ලංකාවේ අන්ධ අධ්‍යාපනය ගැන කරුණු කිහිපයක්

දෑස නොපෙනෙන දෘෂ්‍යාබාධිතයින්ට අන්ධයා යැයි අපහාස කිරීම නොමනා දෙයකි. දෑස අඳ වුවත් ඔවුන් විවිධ අංශවලින් දක්ෂතා දක්වන පිරිසකි. නිරන්තරයෙන් අන්ධ සහ ආබාධිත අයට අනවශ්‍ය අවධානයක් දීමද නොමනාය. ඔවුන්ට සමාජගත වීමට අවශ්‍ය අවකාශය විවර කර දීම කල්පනාවෙන් කළ යුත්තකි. අපේ රටේ අන්ධ විද්‍යාල හරහා ඒ මෙහෙවර සිදු වේ. ඒ ගැන අපි කරුණු ටිකක් බලමු.

 

1. මේරි චැප්මන් සහ අන්ධ විද්‍යාල ආරම්භය

1901 ජන සංගණනය අනුව ලංකාවේ අඳ බිහිරි පුද්ගලයින් 3238ක් සිටියා. ඒ අයට අධ්‍යාපනය සපයන්න මේරි චැප්මන් මහත්මිය ඉදිරිපත් වුණා. පාසල මුලින්ම ආරම්භ වුණේ දෙහිවල පැත්තේ නිවසක. 1914 දී එවකට දානපති චාල්ස් ද සොයිසා මහතාගේ සොයුරකු විසින් රත්මලාන කඳවල අක්කර හයක ඉඩමක් අඳ බිහිරි විද්‍යාලයට දුන්නා. එය තවමත් අඳ බිහිරි විද්‍යාලයට ඉඩ හසර විවර කරනවා. මෙම ඉඩම මුල් කාලේදී ජලය බැස යාමේ ගැටළුවක් තිබුණ තැනක්. ඉතින් අවස්ථා කිහිපයකදී ඒ නිසා දරුවන් රෝගාතුර වුණා. මුල් කාලයේදී දරුවන් විස්සකට අඩු ප්‍රමාණයකින් පටන් ගත්තත් පසුකාලීනව මේ අඳ බිහිරි විද්‍යාලය දියුණු වෙලා, දරුවන් නේවාසිකව සිය අධ්‍යාපන කටයුතු වල නිරත වුණා. 

 

2. අඳ දරුවන්ට බ්‍රේල්

මුල් කාලයේ බ්‍රේල් ක්‍රමය තිබුණත් එය තිබුණේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට පමණයි. ඒත් පසුකාලීනව බ්‍රේල් ක්‍රම කිහිපයක් අත්හදා බැලීමෙන් පසුව ලාංකික දරුවන්ට ශ්‍රී ලංකා බ්‍රේල් ක්‍රමය 1960 ගණන් වලදි හඳුන්වා දුන්නා. වර්තමානයේදී මේ බ්‍රේල් ක්‍රමයට පොත පත කියවනවාට වඩා ඕඩියෝ බුක් හරහා අධ්‍යාපනය ලොව පුරා අන්ධ ජනයා අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ලංකාවෙත් දරුවන්ට එක්තරා කලකදී ඕඩියෝ කැසට් වගේ දේවල් අන්ධ අධ්‍යාපනයට යොදා ගත්තා.

 

 

3. ලා​ංකික අන්ධ පාසල් කෙරහි කේ. සී දසනායක මහතාගේ කැපවීම

කිංස්ලි. සී. දසනායක මහතා අන්ධ පාසලේ විදුහල්පති ධුරයට 1946 දී පත් වුණා. ඒ මහතාගේ කාල පරිච්ඡේදය අන්ධ විද්‍යාල ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබෙනවා. දසනායක මහතාගේ ක්‍රියාකලාපය විදෙස් රට වලිනුත් අන්ධ විද්‍යාලයට ආධාර උපකාර ලැබෙන්න හේතු වුණා. එතුමා දරුවන්ට සිංහලෙන් බ්‍රේල් කරන්න පහසුකම් හදා දුන්නා. ඒ වගේම සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ ආදිය සපයා දී අන්ධ දරුවන්ට ඉගෙනගන්න පහසුකම වැඩිදියුණු කළා. ජාත්‍යන්තර අන්ධ සංගම සමගත් සබඳතා තර කරගත් එතුමා ලංකාවේ අන්ධ අධ්‍යාපනය වෙනුවෙන් අලුත් විසඳුම් රැසක් ඉදිරිපත් කළා.

