක්කහම ගිහිල්ලා මුණගැහෙන්න පුලුවන්. ගස්සගෙන අහක බලාගෙන යන්න දෙයක් නෑ. හැබැයි මතක තියාගන්න, මේ අවස්ථාව පාවිච්චි කරන්න ඕන අනිත් කෙනාව රිද්දන්න වත්, තමන්ගෙ පම්පෝරිය පෙන්නන්න වත්, එයා නැති වුණාට මම මෙච්චර හොඳින් ඉන්නවා කියලා ලොකුකම දක්වන්න වත් නෙවෙයි. අපේ මනුස්සකම වෙනුවෙන්. අන්න ඒ නිසා ළඟට ගිහිල්ල හිනාවෙලා කතා කරන්න. මොකද මේ ඉන්නේ හොඳට හෝ නරකට හෝ අපේ ජීවිතේ එක් කාලෙක දී අපිත් එක්ක ජීවිතය බෙදා ගත්ත මනුස්සයෙක්.
හරි දැන් එහෙම අපි ගිහිල්ලා කතා කලහම එයා කතා කරේ නැත්නම්? අහක බලා ගත්තොත්? ගස්සගෙන ගියොත්? පොල්ලෙන් ගැහුවා වගේ කේන්තියෙන් උත්තර දුන්නොත්? ඒකට මොකද කරන්නේ? ඒ වගේ දෙයක් පර්සනල් කරගන්න එපා. තමන්ට ලැජ්ජාවක් වුණා කියලා හිතන්නත් එපා. ඒක ඒ කෙනාගේ මානසික මට්ටම සහ පෞරුෂත්ව මට්ටම. එතැනදී සතුටු වෙන්න පරණ පෙම්වතා හෝ පෙම්වතිය තමන් එක්ක කතා නොකර යන්න තෝරා ගත්තත්, තමන්ට එතනට ගිහිල්ලා කතා කරන්න ධෛර්යයක් සහ හොඳ පෞරුෂත්වයක් තිබීම ගැන. සතුටු වෙන්න තමන් ජෙනුයින් වීම ගැන. දැන් එයා අපිත් එක්ක කතා කලත්, හොඳින් කතා නොකලොත්, ඉවසිල්ලෙන් කතා කරන්න. මේ මොහොත එයාට නෙවෙයි අදාළ වෙන්නේ. අපිට.
03. කාත් එක්කද එයා ඉන්නෙ බලන්න
පරණ බෝයිෆ්‍රෙන්ඩ් හරි පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි අපිට මුණ ගැහෙනකොට ඉන්නේ තනියෙන් නෙවෙයි වෙන්න පුළුවන්. අම්මා තාත්තා හරි ඒ වගේ කෙනෙක් එක්ක ඉන්නවනම් අපිට ගරුසරු ඇතිව කතා කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හැබැයි එයා ඉන්නේ අලුත් කොල්ලා හරි අලුත් කෙල්ල හරි එක්ක නම්? එහෙම නම් ගිහිල්ලා ඒ ඉන්න මනුස්සයාව ගණන් ගන්නේ නැතුව තමන්ගේ පරණ එක්කෙනා එක කතා කරන්න යන්න එපා. බොහොම සුහදව ඒ කෙනාටත් අතට අත දීලා දැන අඳුනගන්න. අපි කියමු ඇත්තටම අපේ පරණ කෙනා ඉන්නේ එයාගේ අලුත් එක්කෙනා එක්ක කියලා. දැන් ඒක අපිට දැනගන්න විදියකුත් නැහැ එයාව අපිට හඳුන්වලා දුන්නෙ නැත්නම්. එහෙමනම්, අපේ පරණ පෙම්වතා හෝ පෙම්වතිය ඉන්නේ එයාගෙ අලුත් කෙනා කියලා හිතන්න පුළුවන් කෙනෙක් එක්ක නම්, මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. පැන්න ගමන් “මම තමයි මෙයත් එක්ක ඉස්සරවෙලා යාලු වෙලා හිටියෙ” වගේ සීන් දාන්න යන්න එපා. මොකද අපි දන්නේ නැහැ එයා අලුත් එක්කෙනාට මොනවද කියලා තියෙන්නේ කියන එක. සමහර වෙලාවට අනිත් එක්කෙනා මොකුත් දන්නේ නැත්නම්, අපි වළං කඩේට පැන්න ගොනා වගේ කියවන්න ගිහිල්ලා හොඳට තිබ්බ සම්බන්ධතාවයක් අවුල් කරන්න පුළුවන්. මුලින් බලන්න එයා කොහොමද අපිව අඳුන්වලා දෙන්නෙ කියලා. ඊට පස්සේ ඒ අනුව කතාව අරගෙන යන්න පුළුවන්. ඒ වගේ තැනක දී පොඩි බොරුවක් කළා කියලා අපි අපායේ යන්නෙ නෑ!
04. තමන් ඉන්නේ කාත් එක්කද කියලත් මතක තියාගන්න
උඩ point එකේ කියපු දේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන් අපිට, පරණ කොල්ලව හරි පරණ කෙල්ලව හරි අහම්බෙන් හම්බෙන වෙලාවක දී. ඒ කියන්නේ අපි ඉන්නෙත් තනියෙන් නෙවෙයි වෙන්න පුළුවන්. අපි ඉන්නේ අලුතෙන් මුණගැහුනු ලව් එක එක්ක එහෙම නම්, පොඩ්ඩක් තත්ත්වය කිරලා මැනලා බලන එක හොඳයි. පරණ ලව් එක වුණත්, කතා කරපු ගමන් අපිට ඇනුම්පද කියන තත්ත්වයක වගේ නම් ඉන්නේ, හොඳම දේ තමයි දකින්න කලින් දැක්කේ නෑ වගේ මාරු වෙලා යන එක. හැබැයි එහෙම ප්‍රශ්නයක් නැතිනම් ගිහිල්ලා කතා කරන්න පුළුවන්. අපේ අලුත් කෙනාත් පරණ ලව් එක ගැන දන්නවා නම් ප්‍රශ්නයක් ම නැහැ. ගිහිල්ලා නිදහසේ හලෝ කියලා, එක්කෙනාට එක්කෙනා අඳුන්වලා දීලා කතා කරන්න පුළුවන්. දෙන්නම යන එකේ අවුලක් තියෙනවා නම්, තනියෙන් කතා කරලා, පස්සෙ තමන්ගෙ දැන් පෙම්වතාට හෝ පෙම්වතියට තත්වය පැහැදිලි කරලා දෙන්නත් පුළුවන්.
05. අහල පහල මූඩ් එක ගැන සැලකිල්ලෙන්
මේ කාරණාව ගොඩක් වෙලාවට අදාළ වෙන්නේ, අපිට මුණගැහුණු පරණ එක්කෙනා හරි අපි හරි ඉන්නෙ තනියෙන් නෙවෙයි නම් තමයි. ඒ කියන්නෙ මෙහෙම හිතන්න. ඔන්න දැන් අපි ගිහිල්ලා හායි කියලා හිනා වෙලා හග් එකත් එහෙම දීලා කතාවට බහිනවා. ඉතින් ඔන්න රේඩියෝ එක දැම්මා වගේ, ඒ දවස් වල දෙන්නත් එක්ක ධවලගිරියට ගිහිල්ලා තෝසේ කාලා සල්ලි නොදී මාරු වෙච්ච කථා, මුහුදු වෙරළට ගිහිල්ලා දෙන්නත් එක්ක සෙල්ලම් බත් ඉව්ව කතන්දර, පුංචි අම්මගෙ මගුල් ගෙදර ගිහිල්ලා දෙන්නම බීලා වැඩිවෙච්ච කථා, ඔය වගේ එකී මෙකී නොකී පරණ කතන්දර කතා කරනවා. ඔන්න එතකොට බලනකොට එයාගෙ අලුත් මෙයාගේ මූණ එච්චර හොඳ නැහැ. එහෙම නැතිනම් අපේ අලුත් මෙයාගේ මුහුණ හොඳ නැහැ. ඒ කියන්නේ අපි ඕනවට වඩා අතීතයේ පුද්ගලික දේවල් මෙතන ඇද ගන්න හොඳ නැහැ කියන එක තමයි. අතීතයේ පුද්ගලික දේවල් මේ විදිහට පරණ කෙනා එක්ක කදේ දාගෙන කතා කරනකොට, අලුත් කෙනා “මේ මොන මල කෝලමක් ද” කියලා හිතෙන එක සාධාරණයි එක් . මෙතන තව පැත්තක් තියෙනවා. දැන් අපි පරණ කෙනා හම්බ උනහම ඔය වගේ පරණ කතා වක්කඩ කැඩුවා වගේ කියන්න ගත්තත්, එයා කැමති නැති වෙන්න පුලුවන් ඔය පරණ කතා අදිනවට. අන්න ඒ නිසා, පරණ පෙම්වතා හෝ පරණ පෙම්වතිය හම්බවුණා කියලා පරණ කතා හැම දෙයක්ම ඇදලා නොගන්න එක නුවණට හුරුයි.
06. මොකක්ද මගේ තිබ්බ අඩුව?
දැන් ඔය පරණ කතා ගැන කියනකොට එතන තව කාරණයක් තියෙනවා. දෙන්නා ඉස්සර කොච්චර ලව් එකේ හිටියත් දැන් වෙන් වෙලා නේ. එතකොට, හරියටම නිශ්චිත හේතුවක් නිසා වෙන් නොවුනානම් “මොකක්ද වෙන්වෙන්න මගේ තිබ්බ අඩුව” කියලා එක්කෙනෙක්ට හරි හිතෙන්න පුළුවන්. හැබැයි ඒකට උත්තර හොයාගන්න හොඳම වෙලාව, මෙය අහම්බෙන් හම්බුන මොහොත නෙවෙයි කියන එක මතක තියාගන්න. විශේෂම කාරණය මේකයි. දෙන්නා අහම්බෙන් හම්බෙලා හොඳට හිනා වෙලා කතාබහ කරනවා නම්, අතීත සම්බන්ධතාවය ඇතුලේ තිබුන කුණු හාර අවුස්සන්න යන්න එපා. අතීතයේ තිබුණු සම්බන්ධතාවයේ මොනවා හෝ දෙයක් ගැන එකිනෙකාට චෝදනා කර ගන්න යන්නත් එපා. ඒවා නැතුව වර්තමානයේ කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා නේ. කතා කරන්නම දෙයක් නැත්නම්, බෙංගාල බොක්කේ අවපීඩන තත්ත්වය ගැන හරි කතා කරන්න.
07. අපි ආයෙ මුණ ගැහෙමු ද?
දෙන්නගෙම හිතේ කහටක් නැතිනම්, ආයෙමත් මුණ ගැහෙන එකේ වැරැද්දක් නැහැ. හැබැයි, සාමාන්‍ය යාළුවෙක්ව මුණගැහෙන්න තීරණය කරනවට වඩා, මෙතැනදී අපිට දෙපාරක් හිතන්න වෙනවා. හේතුව මේකයි. මොනව වුණත් මේ ඉන්නේ අපේ පරණ පෙම්වතා නැත්නම් පරණ පෙම්වතිය. දෙන්නටම ඉතිහාස කතාවක් තියෙනවා. එතකොට දෙන්නගේ වර්තමාන ජීවිතයේ ඉන්න අයට, මේ පරණ කතාවලින් මොනවගේ බලපෑමක් වෙන්න පුලුවන්ද? අන්න ඒ ගැන හිතලා මතලා තමයි, ආයෙමත් මුණගැහෙනවද කියන එක ගැන තීරණය කරන්න ඕන. අපි කියන්නේ මෙතනදී හෝමෝන වලින් හරි හැඟීම්වලින් හරි හිතන්නේ නැතුව, බුද්ධියෙන් තමයි හිතන්න ඕන. ඒකට අදාළ වෙන තව කාරණාවක් තියෙනවා. ඒක අපි ඊළඟ පොයින්ට් එකේ කියනවා.
08. අපි ආයෙත් බඳිමුද කතා පරිස්සමෙන්
දැන් පරණ පෙම්වතා හෝ පරණ පෙම්වතිය මුණ ගැහුනම, වෙන්න පුළුවන් දෙයක් තමයි අතීතයේ තිබුණ ආදර හැඟුම්, අනුරාගී හැඟුම් උඩට එන එක. ඒක සාධාරණ මනුස්ස ගතියක්. හැබැයි අපි උඩ කිව්වා වගේ මෙතනදී තනිකරම මොළයෙන් හිතලා බලන්න ඕනා. එහෙම කියන්න හේතු මේවා තමයි. වැදගත්ම දේ, එක පාරක් දෙන්නා ආදරේ කරලා දැන් වෙන් වෙලා ඉන්නේ. එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා හිතලා බලන්න ඕනේ. දෙන්නගේ නොගැළපීම හින්ද නම් එකපාරක් වෙන්වෙන්න සිද්ධ වුණේ, මේ වෙනකොට ඒවා ගැලපිලා තියෙයි කියලා හිතන්න බැහැ නේ. සමහරවිට, ඒ කාලේ මුහුකුරා ගිහිල්ලා තිබ්බේ නැති නිසා නම් වෙන්වුණේ, මේ වෙනකොට සමහරවිට ඒවා හරි ගිහිල්ලා තියෙන්න පුළුවන්. එතකොට තවත් කාරණයක් තමයි, මේ මොහොතේ අපේ ජීවිතේ කවුරුහරි ඉන්නවා නම්, එතකොට ප්‍රශ්න ගොඩක් හැදෙන්න පුළුවන්, පරණ කෙනා එක්ක මොනවා හරි පටන් ගැනීමෙන්. අන්න ඒ නිසා, මෙතනදිත් හැඟීම්වලින් හරි හෝමෝන් වලින් හරි තීරණ ගන්නෙ පරිස්සමෙන්.
දැන් මේ කියපු දේවල් හරි යයිද? ඒක අපි දන්නේ නෑ. හැබැයි මතක තියාගන්න. ඔබේ පරණ පෙම්වතා හෝ පෙම්වතිය කියන්නේ, ඔබේ ජීවිතය එක පරිච්ඡේදයක්. ඒක ඉවර වුණු පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. හැබැයි අපිට එහෙම කෙනෙක් අපේ ජීවිතේ හිටියේ නෑ කියලා හිතාගෙන ජීවත් වෙන්න අමාරුයි. කරන්න තියෙන්නේ මිනිස්සු වගේ හමුවෙලා, සුහදතාවයෙන් කතාබස් කරලා, දෙන්නත් එක්ක යාළුකමක් ඇතුව හරි නැතුව හරි වර්තමානයේ තමන්ගේ ජීවිතය ජීවත් වෙන්න. මේ වගේ දෙයක් දිහා මනුස්සකමින් බලන තරමට, ඒක අපේ ජීවිතයට හොඳයි.
Leave a Reply