ආදරෙයි කියාගෙන එන බොරු කාරයෙකුගෙන් පරිස්සම් වෙන හැටි

ඔන්න ඉතින් පාසල් වයස් ඉවරවෙලා තරුණ වයසට එළඹුන ගමන් අපේ කොල්ලො කෙල්ලො හැමදෙනෙක්ම බලන්නෙ ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න. පාසල් වයසෙත් ප්‍රේම සම්බන්ධතා තිබුණට ඒ හුඟක් ඒවා තවකාලික, ඒ වෙලාවට හිතට එන පොඩි ආකර්ෂණයක් නිසා පටන් ගත්ත සම්බන්ධතානෙ. දැන් ඉතින් වැඩිහිටියන්ගෙනුත් ඒ තරම් චුරු චුරු නැති තරුණ වයසට ආපු නිසා රස්සාවක් වගේම පරස්තාවකුත් හොයාගන්න එක තමයි හුඟ දෙනෙකුගේ ටාගට් එක. විශේෂයෙන්ම ගැහැණු ළමයි. කොල්ලො ඔය ෆන් එකට කෙල්ලො කීප දෙනෙක්ම ආශ්‍රය කළාට කෙල්ලො නම් බලන්නෙ ස්ථිර ආදරවන්තයා හොයාගන්නෙ කොහොමද කියලයි. ඉතින් ඔය අතරෙ ආදරෙයි කියාගෙන එන බොරු කාරයෙකුට අහුවෙන්න තියෙන ඉඩ කඩත් බොහොම වැඩියි. ඉතින් අපි බලමුද මේ සත්‍ය ප්‍රේමයට මුවාවෙලා ඇවිත් කෙල්ලො රවට්ටන බොරුකාරයෙක් කලින්ම අඳුනගෙන එයාලගෙන් පරිස්සම් වෙන්න කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් ටිකක්. 

 

 

1. අවධානයෙන් ඉන්න

 

ඔය කොයි දේටත් මුලින්ම කරන්න ඕන හොඳ අවධානයෙන් ඉන්න එක තමයි ඉතින්. එහෙම නැතුව එන පළවෙනි කොල්ලටම ආලෙන් මුලා වෙලා, අන්ධ වෙලා ආදරේ කරන්න ගියොත් ඔය කොයි බොරු කාරයාටත් ඕන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා ඕනම ආදර සම්බන්ධයක් ගැන මුල්කාලෙ ටිකක් අවධානයෙන් ඉන්න ඕන. කොයි දේ දිහාත් සැකෙන් බලන්න කියන කාරණාව මෙතනදී වැරදි නැහැ. පෙම්වතා කරන කියන දේවල්, එයාගෙ වටපිටාව, යාළුවො යෙහෙළියෝ වගේ හැම කාරණාවක් ගැනම අවධානයෙන් ඉන්න. නොදැනෙන්න ටිකක් හොයල බලන්න. නිකන්ම බලාගෙන හිටියොත් ඔය කිසිම බොරුවක් අල්ලගන්නනම් බැහැ. 

 

 

2. බොරු අල්ලන ඇස්  

 

ඔය කොයි විදිහට බොරු කළත් කිසිම ජගතෙකුට ඇස වලින් බොරු කරන්නනම් අමාරුයි. අර සිංදුවකුත් තියෙන්නෙ “මා ඔබත් එක්ක සුහඳ කතාවක්, ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්” කියල. අන්න ඒ වගේ හමුවෙලා කතාබහ කරනකොට කෙලින්ම එයාගෙ ඇස් දිහා බලන්න. ඇස් දිහා බලාගෙන බොරු කියන්න, කෙලින්ම ඇස් දිහා බලාගෙන eye contact එක තියාගන්න බොරුකාරයින්ට හරිම අමාරුයි. ටිකක් අවධානයෙන් හිටියොත් ඉක්මනින් මේ හොරේ අල්ලගන්න පුළුවන්. ඒ වගේම තමයි අවංක නැති කපටි මිනිස්සු මුහුණට මුහුණ කතා කරද්දී සාමාන්‍ය අයට වඩා වැඩිපුර ඇහිපිල්ලම් ගහනව, වටපිට බලනව. අන්න ඒවත් ඇස් දිහා බලාගෙන හිටියොත් අල්ලගන්න පුළුවන්. 

 

 

3. පැටලෙන කතාව, අතිශයෝක්තිය

 

බොරු කියනකොට කොහොමත් පැටලෙනවනේ. ඉතින් පැටලී පැටලී කතා කරන අයියෙක් ආවොත් අන්න එයා අවංක නැහැ. කරන බොරුව තමන්ටවත් ෂුවර් නැති උනහම කාටවත් පැටලෙන්නෙ නැතුව කතා කරන්න අමාරුයි. ඒ වගේම තමයි අතිශයෝක්තිය. ඒ කියන්නෙ තමන් ගැන උවමනාවට වඩා ලොකු කරල කියවන එක. බොරුකාරයො එහෙමයි. හැමදේම හරි ලොකුවට පේන්න කියවනවා. ඉතින් ඔන්න ඔයාගෙ අළුත් පෙම්වතා හැමදේටම දක්ෂයි කියනවනම්, එයාට සල්ලි බාගේ උතුරන්න තියෙනව කියනවනම්, එයාට තියෙන වාහනේ ලොකූ එකක් කියනවනම්, අන්න ඒ වගේ එයාගෙ හැමදේම මහා පරිමාණයෙන් කියවනවනම් ටිකක් පරිස්සම් වෙන්න හොඳේ. 

 

 

4. Body Language

 

මනුස්සයෙකුගේ චරිත ලක්ෂණ, සිතුවිලි එහෙම හරියටම දැනගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ශරීර භාෂාව, එහෙමත් නැත්තම් body language එක කියන්නෙ. හරියටම කිව්වොත් මානව සන්නිවේදනයෙන් 85% ක්ම කටින් කියවෙන වචන වලට එහා ගියපු ශරීර ක්‍රියාවන්, ඉරියව්, හඬේ විලාසය සහ මුහුණේ මස් පිඬු හැසිරීම වගේ කාරණා කියලයි කියන්නේ. ඉතින් කටින් නොකිව්වත් එයා කරන බොරුව ඔයාට ඔය ශරීර භාෂාවට අවධානය යොමු කළොත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අනවශ්‍ය නොසන්සුන් බව, නිතර තදින් තොල් හැපීම, කතා කරන අතරේ අතින් කට වැසීම වගේ දේවල් බොරු කියන අයගේ ලක්ෂණ කියල තමයි කියන්නෙ.

 

 

5. නොගැලපෙන කතන්දර  

 

එයා කියන කතන්දර එකකට එකක් වෙනස්නම් ඔන්න එතනිනුත් බොරුව අල්ලගන්න පුළුවන්. හැබැයි මේක කරන්නත් අර මුලින්ම කිව්වා වගේ සෑහෙන්න අවධානයකින් ඉන්න ඕන. සාමාන්‍යයෙන් පවතින ඇත්තක් වගේ නෙමෙයි. මවල කියපු බොරුවක් මිනිහෙකුට මතක තියාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා අලුතෙන් කතාවක් කියද්දී කලින් කියපු බොරුව අමතක වෙලා වෙනම එකක් කියවෙන්නෙ පුළුවන් බොරුකාරයෙක්නම්. ඔන්න අවධානයෙන් හිටියොත් ටක්ගාල වැඩේ මාට්ටු.

 

 

6. පෞද්ගලික තොරතුරු එපා!

 

මුලින්ම කිව්වා වගේ අන්ධ වෙලා ආදරය කරන එපා. පටන් ගත්තෙ ප්‍රේම සම්බන්ධයක් උනාට පුද්ගලයා හරියට අඳුරගන්නකම්, හිතට විශ්වාසයක් ඇතිවෙනකන් ඔයාගේ පුද්ගලික තොරතුරු එයාට කියන්න යන්න එපා. එයා බොරුකාරයෙක්නම් කීයටවත් එයාගෙ ඇත්ත පුද්ගලික තොරතුරු ඔයාට කියන එකක් නැහැ. හැබැයි ඔයා කියන ඔයාගේ පුද්ගලික තොරතුරු වලින් අයුතු ප්‍රයෝජන ගන්න එයාට පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න. ටික කාලයක් යනකන් ඇත්ත තොරතුරු හැංගුවට කමක් නැහැ.

 

 

7. සහජ ඉවට ඉඩ දෙන්න

 

ආදර සම්බන්ධතාවයක් විතරක් නෙමෙයි, ඕනම කාරණාවකදී තමන්ගේ යටි හිත එක එක දේවල් කියනවනෙ. ඒ දේවල් හැම වෙලාවෙම හරියන්නෙ නම් නැහැ තමයි. හිතටත් සෑහෙන්න වරදින වෙලාවල් තියෙනවා. එත් මේ වගේ කාරණයකදිනම් යටිහිත කියන දේට ටිකක් ඇහුන්කන් දෙන්න වෙනව. හිතට සැකයක් ඇතුල්වෙන්න හදනවනම් බය නැතුව ඒ සැකයට ඉඩ දෙන්න. ස්ථිර ප්‍රේම සම්බන්ධතාවයකදී හරි විවාහයකදී හරි සැකය කියන්නෙ නරකම හතුරෙක් උනාට මේ වගේ වැට උඩ තියෙන කාරණාවකදීනම් සැකය ලොකු ලොකු උදව් කරනව. ඒ යටි හිතට පුළුවන් ඔයාව වෙන්න තියෙන ලොකු අනතුරකින් බේරගන්න. හිතට නරකයි, අමුතුයි කියල තියෙන තැන් තියෙනවනම් බය නැතුව ප්‍රශ්න කරල නිරවුල් කරගන්න. එහෙමත් නැත්තම් හොරෙන් හරි ටිකක් වැඩිපුර හොයල බලන්න.