 

4. අඳ දරුවන්ගේ ක්‍රීඩා හැකියාව

අන්ධ දරුවන්ට ක්‍රිකට් ක්‍රීඩා කරන්නට පහසුකම්ද අන්ධ විද්‍යාලය ආශ්‍රිතව වැඩිදියුණු වුණා. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා 1997 දී අන්ධ විද්‍යාල ක්‍රීඩාංගණය පිළිසකර කර දුන්නා. මේ අන්ධ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්නේ ශබ්දය ඇසෙන බෝලයක් ආධාරයෙන්. අන්ධ අයට කරන්නට හැකි ක්‍රීඩා කටයුතු සීමා වුවත්, හැකි පමණ හෝ ඒ ක්‍රීඩා අවස්ථාවන් වැඩිදියුණු කරන්න අතීතයේදී අන්ධ විද්‍යාල පාලකයින් කටයුතු කළා.

 

5. ශාඛා සහ ව්‍යාප්ත වීම

 ආරම්භක කාලයේදි විවිධ බලපෑම් නිසා ලංකාවේ අඳ බිහිරි පාසල තැන් තැන්වලට ගෙනියන්නට සිදුවුණා. දෙවන ලෝක යුද සමයේ තිබුණ අවදානමත් සමග අඳ පාසල බෝම්බ ඉලක්කයක් විය හැකි නිසා එය යටියන්තොට දුම්රිය ගබඩා සංකීර්ණයකට ගෙන ගියා. ඉතා අපහසු තත්ත්වයන් යටතේ පවත්වාගෙන ගිය එය පසුව නැවතත් කොළඹටම රැගෙන ආවා. තංගල්ල, බලංගොඩ, මහනුවර දොඩම්වල, යාපනය සහ අනුරාධපුර යන ස්ථානවලත් දැන් අන්ධ පාසැල් පැවැත්වෙනවා. කෙසේ වෙතත් අන්ධ විද්‍යාලය පිට පළාත්වල තිබුණාට වඩා කොළඹට පැමිණීම තුළින් අන්ධ විද්‍යාලයට ලැබුණු ආධාර උපකාර ආදිය නම් ඉහළ ගියා.

 

6. දෘෂ්‍යාබාධිතයින් සමාජගත කිරීම

දෘෂ්‍යාබාධිත සෑම අයෙක්ම විවිධ ක්ෂේත්‍රවල දක්ෂයින් නොවේ. එහෙත් දෘෂ්‍යාබාධිත අය අතර දක්ෂයෝද රැසක් සිටිනවා. ලංකාවේද ඉහළට ඉගෙනගෙන නොයෙකුත් බාධක මැද උපාධිය ලබාගත් අය ද සිටිති. එමෙන්ම සංගීත අංශයේදී පියෝනෝ වාදකයින්, වයලීන වාදකයින් දෘෂ්‍යාබාධිත අය අතුරින් ඉදිරියට පැමිණ තිබේ. සම්පූර්ණයෙන්ම පෙනුම නොමැති වුවත් සුදු සැරයැටිය රැගෙන යන දෘෂ්‍යාබාධිතයින් හට යම්තාක් දුරකට පාරක තොටක ගමනක් යෑමට හුරු කරවන්නේ දෘෂ්‍යාබාධිත පාසැල් මගින් කරන මෙහෙයවීම් වලිනි.

 

7. දානපතියන් සහ මැදිහත් වීම්

ලංකාව වටා තිබෙන දෘෂ්‍යාබාධිත පාසැල් වලට වරින් වර විදෙස් ආධාර බහුලව ලැබේ. තංගල්ල අඳ බිහිරි පාසැලට පමණක් කාලාන්තරයක් තිස්සේ නෝර්වේ රටෙන්, බටහිර ජර්මනියෙන් ආධාර උපකාර ලැබී තිබුණි. ඒ වැනිම ලාංකික දානපතියන්ද දෘෂ්‍යාබාධිත පාසැල් වෙනුවෙන් නොයෙක් ආකාරයේ ආධාර, උපකාර නිබඳවම සිදු කරති. ඒ මගින් දෘෂ්‍යාබාධිත ප්‍රජාව සමාජගත කිරීමේ මෙහෙවර යම්තාත් දුරකට සාර්ථක වී තිබේ.

 

2018 වර්ෂයේදී රත්මලාන අන්ධ විද්‍යාල ඉඩම එහි පාලනාධිකාරිය විසින්ම වෙනත් කටයුතු සදහා විකිණීමේ තැතක් වාර්තා වුණි. තංගල්ල අඳ බිහිරි විදුහල 1989 කළබල සමයේදී බොහෝ අකටයුතුකම් වලට ලක් වුණු අතර බඩු බාහිරාදිය රැසක් සොරුන් විසින් රැගෙන ගොස් තිබුණි. මේ ආකාරයේ අනේකවිධ අභියෝග රැසක් තිබුණත් ලාංකික අන්ධ විද්‍යාල රැසක් තවමත් අපේ දෑස නොපෙනෙන ප්‍රජාවට මග හසර පෙන්වමින් සිටී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *