ඊජිප්තුවේ සුන්දරම රැජිණ හට්ෂෙප්සුට් ගේ පුදුම හිතෙන ජීවිත කතාව

Hatshepsut

ඊජිප්තුවේ හයවන පාරාවෝ ලෙසද ඒ වගේම ඊජිප්තුවේ දීප්තිමත් යුගය නිර්මාණය කළ කාන්තාවක ලෙසද හට්ෂෙප්සුට්යාව හඳුන්වලා දෙන්න පුළුවන්. ඇය වසර 22 ක් තම පාලනය ගෙන ගියා. ඇයගේ පාලන කාලය තමයි ඊජිප්තුවේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ. කාන්තාවක් විදිහට මෙවැනි දීර්ඝ කාලයක් රජ කළ ඇය ගැන කතා කරන්නයි lifie අපි සූදානම් වෙන්නේ.

01. ඇයගේ උපත

Hatshepsut

කාන්තාවන් අතර ඉහළම කාන්තාව යන අර්ථයෙන් යුතු ඇති නමක් වන හට්ෂෙප්සුට් කියන නම භාවිතා කල හට්ෂෙප්සුට් රැජිණ උපත ලබන්නේ ක්‍රිස්තු පූර්ව 1507 පමණ කාලයේ ඊජිප්තුවේ. පළමුවන තුත්මෝස්ගේ සහ අහ්මෝස් තමයි ඇයගේ දෙමව්පියන්. ඇගේ කුඩා කාලය ගෙවී ගියේ පියාගේ දැවැන්ත යුධ මෙහෙයුම් මධ්‍යයේ. ඇය කුඩා කාලයේ සිටම හොඳින් අධ්‍යාපනය හා සටන් කලාව හදාරලා තියෙනවා.

02. ඇයගේ විවාහය

Hatshepsut

ඊජිප්තුවේ සුන්දරම රැජින, ඒ වගේම ඉතාම සුරූපී තියුණු දෑස් ඇති, එක් බැල්මකින් ඕනෑම කෙනෙක් වශී කරගන්න පුළුවන් විදිහේ කාන්තාවක් වු හට්ෂෙප්සුට්. තරුණ කාලයේදීම තමයි විවාහ වෙන්නේ. ඇයගේ ආදර වන්තයා වුනේ තම පියාගේ තවත් බිසවකගේ පුතෙකු වූ දෙවන තුන්මෝස්. මොහු පිළිබඳ එකකට එකක් වෙනස් කතා තියෙනවා. ඒ තමයි මේ දෙවන තුන්මෝස් රාජකීය කුමරෙකු නොවන බවත් ඔහු පළමුවන තුත්මෝස්ගේ අනියම් බිරිඳකගේ පුතෙකු බව. නමුත් තවත් තැනක සඳහන් වන්නේ ඔහු රජුගේ වෙනත් බිසවකගේ පුතෙකු බවයි. කෙසේ නමුත් අවසානයේ ඔවුන් පවසන්නේ දෙවන තුත්මෝස් ඇයව විවාහ කරගන්නේ ඔහුට රජ කම ලබා ගැනීමට අවශ්‍ය වූ නිසා බව. තවත් සමහරුන් සඳහන් කරන්නේ ඇයව බලෙන් විවාහ කර ගත් බව.

කෙසේ වුවත් ඇය ඔහු සමග හොඳින් ජිවත් වුනා. ඇය නිතරම තමන්ගේ ඇඳුම් ගැන සහ රූපය ගැන සැලකිලිමත් වූ කෙනෙක්. මේ නිසාම රජු සමග ඇය මාලිගයෙන් පිටතට ගිය හැම විටම සාමාන්‍ය ජනතාව, රජු දෙස නොබලා ඇය දෙසම බැලූ බව ඊජිප්තුවේ පුරාන කතා තුළ සඳහන් වෙනවා.

03. ඇය බලයට පැමිණීම

Hatshepsut

දෙවන තුත්මෝස් රජ වී වැඩි කලක් ජිවත් වුනේ නෑ. ඔහුගේ මරණයෙන් පසුව රජ වෙන්න පරම්පරාවෙන් පත්වෙන්න තිබුනේ දෙවන තුත්මෝස් ගේ වෙනත් බිරිදකගේ පුතෙකු වූ තුන්වන තුත්මෝස්ට. නමුත් ඔහුගේ වයස අවුරුදු 2ක් පමණ වුනා. මේ නිසා හට්ෂෙප්සුට් රජ කමට පත් වෙනවා. ඒ වගේම ඇය තුන්වන තුත්මෝස්ව හොඳින් ඇතිදැඩි කරන්නටද පොරොන්දු වෙනවා. ඇය ඔහුට සලකන්නේ ඇයගේම දරුවෙකු විදිහට. මේ විදිහට කුමරා රාජ්‍ය බලය මෙහෙය වීමට සුදුසු කාලය එනතෙක් ඇයට රජකම භාර දෙනවා. කෙසේ වෙතත් ඇය සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනය ඇගේ බාරයට ගත් බවත් වාර්තා වෙනවා. මිසර ශිෂ්ටාචාරයේ හමුවන දෙවන පාරාවෝ රැජින වන්නෙත් ඇයමයි. ඒ විදිහට ඊජිප්තුවේ දහටවන වන රාජ්‍ය වර්ෂයේ 6 වන පාරාවෝ පාලිකාව ලෙසත් ඇයව හඳුන්වා දෙනවා. ඇය රාජ්‍යත්වය ලබාගත් කාල වකවානුව පිලිබඳ වාර්තා වල නොගැලපීම් රැසක් පවතින නිසා ආසන්න වශයෙන් ක්‍රි.පූ. 1478 හෝ 1479 වන වර්ෂයේදී පමණ රාජ්‍ය පාලනය ලබා ගන්නට ඇතැයි සැලකෙනවා. වසර ගණනාවකට පස්සේ මිසර පාලනය රැජිනක් අතට පත්වීම එවකට සිටි පුරුෂ සේනාධිපතිවරුන්ට සහ මැති ඇමති වරුන්ට විශාල ගැටළුවක් බවටයි පත්වුනේ. මේ හින්දා ඔවුන් කුමරාට රාජ්‍ය පාලනය ලබා දී ඒ වෙනුවට බාරකාර ඇමති මණ්ඩලයක් පත් කිරීමට උත්සහ කළ අතර එයට කුමරාගේ මව් බිසවත් හවුල් වී තිබුනා. හැබැයි හට්ෂෙප්සුට් රැජිණ මේ සියල්ල මැඩ පැවැත්වූ අතර ඇය රාජ්‍ය පාලනය ඇරඹුවේ දිගු දැක්මක් සහිතවයි. රාජ්‍ය නායිකාවක් විදිහට ඇගේ වීරත්වය කැපී පෙනුන තවත් විශේෂ සිදුවීම් කීපයක් තියෙනවා. ඇය අවස්ථා ගණනාවකදී ආක්‍රමණවලට එරෙහිව නැගී සිටියා. ඒ අතර දරුණු ආක්‍රමණ රැසක් වැලැක්වීමටත් ඇය නායකත්වය සැපයූවා. ඇගේ විදේශ ප්‍රතිපත්තියත් බොහෝ විට සාමකාමී වුනා.

04. ඇයගේ පාලනය

Hatshepsut

ඇයගේ පාලන සමය තමයි ඊජිප්තුවේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකි වන්නේ. ඒ වගේම පීතෘ මූලිකත්වයට අභියෝග කිරීමට තරම් ඇයගේ පාලනය ප්‍රභල වුනා. ඇය තමන්ගේ රජකමට නිසි වටිනාකම් ලබා දීපු කාන්තාවක්.

ඇය තම ස්වාමිපුරුෂයාට රැජිනක් ලෙස ප්‍රබල භූමිකාවක් ගෙන ඇති අතර ඇය පාරාවෝ බවට පත්වන විට ඇගේ රාජධානියේ පරිපාලනය පිළිබඳ මනා පළපුරුද්දක් ලබා සිටියා. ඇයගේ නායකත්වයට අභියෝගයක් ඇති බවට කිසිදු ඇඟවීමක් නොමැති අතර,ඇය මිය යන තුරුම,මිත්‍රශීලී ලෙස ඇගේ බලවත් හමුදාවට නායකත්වය ලබා දුන්නා.

හට්ෂෙප්සුට් රැජින අවුරුදු 22 ක් වගේ දීර්ඝ කාලයක් ඊජිප්තුව පාලනය කලා. ඇය මෙතෙක් ඊජිප්තුවේ රාජ්‍යත්වය දරපු අනිකුත් රජ වරුන්ට වඩා තමන්ගේ රට ගැන, ජනතාව ගැන සොයා බලප රැජිනක්. ඇය තම රටේ ජනතාවගේ ජන ජීවිතය සිය ඇසින්ම දැක ගන්න රට පුරා සංචාරය කළ බව සඳහන් වෙනවා. ඇයගේ පාලන සමය පිළිබඳ සමකාලීන වාර්තා විවිධ පුරාණ මූලාශ්‍රවල ලේඛනගත කරල තියෙනවා. අද ඊජිප්තු විද්‍යාඥයන් සාමාන්‍යයෙන් එකඟ වන්නේ හට්ෂෙප්සුට් පාරාවෝගේ තනතුර දැරූ බවයි. ඇත්තෙන්ම ඉතිහාසඥ “කාරා කූනි” හට්ෂෙප්සුට් විස්තර කරන්නේ “සෞභාග්‍යයේ සහ ව්‍යාප්තියේ කාලයකදී පුරාණ ඊජිප්තුවේ රජු ලෙස බලයට පත් එකම කාන්තාව හට්ෂෙප්සුට් බවයි.”

05. ඇය කළ වැදගත් සේවාවන්

Hatshepsut

හට්ෂෙප්සුට් විසින් ඊජිප්තුවේ හික්සෝස් ආක්‍රමණයේදී කඩාකප්පල් වූ වෙළඳ ජාලයන් නැවත ස්ථාපිත කළා. මේ නිසා ඊජිප්තුව සතු ධනය වැඩි දියුණු කළ බව සඳහන් වෙනවා. ඇය එවකට සමකාලීන රටවල් සමග කිට්ටු සම්බන්ධකම් පැවැත්වූ බව සඳහන් වෙනවා. ඇය පන්ට් නම් දේශය සමග වෙළඳ ගනුදෙනු පැවැත් වූවා. ඒ වගේම මිත්‍රකම් පැවැත්වූවා. පන්ට් වෙත වෙළඳ ගවේෂණ සිදු වූයේ හට්ෂෙප්සුට්ගේ පාලන සමයේ නවවන අවුරුද්දෙදි. ඇගේ නමින් නැව් පහක් මේ සදහා පිටත් කර යැවූ බව සඳහන් වෙනවා. මේ මගින් විශේෂයෙන් කට්ටකුමංජල් සහ සුවඳ ලාටු ඊජිප්තුවට ගෙන ඒමට ඇය සමත් වුනා. මේවායින් සුවඳ විලවුන් නිෂ්පාදනය කළ බව සඳහන් වෙනවා. ඒ වගේම වෙළඳුන් ලවා ඒවා ලෝකයේ අනිකුත් රටවලටත් බෙදා හැරිය බවත් සඳහන් වෙනවා. එහි සිට රත්‍රන්, ඇත්දල සහ වෙනත් දේවල් අරගෙන ආ බවත් සඳහන්. ඒත් එක්කම පුරාන ඊජිප්තුවේ පැවැති රූපලාවන්‍ය නිෂ්පාදන නැවත නිෂ්පාදනය කිරීම ඇය ඇරඹුවා. ඒ අතරම වෙළඳුන් ලවා ඒවා ලෝකය පුරා රටවල් ගණනාවකට බෙදා හරින්නටත් ඇය කටයුතු කළා. මෙවැනි රූපලාවහ්‍ය ආලේපන නිෂ්පාදනය පිළිබඳ ලෝක ඉතිහාසයේ හමුවන පැරණිම වාර්තාව ඇය පිළිබඳ විස්තරය වන බව සමහර විදෙශ වෙබ් අඩවි වාර්තා වල සඳහන් වෙනවා. ‍ඒ වගේම තමයි ඇය වෙනත් රටවලට තමන්ගේ දූතයන් පිටත් කර ඇති බවට රාජ්‍ය රැසක් තමග තමන්ගෙ සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට කටයුතු කළ බවටත් සඳහන් වෙනවා.

06. ඇය ඉදිකල ගොඩනැගිලි ව්‍යාපෘති

Hatshepsut

ඇයගේ පාලන සමයේ ඊජිප්තුවේ හැම ප්‍රදේශකයම එක ගොඩ නැගිල්ලක් හෝ ඉදි කළ බව සඳහන් වෙනවා. හට්ෂෙප්සුට් යනු පුරාණ ඊජිප්තුවේ වඩාත්ම සාරවත් ඉදිකිරීම්කරුවෙකු වූ අතර,ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව පුරා ඉදිකිරීම් ව්‍යාපෘති සිය ගණනක් ආරම්භ කරා. ඇය ඉදිකල ගොඩ නැගිලි ඇයගේ කාලයට ප්‍රථම ඉදි කළ ගොඩනැගිලි වලට වඩා විශාල වුනා. පසුකාලීනව,පාරාවෝවරු ඇයගේ සමහර ව්‍යාපෘති ඔවුන්ගේ යැයි පැවසීමට උත්සාහ කර බව කියවෙනවා. ඇය සිය පියා,ඇගේ සැමියා සහ රාජකීය භාරකරු සෙනෙන්මුට් වෙනුවෙන් සේවය කළ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පී ඉනේනි සේවයට ගත්තා. ඇගේ පාලන සමයේදී,ප්‍රතිමා රාශියක් නිපදවා ඇති අතර,ලෝකයේ පුරාණ ඊජිප්තු කෞතුක වස්තු සහිත සෑම ප්‍රධාන කෞතුකාගාරයකම පාහේ හට්ෂෙප්සුට් ප්‍රතිමාව ඔවුන්ගේ එකතුව අතර තියෙනවා.

බොහෝ පාරාවෝවරුන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරමින්,ඇය ලෝක ප්‍රසිද්ධ හට්ෂෙප්සුට් දේවාලය ඉදි කළා.

චැපල් රූට් දෙවොලත් විශේෂ දේවාලයක්. ඒ වගේම හට්ෂෙප්සුට් අල් මිනියාට දකුණින් පිහිටි මින්යා ආණ්ඩුකාර ප්‍රදේශයේ බෙනි හසන් හි පකෙට් දේවාලයත් ඉදිකලා. දේවමාළිගාවට ඇතුල් වන ස්ථානයේ ඉදිකරන ලද ඔබලිස්ක් නමින් හදුන්වන විශාල ගල් කනු විශේෂයක් ඊජිප්තුවේ අනන්‍යතාවය ලෙස සැලකෙන අතර මේ වගේ ඔබිලිස්කන් කීපයක්ම ඇය ඉදි කිරීමටත් මුල් වුනා. ඇය නයිල් නදියට නැගෙනහිරින් කදු ගැටයක රහසිගතව භූගත දේවස්ථානයකුත් ඉදි කලා. මේ දේවාලය පසුකලකදී මිසරයේ ක්‍රියෝපැට්රා රැජිනට අයත් වුනු ටොලිමියානු රාජවංශයේ පාලක පාලිකාවන් පවා වැඳුම් පිදුම් කළ සුවිශේෂී තැනක්. ඇගේ නියෝගයෙන් ඉදි කෙරුනු නිර්මාන නිසාවෙන් එවකට ඊජිප්තුව ඉතාම සුන්දරව දිස් වුනා. ඒ වගේම කර්නාක් දොවොල, හට්ෂෙප්සුට් මෘත ශරීරාගාරය, ස්පීස් ආටෙමිඩෝස්, චැපල් රූජ් දෙවොල, මිසර දෙව්දුවගේ ප්‍රතිමාව ඇය විසින් ඉදි කරන ලද විශිෂ්ට නිර්මාණය බව කියනවා.

