ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones) අවසානයේදී අපිට ඉතිරි කරලා ගිය ප්‍රශ්න

සීසන් 8ක් පුරාවට රජ ගමනේ ඇවිල්ලා (සමහරුන්ට නම් සීසන් 6න් පස්සේ අවුල්ලු) අන්තිම සීසන් එකේදි වැඩේ අනාගත්ත ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැනයි මේ කතාව. මැදක් හරියෙදි ජෝර්ජ් ආර් ආර් මාර්ටින්ගේ නවකතාවෙන් පිට පැනලා ගමන් කළාට ගේම් ඔෆ්  ත්‍රෝන්ස් ටීවී සීරීස් එකේ ආතල් එක අඩුවුණේ නැහැ. නමුත් අවසාන සීසන් එකේ තිබ්බ තදියම්කාරී ගතියත් එක්ක සමහර චරිත සහ සිදුවීම් දිගහැරුණු විදිහ ගැන ප්‍රේක්ෂකයො වැඩි දෙනෙක්ගෙ මනාපයක් නම් නැති පාටයි. ඒ වගේම ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාව ඉවර වුණත්, තවමත් ඒ ප්‍රේක්ෂකයන්ගෙ හිතේ ඉතුරු වුණ ප්‍රශ්න ටිකක් තියනවා. අපි හදන්නෙ ඒවා ටිකක් තේරුම් බේරුම් කරගන්නයි.

හෝව් හෝව්! කියවන්න කලින් මේකත් කියන්න ඕනේ. ඔයා මෙතෙක් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි සීරීස් එක බලලා ඉවර නැත්නම් මේ ලිපිය කියවීමෙන් වැඩේ ස්පොයිල් වෙන එක අනිවාර්යයි. අන්න ඒ නිසා එහෙම අය කරුණාකරලා මේ ලිපිය කතා මාලාව අහවර වුණාට පස්සෙම කියවන්න.

 

1. ආර්යා සහ කොළ ඇස්

Image Source – ew.com

කවුරු කවුරුත් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු 8 වැනි සීසන් එකේ තුන්වැනි කතාංගය ‘ද ලෝංග් නයිට්’ අවසන් වෙන්නේ හිතපු නැති විදිහේ ෂොක් එකක් එක්ක. ලොකුම දුෂ්ටයා කියල කවුරුත් හිතන් හිටපු නයිට් කිංග් ආර්යා අතින් මැරුම් කෑම නිසා ඇති වෙච්ච ෂොක් එක ඉතාම ඉක්මනින් ඇල් මැරුණ ස්වභාවයකට පත්වුණේ ‘අපොයි! නයිට් කිංග්ගෙ චරිතේ හරි හැටි තේරුම් ගන්නත් කලින් අකල් මරණෙකට ගොදුරු වුණානෙ’ කියන හැඟීමත් එක්කයි. කොහොම වුණත් නයිට් කිංග්ගේ මරණයක් එක්ක ආර්යා ගැන පළවෙලා තිබ්බ අනාවැකියක් ආයෙත් උඩට ආවා. ඒ තමයි එයා දුඹුරු ඇස්, නිල් ඇස් සහ කොළ ඇස් තියන අයව මරණයට පත් කරන අනාවැකිය. ඉතින් දුඹුරු ඇස් තිබ්බ ෆ්‍රේ ලොක්කවත් නිල් ඇස් ඇති නයිට් කිංග්වවත් පරළෝ සැපත් කරවපු ආර්යා අන්තිම කොටසේදි කොළ ඇස් තියෙන කෙනෙක්ව මරණයට පත් කරනකම් කවුරු කවුරුත් බලන් හිටියා. සමහරු කිවුවා මේ කොළ ඇස් තියෙන්නෙ කලීසිට කියලා, සමහරු කිවුවා සර්සිට කියලා. කොහොම වුණත් අන්තිමේදි මේ හැම බලාපොරොත්තුවක්ම සුන් වුණේ ආර්යා ඒ කතාංගයේදි කිසිම හිංසාකාරී ක්‍රියාවක නිරත නොවුණු නිසයි.

එතකොට කොළ ඇස් කියන එකෙන් අදහස් වුණේ මොකක්ද?

මේකට අපිට දෙන්න තියන ආසන්නම උත්තරේ තමයි ආර්යා මේ වෙද්දි කොළ ඇස් තියෙන කෙනෙක්ව මරලා ඉවරයි කියන එක. එතකොට කා ගැනද මේ කියන්නෙ? වෙන කවුරුත් නෙමෙයි, ලිට්ල්ෆින්ගර් ගැනයි. ජෝර්ජ් ආර් ආර් මාර්ටින්ගෙ පොතේ හැටියට ලිට්ල් ෆින්ගර්ට තියනවාය කියන්නේ කොළ-අළු පැහැ මිශ්‍ර වෙච්ච ඇස්.

 

2. බ්‍රෑන්ට රජකම ගැලපෙයිද?

ඔන්න ඊළඟ දැවෙන ප්‍රශ්නෙ. අටලෝ දහමින් කම්පිත නොවී, සියලු කෙලෙස් සිඳ බිඳ දමල ආව වගේ පෙන්නුම් කළාට මොකද ටිරියන් රජ කමට යෝජනා කරපු ගමන්ම ‘මම පතාගෙන ඔතාගෙන ආවෙ මේකම තමා බ්‍රෝ!’ කියල බ්‍රෑන් ස්ටාර්ක් රජකම භාර ගන්නව. මේක මහ එපා කරපු ට්විස්ට් එකක් හැටියට හිතුණට ටිකක් කල්පනා කරල බැලුවොත් ඔයාලට වැඩේ භයානකකම තේරෙයි.

මෙහෙම හිතන්න, බ්‍රෑන්ට අතීතය වගේම යම් තරමකට අනාගතය දැකීමේ හැකියාවත් තියනවා. ඒ කියන්නේ බ්‍රෑන් තමන්ට රජකම උරුම වෙන බවත් දැනගෙන හිටියා කියන එකයි. ඒ විතරක් නෙමෙයි, කලීසී කරන මහා මිනිස් සංහාරයත් බ්‍රෑන් දැනගෙන හිටියා වෙන්න තමයි ඉඩ වැඩි. ඒත් පොර නිශ්ශබ්ද විලියම් වගේ ඉඳලා, මහා මිනිස් සංහාරයක් ඇති වෙලා, තමන්ගේ අර්ධ සහෝදරයා වරදකාරයෙක් සහ තමන්ගේ ප්‍රේමය මරා දමපු මිනීමරුවෙක් වෙනකන් බලං හිටපු එක හරිද කියන අවුල මතු වෙනවා. ඒක නෙමෙයි තියන ලොකුම ප්‍රශ්නේ. දැන් රජකම් කරගෙන යද්දී බ්‍රෑන්ට අනාගතේ පේන නිසා තමන්ට අවාසිදායක අවස්ථාවක් කලින් දැකලා ඒ දේ වෙනස් කරන්න වුණත් බ්‍රෑන්ට හැකියාව තියනවා. ඒ විතරක් නෙමෙයි අනිත් අයගේ ශරීර වෝග් කරන්න, ඒ කිවුවෙ පාලනය කරන්නත් බ්‍රෑන්ට හැකියාව තියනවා. ඒ අතින් ගත්තහම බ්‍රෑන්ට පුළුවන් වෙයිද සාධාරණ රජෙක් වෙන්න? ඔබ මොකද හිතන්නෙ?

 

3. ඩ්‍රෝගන් ගියේ කොහේද?

ජොන් ස්නෝ අතින් මැරුම් කාපු ඩැනේරිස්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරත් අරගෙන ඩ්‍රෝගන් ගියේ නිකන්ම නෙමෙයි. අපිට නැත්නම් තොපිටත් නෑ ලයින් එකෙන් අයන් ත්‍රෝන් එක ගින්නෙන් දිය කරල ඇරලයි ගියේ. අවසාන කතාවේ අන්තිමට අපිට අහන්න ලැබෙනවා ඩ්‍රෝගොන් නැගෙනහිර දිසාවට පියාඹා යද්දි තමයි අන්තිමට දැක්කේ කියලා. ඒ කියන්නේ එසෝස් දිහාවට. ඒ දිශාවේ තමයි ඩැනේරිස් සහ මකරුන් තමන්ගේ ජීවිතේ සෑහෙන කාලයක් ගත කළේ. ඒ වගේම ටාගේරියන්වරුන්ගේ මුල් බිම් පිහිටලා තියෙන්නෙත් ඒ දිශාවේයි. ඒ නිසා අපිට හිතන්න පුළුවන් ඩ්‍රෝගන් ඩැනේරිස්ව අරගෙන යන්නේ ඇයට හොඳම මිහිදන් භූමියක් සොයාගෙන බව. ඒ වගේම අපිට හිතන්න පුළුවන් බ්‍රෑන් ස්ටාර්ක් අන්තිමේදි කිවුවා වගේ තමන්ගෙ හැකියාව යොදාගෙන ඩ්‍රෝගන්ව නැවත වෙස්ටරෝස් වලට ගෙන්නගන්නටත් වැඩි ඉඩක් තියේවි කියලා.

 

4. නයිට්ස් වොච් එකෙන් දැන් ඇති වැඩේ මොකක්ද?

Image Source – wetpaint.com

ඩැනේරිස්ව මරා දැමීමත්, ඊට පස්සේ ඇති කරගත්ත තාවකාලික සාමකාමී තත්ත්වයත් එක්ක ජොන් ස්නෝට පූර්ණ නිදහසක් ලැබීමේ ඉඩ ඇහිරෙනවා. ජොන් ස්නෝ නිසා නැවත යුද්ධයක් ඇති වෙන එක වළක්වන්න බ්‍රෑන් ස්ටාර්ක් ගන්න තීරණේ වෙන්නෙ ජොන් ස්නෝව නයිට්ස් වොච් එකට පිටත් කරල හරින එකයි. මේ තීරණෙත් එක්ක ගොඩ දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. නයිට් කිංග් ඇතුළු වයිට් වෝකර්ස් හමුදාව දැන් නැති නිසා නයිට්ස් වොච් එකෙන් මොනවා ආරක්ෂා කරන්නද කියන එක තමයි ඒ. එතකොට ජොන් ස්නෝව නයිට්ස් වොච් එකට පිටමං කරනවා කියලා බ්‍රෑන් කළේ ඒ මොහොතේදි ඇති වෙන ප්‍රශ්නය විසඳීමේ උපක්‍රමයක් හැටියට විතරද? එහෙම නැතුව නයිට්ස් වොච් එකේ කරන්න අහවල් කෙංගෙඩියක් නැද්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වගේම මේකෙ තවත් පැත්තකුත් තියනවා. ඒ තමයි බ්‍රෑන් ජොන් ස්නෝව නයිට්ස් වොච් එකට යැවුවේ හේතුවක් ඇතිවද කියලා? මොකද බ්‍රෑන් කියන්නේ අනාගතය ගැන හෝඩුවාවන් පවා දකින්න පුළුවන් පුද්ගලයෙක්නෙ. එතකොට මොකක්ද ජොන් ස්නෝව එහේ යවන්න හේතුව? වයිට් වෝකර්ස්ලාගේ තර්ජනය තවම ඉවර නැතුවාවත්ද?

 

5. ජොන් ස්නෝ ගියේ කොයිබටද?

කාසල් බ්ලැක් එකට වෙලා හිටහං කිවුවට මොකද කතාව ඉවර වෙන්නේ ජොන් ස්නෝ වයිල්ඩ්ලිංග්ස්ලා සෙට් එකත් පිරිවරාගෙන උතුර දිහාවට ගාටන සීන් එකකින්. මොකක්ද ජොන් ස්නෝගේ ගමනේ තේරුම? කොහේද මේ අය යන්නේ? උත්තරේ බොහොම සරළ එකක් වෙන්න තමයි ඉඩ වැඩි. කාලෙකට කලින් ජොන් ස්නෝ යිග්රෙට්ට කිවුවා වගේ මේ දේශපාලන බල අරගල වලින් ඈත් වෙලා නීවී හැනහිල්ලේ ඉන්න බලාගෙන යන ගමනක් වෙන්න පුළුවන් මේක. හැබැයි එහෙම හිතලා ගියාට මොකද මෑන්ස් රයිඩර්ගෙන් හිස්වුණ වයිල්ඩ්ලිං නායක පට්ටම ජොන් ස්නෝට හිමිවේවිද කියලත් අපිට නම් සැකයක් හිතුණා. වැඩේ කියන්නෙ ඒක නෙමෙයි, බැරි වෙලාවත් බ්‍රෑන් ස්ටාර්ක් ජොන් ස්නෝව නයිට්ස් වොච් එකට යැවුවේ අනාගත තර්ජනයක් දැකලානම්? එහෙනම් අනාතයි නේද සාන්ත?

 

6. වෙස්ටරෝස්වලට බටහිරින් මොනවා ඇද්ද?

ස්ටාර්ක්වරුන්ට බොහොම සතුටුදායක විදිහට ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසාන වෙද්දි, ආර්යා තමන්ගේ ඊළඟ පියවර හැටියට තෝරාගත්තෙ දේශ ගවේෂණය කරන එකයි. ගේම් ඔෆ් ත්‍රෝන්ස් සිතියම් වල සටහන් වෙලා නැති ඉසවුවක් ගවේෂණය කරන්න තමයි ආර්යා සූදානම් වෙන්නෙ. හරියටම කියනවනම් වෙස්ටරෝස් වලට බටහිර දිශාවට වෙන්න පිහිටලා තියෙන්නෙ මොනවද කියලයි ආර්යා හොයන්න යන්නෙ. සන්සෙට් සී නමින් හැඳින්වෙන මේ ප්‍රදේශය ගැන වැඩිමනක් තොරතුරක් නැතිම ගාණයි. තරණය කරන්නට අමාරුයි කියලා විශ්වාස කරන මේ සන්සෙට් සී එක තරණයට සූදානම් වුණ කිසිම කෙනෙක් නැවත තමන්ගේ මවු බිමට පය තියලා නම් නැහැ. බ්‍රැන්ඩන් ස්ටාර්ක් කියන ස්ටාර්ක්වරයාත්, එලිසා ෆාර්මෙන් කියන මුහුදු ගමනට ලැදි කාන්තාවත් තමයි මේ ප්‍රදේශය ගවේෂණය කරන්න ගිහින් තියන ප්‍රසිද්ධම චරිත දෙක. දූපත් තුනක් හැරෙන්නට වෙස්ටරෝස්වලට බටහිරට වෙන්න පිහිටලා තියන වෙනත් කිසිම දෙයක් ගැන මේ අයගෙ ගවේෂණ වලිනුත් හෙළිවෙන්නෙ නෑ. ඒ නිසා සමහරවිට ආර්යාගේ මේ ගමන මූලික කරගත්ත ගේම් ඔෆ් ත්‍රෝන්ස් ස්පින් ඕෆ් කතාමාලාවක් බිහිවුණොත් ඒක අති ජනප්‍රිය වෙන්නටත් බැරි නැහැ.

 

 

7. එලාරියා සෑන්ඩ්?

ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටීවී සීරීස් එක ඇතුළේ අන්තිම අසාධාරණයට ලක්වුණ රාජධානියක් තමයි ඩෝර්න් කියන්නෙ. සෝඩා බෝතලේ ඇරියා වගේ ගෑස් පෙන්නලා නිවිලා යන නිෂ්ක්‍රීය චරිත ටිකක් තමයි ටීවී සීරීස් එකේ ඩෝර්න් වාසීන්ගෙන් අපිට පෙනුනේ. ඒ අතරින් ඉතිරි වෙලා හිටපු අන්තිම පුරුකක් වුණ එලාරියා සෑන්ඩ්ට මොකද වුණේ කියන එකත් අභිරහසක්. සර්සිගේ හිරභාරයට පත්වෙලා හිටපු එලාරියාව මරා දැමුණේ නැහැ. අවසාන සටන වෙලාවෙදිත් ඇය ජීවතුන් අතර ඉන්න බොහෝ ඉඩ තිබ්බ බවක් තමයි අපට නම් හිතුනේ. ඒ වුණත් ඇයට අත්වුණ ඉරණම ගැනනම් කවුරුත් කියන්න දන්නේ නැහැ. ටීවී සීරීස් එක ඇතුළේ අනාත වෙලා හිටපු සමහර චරිත (එඩ්මියර් ටලී වගේ) එක පාරටම ප්‍රාදූර්භූත වුණත් එලාරියා චරිතය එහෙමම වාෂ්ප වුණ එක ගැන අපිට හිතන්න තියන්නේ ඩැනේරිස්ගේ පහරදීම් නිසා ඇය සිරකුටියේදීම මිය යන්නට ඇති කියල තමයි.

 

ඔයාලගෙ හිතෙත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසානය ගැන මේ වගේ ප්‍රශ්න ඉතිරි වුණාද? එහෙනම් ඒවා ගොඩින් තේරුමක් බේරුමක් කරගන්න අපිට කියන්න. මොන ප්‍රශ්න තිබ්බත් කමක් නෑ අන්තිමට ජොන් ස්නොයි ගෝස්ටුයි සෙට් වුණානෙ කියල සන්තෝසෙන් නම් ඉන්නේ මේ ලිපියට ලයික් කරන්න…

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *