හැඟීම් ගැන පුංචි ළමයින්ට කියල දෙන්නෙ කොහොමද?

පුංචි දරුවෙක් කියල කියන්නෙ දෙමව්පියන්ගේ කරපිට පැටවෙන මහා ලොකු වගකීම් සමුදායක්. කවල පොවල, ලස්සන ඇඳුම් පැළඳුම් අන්දලා තිබ්බටම මදි. අධ්‍යාපනය, විනය වගේ තව කොයිතරම්නම් දේවල් තියෙනවද සමාජයට පොඩි දරුවෙක් මුදාහරින්න කලින් ලබාදෙන්න අවශ්‍ය. ඉතින් මේ කියන්න යන්නෙත් ඒ වගේ තවත් ලොකු වැඩක් ගැන. 

දරුවෙක් කියන්නෙ කිසිම දෙයක් නොදැන මේ ලෝකෙට එන පුංචි ජීවියෙක්. ඉතින් අපි තමයි ඔවුන්ට ජීවිතේ හැම පාඩමක්ම එකින් එක කියල දෙන්න ඕන. කොටින්ම ඔවුන් තමන්ට දැනෙන හැඟීම් මොනවද? ඒවා වර්ග කරල තේරුම් ගන්නෙ කොහොමද? ඒවා පිටකරන්නෙ කොහොමද කියන කාරණාවවත් දන්නෙ නැහැ. ඉතින් ඒ ගැන හොඳ සංයමයකින් කියල නොදුන්නොත් ඔවුන් හරි හමන් සංවේදනයන් නැති පරපුරක් බවට පත්වෙන්නත් බැරි නැහැ. ඒ නිසා අපි කතා කරමු පුංචි දරුවන්ට ඔවුන්ට දැනෙන හැඟීම් දැනීම් වෙන් කරල තෝරා බේරාගන්න කියල දෙන්නෙ කොහොමද කියල.

 

1. ඇයි හැඟීම් හඳුනා ගැනීම වැදගත්

ඔන්න කලිනුත් කිව්ව වගේ හැඟීම් දැනීම් හඳුනා ගැනීම කියල කියන්නෙ අතිශය වැදගත් ජීවන කුසලතාවයක්. තමන්ගේ හැඟීම් අඳුරගෙන එදිනෙදා ජීවිතය ගතකරන්න වගේම සමාජයේ අනිත් අයගේ හැඟීම් ඇඳුරගෙන සහකම්පනයෙන් යුතුව ජීවත් වෙන්නත් මේ හැඟීම් වෙන් කරලා හඳුනා ගැනීමේ කුසලතාවය බොහොම වැදගත්. එහෙම සහකම්පනයක් නැති මිනිසුන් සමාජයේ වැඩිවෙනකොට තමයි නිතර නිතර අහන්න ලැබෙන අහස පොළොව නුහුලන අපරාධ සිද්ධ වෙන්නෙ. මොකද තමන්ට දැනෙන දුක වේදනාව කියන දේවල්ම අනිත් මිනිස්සුන්ටත් ඒ විදිහටම දැනෙනවා කියල මේ අපරාධකාරයෝ දන්නේ නැහැ. ඔවුන්ට ඒ ගැන අවබෝධයක් පුංචි කාලේ ඉඳලම ලැබිල නැහැ.

අනිත් කාරණේ තමයි හැඟීම් පිටකරන හැටි හරිහැටි නොදන්නා සමාජයක් බිහිවීම. ඔය අපි පරණ පුරුද්දට “පිරිමි ළමයිනම් අඬන්න හොඳ නෑ” කියල තහංචි දානව නේද? ඒ කරන්නෙ නිදහසේ හැඟීම් පිටකිරීමට වාරණ දැමීමක්. ඒකෙනුත් වෙන්නෙ හැඟීම් හිරකරගෙන ඉඳලා වෙන වෙන ආකාර වලින් ඒ පීඩනය පිටකරන මිනිසුන් බිහිවීම. ඉතින් ඔය කාරණා ඔක්කොම නිසා හැඟීම් හඳුනා ගැනීම සහ ඒ ගැන කියාදීම හරිම වැදගත් කාරණාවක්.

 

 

2. නම් කියාදෙන්න

දරුවා පුංචි කාලෙ ඉඳලම ඔහුට හෝ ඇයට දැනෙන හැඟීම් වෙන වෙනම හඳුන්වා දෙන්න ඕන. ඒ නම් වලින්ම ඒ දේවල් කියල දෙන්න. දුක හිතිලා අඬන වෙලාවට “බබාට දුකද?” සතුටින් ඉන්න වෙලාවට “බබාට සතුටුද?” වගේ දේවල් නිතර දරුවා එක්ක කතා කරන්න. නිතර නිතර ඇති නොවෙන හැඟීම්, ඒ කිව්වෙ බය, කුතුහලය, පුදුමය වගේ හැඟීම් ගැන පවා පුළුවන් හැම වෙලාවකම දරුවාට කියාදෙන්න. ඒ ඒ හැඟීමට අදාළ ඒ නමම හැකිතාක් භාවිතා කරන්න. දරුව පුංචියි කියල නිකන් මුහුණෙන් පිටකරන හැඟීම් අනුකරණය කරලා විතරක් ඒ අවස්ථාව ඉවර කරන්න එපා. අදාළ නම් නිතර භාවිතා කරන්න. එතකොට වයසින් වැඩෙනකොට බබා ඉබේම හුරු වෙනවා ඒ නම් වලට.

 

 

3. චරිත සම්බන්ධ කරන්න

දුක, සතුට, තරහ වගේ කාරණා දිනපතා මුහුණ දෙන්න වෙන හැඟීම් උනාට කුතුහලය, පුදුමය වගේ දේවල් එහෙම දිනපතාම දැනෙනවා අඩුයිනේ. ඉතින් ඒ නිතර නිතර කතාබහට ලක්නොවෙන හැඟීම් විස්තර කරන්න දරුවා හුඟක්ම ආස කාටුන්, කතන්දර, පොත් වගේ දේවල්වල චරිත භාවිතා කරන්න පුළුවන්. ඒ අවස්ථාව පෙන්නලා එයාට දැනෙන හැඟීම ගැන විස්තර කරන්න පුළුවන් කතාව අතරතුරම. 

 

 

4. ගීත භාවිතා කරන්න

පුංචි බබාලා හරිම ආසයිනෙ සින්දු වලට. කොහොමත් ගීතයන් මඟින් කියවෙන දේවල් එයාලට මතක හිටින ප්‍රමාණයත් බොහොම ඉහළයි. ඉතින් මේ හැඟීම් හඳුන්වාදීම, විස්තර කිරීම කියන දේටත් ගීතම භාවිතා කරන්න පුළුවන්. එක එක හැඟීම් ගැන කියවෙන සිංහල, ඉංග්‍රීසි ගීත ඕනතරම් තියෙනවනේ. ඒ ගීත කියනකොට ඒවගේ හැඟීම් ගැනත් විස්තර කරන්න. එතකොට ගීතය අහන හැම පාරම ඒ ගැන දරුවාට මතක් වෙනවා. 

 

 

5. අන් අයගේ හැඟීම් ගැනත් කියාදෙන්න

ඊළඟට වැදගත්ම දේ තමයි තමන්ට දැනෙන හැඟීම් ඒ විදිහටම අනිත් අයටත් දැනෙන බව කියාදෙන එක. එතකොට තමයි අනිත් මිනිසුන් දිහා සංවේදීව බලන පරම්පරාවක් බිහිවෙන්නෙ. මුලින්ම දරුවා තමන්ට දැනෙන හැඟීම් වෙන් වෙන්ව හඳුනාගත්ත කියල තහවුරු උනාට පස්සෙ අනිත් අයගේ හැඟීම් ගැන කියල දෙන්න පුළුවන්. මේකට මිනිස්සු විතරක්ම නෙමෙයි, අවට පරිසරයේ ඉන්න සතුනුත් යොදාගන්න. සත්තු, පරිසරය ගැනත් සංව්දී දරුවෙක් බිහිකරන්න පුළුවන් වෙන්නෙ එහෙමයි. එක එක මිනිස්සුන්ට වගේම “අන්න බලන්න පුතේ අර පූසට දුක හිතිලා” වගේ පොඩි පොඩි දේවල් බබා එක්ක කතා කරන්න පුළුවන්. 

 

 

6. හැඟීම් පිටකරන හැටි කියාදෙන්න

වැදගත්ම කාරණය තමයි හැඟීම් පිටකරන විදිහ කියාදෙන එක. දුකට, වේදනාවට අඬනව වගේම තරහ පිටකරන හැටි, තරහ පාලනය කරන හැටි, නිදිමත හඳුනගන්න හැටි, පුදුමය පළකරන හැටි වගේ දේවල් කියල නොදුන්නොත් පසුකාලීනව තනි පුද්ගලයෙක් විදිහට සමාජයේ ජීවත්වෙන එක දරුවාට අපහසුවක් වෙනවා.

 

 

7. ඔබේ හැඟීම් ගැන නිතරම කියන්න

අර ඉංග්‍රීසි කියමනක් තියෙන්නෙ “Monkey See, Monkey Do” කියල. දරුවො එහෙමයි. ඒ කියන්නෙ දරුවන් අනුගමනය කරන්නෙ ඔවුන් දෙමව්පියන්ගෙන් දකින දේවල්. ඒ නිසා හැමවෙලාවෙම ඔබේ හැඟීම් ගැනත් දරුවාට කියන්න. එයා එක්ක ගත කරන වෙලාවේ සිදුවෙන සිදුවීම් එක්ක “අම්මට රිදුනා, තාත්තට දුක හිතුණා” වගේ කතාබහ එක්කම එදිනෙදා ජීවිතය් සිදුවෙන සිදුවීම් නිසා ඔබට දැනෙන හැඟීම් ගැනත් විවෘතව දරුවා එක්ක කතා කරන්න. නිවස ඇතුළෙදි වගේම පිටතදී සිදුවෙන සිදුවීම් එක්කත් හැඟීම් ගලපාගන්න ඔවුන් ඉගෙනගන්නෙ එතකොටයි.