බොහෝ පාරාවෝවරුන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරමින්,හට්ෂෙප්සුට්ගේ ගොඩනැඟිලි ව්‍යාපෘතිවල විශිෂ්ටතම කෘතිය වූයේ මෘත ශරීරාගාරයකි. ඇය Deir el-Bahri හි සංකීර්ණයක එය ගොඩනැගුවා.. එය සෙනෙන්මුට් විසින් නිර්මාණය කර ක්‍රියාත්මක කරන ලද්දේ නයිල් ගඟේ බටහිර ඉවුරේ පිහිටි භූමියක.

07. මරණය, භූමදානය සහ මමීකරණය

Hatshepsut

හට්ෂෙප්සුට් මිය ගියේ ක්‍රි.පූ. 1458 දී පමණ වන අතර, වයස 40 ගණන්වල මැද භාගයේදී. ඇයව තැන්පත් කරනු ලැබුවේ ඩීර් එල්-බහ්රි පිටුපස කඳුකරයේ පිහිටි කිංග්ස් නිම්නයේ (ටූටන්කාමුම්ගේ නිවසද). ඇගේ පාලන සමය නීත්‍යානුකූල කිරීමට තවත් උත්සාහයක් ලෙස, ඇය තම පියාගේ sarcophagus ඇගේ සොහොන් ගෙය තුළ නැවත තැන්පත් කරන කලා.

ඇයට පසුව තුන්වන තුත්මෝස් තවත් වසර 30ක් පාලනය කලා. ඔහුගේ පාලන සමයේ අගභාගයේදී, තුන්වන තුත්මෝස් සතුව හට්ෂෙප්සුට්ගේ පාලනය පිළිබඳ සාක්ෂි සියල්ලම පාහේ තිබිල තියෙනවා. ඇය විසින් ගොඩනඟන ලද විහාරස්ථාන සහ ස්මාරකවල ඇය රජු ලෙස දක්වන රූප ඇතුළුව – මුලිනුපුටා දාන්න, ඒ වගේම බලවත් කාන්තා පාලකවරියක ලෙස ඇයගේ ආදර්ශය මකා දැමීමට හෝ වසා දැමීමට රාජවංශයේ පිරිමි අනුප්‍රාප්තිකයන් උත්සහ කරා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පුරාණ ඊජිප්තුවේ විද්වතුන් 1822 වන තෙක් හට්ෂෙප්සුට්ගේ පැවැත්ම ගැන දැන සිටියේ අල්ප වශයෙන්. ඔවුන්ට Deir el-Bahri හි බිත්තිවල ඇති හයිරොග්ලිෆික්ස් විකේතනය කර කියවීම මගින් තමයි ඇය ගැන වැඩිදුර විස්තර සොයා ගත්තේ.

පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් 2007 දී ඇගේ මමිය සොයා ගත්තා. එය දැන් කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ තැන්පත් කර තියෙනවා. හට්ෂෙප්සුට්ගේ ප්‍රමාණයේ ප්‍රතිමාවක් නිව් යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ මෙි මොහොතේත් ප්‍රදර්ශනයට තියල තියෙනවා.

ඉතින් ලෝක ඉතිහාසයේ පුරුෂ ආධිපත්‍යය රැදුණු යුගයක සාර්ථකව පාලනයක් ගෙන ගිය තමන්ගේ ජනතාව වෙනුවෙන් ඉතාමත් සාධාරණ සහ කැප වීමකින් කටයුතු කළ රැජිණ ඇය. ඒ වගේම ඊජිප්තුව සුන්දර දේශයක් කළ වෙනත් රැජිණක් නොමැති තරම්. ඉතින් ඊජිප්තුවේ සංචාරයක නිරත වෙන ගමන් ඇය විසින් ඉදිකරනව ලද ස්ථාන නරඹන්නට ඔබටත් ආරාධනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *