මුස්ලිම්කරණයට ලක්වුණු බෞද්ධ රටවල්

මහාවංශයේ සඳහන් වෙලා තියෙන විදිහට බුදුහාමුදුරුවෝ පිරිනිවන් මංචකයේදී තමන් වහන්සේගේ ශාසනය මතු පවතින්නේ ශ්‍රී ලංකාවේ බව දේශනා කළාලු. මේ කතාව ත්‍රිපිටකයේ එන කතාවක් නොවන නිසා ගොඩක් අය පිළිගන්නේ නැහැ. නමුත් කලාපයේ ඉතිහාසය එක්ක බලද්දි මේ කතාව බුදුහාමුදුරුවෝ දේශනා කළා හෝ නැතත් ඒ කතාවේ ඇත්තක් නැත්තෙමත් නැහැයි කියලා පැහැදිලි වෙනවා. අපි බැලුවොත් බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරපු ඉන්දියාවෙන් බුද්ධාගම සියවස් කීපයකට පස්සෙ අතුගෑවිලාම ගියා. නමුත් අපේ රටේ අවුරුදු 2500කට වඩා අධික කාලයක් තිස්සේම බුද්ධාගම සුරක්ෂිතව පවතිනවා. බුද්ධාගම ඉන්දියාවෙන් අතුරුදහන් වෙලා යන්න හේතූ කීපයක් බලපෑවා. එක හේතුවක් වුණේ හින්දු ආගමේ බලපෑම, ඊට අමතරව ඊළඟ කාරණාව වුණේ මුස්ලිම් ආක්‍රමණ. මේ මුස්ලිම් ආක්‍රමණ නිසා සියලුම බෞද්ධ සිද්ධස්ථාන වගේම නාලන්දා වගේ විශ්ව කීර්තියට පත් වූ බෞද්ධ විශ්ව විද්‍යාල සියල්ලම පාහේ විනාශයට පත් වුණා. ඉන්දියා වගේම ඒ අවට තිබ්බ පැරණි බෞද්ධ රටවල් සියල්ලෙන්ම පාහේ බුද්ධාගම අතුරුදහන් වෙලා ඒ රටවල් ඉස්ලාම් රටවල් බවට පත්වුණා. ඉන්දියාවේ වුණත් අද වෙනකොට හින්දු බහුතරයට පස්සේ වැඩිපුරම ඉන්නේ මුස්ලිම් ජනතාව. මේ නිසා අපි අද හිතුවා අද වෙනකොට ඉස්ලාම් ආගම වැළඳගෙන තියෙන බෞද්ධ රටවල් කීපයක් ගැන කතා කරන්න.

 

1. ඉන්දුනීසියාව

ලෝකයේ විශාලතම මුස්ලිම් රාජ්‍යය මොකක්ද කියලා ඔයාගෙන් ඇහුවොත් ඔයා මොකක්ද දෙන උත්තරය? සමහරවිට සෞදි අරාබිය කියයි නේද? හැබැයි ඒ උත්තරේ වැරදියි. ලෝකෙ ලොකුම මුස්ලිම් රාජ්‍යය වෙන්නේ ඉන්දුනීසියාව. ඒ වගේම ලෝකයේ පිහිටි විශාලතම බෞද්ධ විහාර සංකීර්ණයක් පිහිටලා තියෙන්නේ කොහෙද කියලා ඔයාට අදහසක් තියෙනවද? උත්තරේ වෙන්නේ “බොරෝබුදුර්.” මේ විහාර සංකීර්ණය පිහිටලා තියෙන්නෙත් ඉන්දුනීසියාවෙමයි කියලා කිව්වොත් සමහරවිට ඔයාට පුදුම හිතෙයි. ඒත් ඒක තමයි ඇත්ත. ඒ වගේම ඉන්දුනීසියානු රජය සහ ජනතාව මේ විහාර සංකීර්ණයේ  ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. මොකද බොරෝබුදුර් කියන්නේ ඒ රටේ පිහිටි ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක්. දොළොස්වන සියවස දක්වාම ඉන්දුනීසියානු දූපත් වල ප්‍රධාන  ආගම් බවට පත්වෙන්නේ හින්දු ආගම සහ බුද්ධාගම. ජාවා සුමාත්‍රා වැනි දූපත් වල තවමත් විවිධ විහාර ආරාමවල නටබුන් හමු වෙනවා. නමුත් වෙළඳාම සමග මුස්ලිම් ආගම පැමිණීමත් සමඟ අනෙකුත් ආගම්වල පරිහානිය සිද්ධවෙලා තියෙනවා.

 

2. මාලදිවයින

“දිවෙහි රාජ්‍යය” විදිහට ස්වදේශිකයන් හඳුන්වාගන්න මාලදිවයින, අද වෙනකොට ඉස්ලාම් රාජ්‍යයක් විදියට ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන තිබ්බත් පැරණි බෞද්ධ රාජ්‍යයක්. බොහෝදෙනා විශ්වාස කරන විදිහට මාලදිවයින ජනාවාස කරන්නෙත් ලංකාවෙන් ගිය පිරිස්. මාලදිවයිනේ භාෂාව වුණු දිවෙහි භාෂාව, සිංහල භාෂාවට බොහෝ සෙයින් සමාන කම් දක්වනවා. දූපත් විශාල සංඛ්‍යාවකින් සමන්විත මාලදිවයිනේ සෑම දූපතකම අතීතයේ දී විහාරාරාම ගොඩනැගිලා තිබුණා. නමුත් මාලදිවයිනේ රජ කළ රජු ඉස්ලාම් ආගම වැළඳ ගැනීමත් සමගම අනෙකුත් ජනතාවටත් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට බල කෙරෙනු ලැබුවා. ඊට විරුද්ධ වුණු භික්ෂුන් වහන්සේ සහ ගිහි පිරිස ඝාතනය කරමින් විහාරාරාම මුස්ලිම් පල්ලි බවට පත්කරනු ලැබූවා. අද වුණත් මාල දිවයිනේ ඇතැම් දූපත් වල කැණීම් කරද්දී බෞද්ධ පුරාවස්තු හමු වෙනවා.

 

3. පාකිස්ථානය

ගොඩක් ජාතක කතා වල අප මහා බෝසතාණන් තක්සලා නුවර දිසාපාමොක් නම් පඬිවරයාගෙන් ඉගෙන ගත්තා කියලා සඳහන් වෙනවා. ඒ වගේම සමහර බණ කතාවල අප්සරාවන් බඳු කාන්තාවන් වාසය කරපු මදුරට සාගල නුවර ගැනත් සඳහන් වෙනවා. මේ තක්සලා නුවරත් සාගල නුවරත් දැන් පිහිටලා තියෙන්නේ පාකිස්තානයේ. ඒ තක්සලාව තැක්සිලා නමිනුත් සාගල නුවර සියල්කෝට් නමිනුත්. ඉන්දියාවේ හිටපු අවසාන  බලවත් බෞද්ධ රාජවංශය වුණු කුෂාණ රාජවංශයේ අගනුවර වුණු පුරුෂපුරය වර්තමානයේ පේෂවෝර් නමිනුත් පිහිටා තිබෙන්නෙත් පාකිස්ථානය තුළ. ඉන්දියාවට උතුරු දිගින් එල්ලවුණු මුස්ලිම් ආක්‍රමණ වලදී මුලින්ම තර්ජනයට ලක්වුණේ වර්තමාන පාකිස්ථානය පිහිටලා තිබ්බ ප්‍රදේශය. ඒ නිසා ඉස්ලාම් ආගම ඒ ප්‍රදේශවල මුල් බැස ගෙන ගියා වගේම පැරණි බෞද්ධ සිද්ධස්ථාන සියල්ලම පාහේ පරිහානියට පත් වුණා.

 

4. බංග්ලාදේශය

නාලන්දා විශ්වවිද්‍යාලය වගේම ඒ කාලේ පැවතුණ ප්‍රබල බෞද්ධ විශ්වවිද්‍යාල තුනක් වුණේ සෝමපුර, ජගද්දලා සහ වික්‍රම පුර විශ්ව විද්‍යාල. මේ විශ්වවිද්‍යාල තුනම පිහිටලා තිබ්බෙ වර්තමාන බංගලදේශයේ. අද වෙනකොට බංගලාදේශය සම්පූර්ණයෙන්ම  වගේ ඉස්ලාම් රටක්. නමුත් අද පවා බංගලාදේශයේ අතිශය සුළුතරයක් බෞද්ධයන් ජීවත් වෙනවා. විශේෂයෙන්ම චිතගොන් ප්‍රදේශයේ. වරින්වර ඔවුන් ඉලක්ක කරගනිමින් බංගලාදේශ වැසියන් ප්‍රචණ්ඩත්වය මුදා හරිනවා. මීට වසර කිහිපයකට පෙර චිතගොන් ප්‍රදේශයේ බෞද්ධ විහාරාරාම රාශියක් විනාශ කරනු ලැබුවා. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා රජය එම විහාරාරාම නැවත ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීම සිදු කළා. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා මෙරටට වැඩම කරන බංග්ලාදේශ භික්ෂූන් අපේ රටේ පිරිවෙන්වල සුලබ දර්ශනයක්.

 

5. ඇෆ්ගනිස්තානය

බාමියන් බුදු පිළිම සහ ඇෆ්ගනිස්තානය කියන වචන දෙක එකිනෙකින් වෙන් කරන්න බැරි වචන දෙකක්. තලේබාන් ත්‍රස්තවාදීන් විසින් මුළු මහත් ලෝකයේම විරෝධය මධ්‍යයේ මේ සුවිශාල බුදු පිළිම දෙක පුපුරවා හරිනු ලැබුවා. ඒ මගින් උත්සාහ කරනු ලැබුවේ පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීමටත් වඩා ඇෆ්ගනිස්ථානයේ පැරණි බෞද්ධ උරුමය විනාශ කර දැමීම. නමුත් ඉතා මෑතක දී පවා ටින් නිධියක් සඳහා කැණීම් කරද්දී පැරණි බෞද්ධ විහාරයක නටබුන් හමු වුණා. දැන් චීන ආධාර යටතේ එම විහාරය වෙනත් තැනක ප්‍රතිස්ථාපනය කිරීමට උත්සහ කරනු ලබනවා.

 

6. ඉරානය

ඉරානය තුළ බුද්ධාගම නැති වෙන්නේ අමුතුම ආකාරයකට. පර්සියාව විදිහට අතීතයේ හැඳින්වුණු ඉරානයේ ප්‍රධාන ආගම බවට අතීතයේ පත්වෙන්නේ “සරත්‍රශ” කියන ආගම. මේ ආගමේ බලධාරීන් බුද්ධාගම ඇදහීම පර්සියානුවන්ට තහනම් කරනවා. මේ වගේ බලපෑම් මධ්‍යයේ වුණත් බුද්ධාගම ‍රැකෙනවා. නමුත් ඉරානයට මුස්ලිම් ආක්‍රමණ එල්ල වීමත් සමග තවදුරටත් බුද්ධාගමට සටන් කිරීමේ හැකියාව නැතිවෙලා යනවා. බුද්ධාගම ප්‍රචාරය කිරීම භික්ෂූන් වහන්සේලාට තහනම් කරනු ලබන අතර උන්වහන්සේලා වෙනත් රටවල්වලට පිටුවහල් කිරීම සිද්ධ කෙරෙනවා.

 

7. උස්බෙකිස්ථානය

උස්බෙකිස්ථානය මධ්‍යම ආසියාවේ පිහිටි මුස්ලිම් රාජ්‍යයක්. ඒ රට වගේම ඒ රටේ අසල්වැසි රටවල් වන කසකස්ථානය, කිර්ගිස්ථානය, තුර්කිස්ථානය, තජිකිස්ථානය කියන රටවල් අතීතයේදී මහායාන බෞද්ධ රටවල්. චීනයේ සිට සේද මාවත හරහා පැමිණි භික්ෂූන් වහන්සේලාත් ඉන්දියාවේ සිට දකුණු දිගින් පැමිණි බෞද්ධ ධර්ම දූතයනුත් මගින් මේ රටවල් පිහිටි ප්‍රදේශ කසාවතින් බැබලීමට පත් කරනු ලැබුවා. නමුත් කලාපයේ අනෙකුත් රටවල් වලට වුණා වගේම මොංගෝලියානු සහ අරාබි ආක්‍රමණත් එක්ක මේ රටවල බුද්ධාගම අතුගෑවිලා ගියා. නමුත් අද වෙද්දි වුණත් මේ රටවල සීයට එකට වඩා අඩු බෞද්ධ ජනගහණයක් ජීවත්වෙනවා. ඒ වගේම මේ රටවල් සියල්ලගේම පාහේ බෞද්ධ විහාරාරාම වල නටබුන් විසිරිලා තිබෙනවා.

 

එහෙනම් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබේ අදහස් වලට කමෙන්ට් තීරුව විවෘතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *