වෙසක් ආලෝකයට මුසුවන බොදු බැති ගී ගැන රසවත් ඉතිහාස කතන්දර

 

“ඔබෙ රාගී මන කැළඹේදෝ…”

 

වාතලය සිසාරා කම්පනයන් ඇති කරමින් ගලා යන මොහිදීන් බෙග් ගේ හඬ අපි හැමෝවම වගේ ගෙනියන්නේ ළමා වියේ අති සුන්දර මතකයක් දිහාවට. අපි බොහොමයක් දෙනා අම්මාගේ, තාත්තගේ හරි සීයගේ, ආච්චිගේ අතේ හරි එල්ලිලා කැරකෙන විසාල වෙසක් කූඩු, ආලෝක රටා මවපු වෙසක් තොරණ් බලන්න මුලින්ම ගිය ගමනක පසුබිම් සංගීතය හැටියට බෙග් මහත්තයගේ මේ ගීතය මතකයේ එල්ලිලා තියනවා. අද වෙද්දී පිරිහී ඇති කලාවක් වන බෞද්​ධ බැති ගීත බිහිවෙන්නේ කිතුණු කැරොල්වල ආභාසය ලබාගෙන කියන එක තමයි වැඩි දෙනෙක් පිළිගත් මතය වෙන්නේ. ඉතින් මේ වෙසක් මිහිර අතරේ බොදු බැති ගී ගැන රසවත් ඉතිහා​ස කතා ටිකකුයි අපි මේ කියන්න සූදානම් වෙන්නේ.

 

මේ ගී ලැයිස්තුව කියවන අතරේ වෙසක් අසිරිය ගෙදර ඉඳන්ම විඳින්නට ඔබට පුළුවන් Ananmanan වෙතින් ගෙන එන මේ බොදු ගී එකතුවත් රස විඳින්නට. ඒ සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.

 

https://www.ananmanan.lk/free-sinhala-mp3/bodu-bathi-gee-mp3-songs.php

 

 

1. ​ආන්දෝලනයන් මැවූ දන්නෝ බුදුන්ගේ ගීතය

 

බොදු බැති ගී අතර ජනප්‍රියම ගීතයක් වන දන්නෝ බුදුන්ගේ ගීතයේ ඉතිහාසය 1905 තරම් ​ඈත අතීතයකට විහිදෙනවා. එය එම වසරේ රඟදැක්වූ “සිරිසඟබෝ” නාටකය සඳහා ජෝන් ද සිල්වා රචනා කරපු ගීතයක්. පසු කාලෙකදි මේ ගීතය පණ්ඩිත් අමරදේවයන් සහ විශාරද නන්දා මාලිනියන්ගේ හඬිනුත් ගැයෙනවා. මීට වසර කීපයකට උඩ එක් අවස්ථාවකදී  කිෂාණි ජයසිංහ ගායන ශිල්පිණිය විසින් මේ ගීතය ඔපෙරා ​ශෛලියකින් ගැයීම නිසා රට ​​ඇතුළේ මහත් ​ආන්දෝලනයකටත් ලක් වෙනවා. ​​​ඒ තර්ක විතර්ක මැද්දේ මේ දන්නෝ බුදුන්ගේ ගීතයේ තවත් වෙනස් ​ආකාරයේ පැරණි ගායකයකුත් කරළියට එනවා. එහිදී මේ ගීතය ගැයෙන්නේ “ධර්මා බුදුන්ගේ” හැටියට ​ආරම්භ වෙලයි. මීට සියවසකට පෙර, 1920 තරම් ​ඈතකදි හියුබට් රාජපක්ෂ නම් ගායකයා විසිනුයි මේ ගීතය ​​​ඒ ​ආකාරයට ගැයෙන්නේ. කොහොම වුණත් ගීතයේ පුනරුක්ති දෝෂ නිසා පසු කාලයකදී තමයි “ධර්මා බුදුන්ගේ” ගීය “දන්නෝ බුදුන්ගේ” හැටියට වෙනස් කරලා තියෙන්නේ. ධර්මා බුදුන්ගේ පැරණි ගීතය ඔබට පහත වීඩියෝවෙන් අසන්නට පුළුවන්. 

 

අමරදේවයන් ගායනා කරන දන්නෝ බුදුන්ගේ ගීතයේ mp3 එක මෙතැනින් අසන්​න

2. කැපිලි කෙටිලි මැද බිහිවූ බුද්ධං සරණං ගච්ඡාමි ගීතය

 

 

ලංකාවේ බොදු ගී ගැන කතා කරද්දි ඉහළින්ම සඳහන් කරන්න වෙන නමක් තමයි මොහිදීන් බෙග්. ලංකාවේ වෙසක් උළෙලත්, බොදු බැති ගීතත් එක්ක ලාංකික ජනතාවගේ හදේ නොමැකෙන විදිහට එතුමා රැඳී ඉන්නවා. බෙග් මාස්ටර්ට අපමණ කීර්තියක් ගෙනාපු “බුද්ධං සරණං ගච්ඡාමි” ගීතය අංගුලිමාල හින්දි චිත්‍රපටයේ එන ගීතයක් ​​ඇසුරිනුයි නිර්මාණය වෙන්නේ. කරුණාරත්න අබේසේකරයන් විසින් රචනා කරන ලද මේ ගීතය ගැයීමට බෙග් මාස්ටර්ව තෝරාගෙන තිබුණත්, තවත් පිරිසක් මෙයට විරුද්ධ වෙමින් කෙණෙහිලිකම් සහ කැපිලි කෙටිලි කර බෙග් මාස්ටර්ව ගීතය ගැයීමෙන් වළක්වන්නටත් උත්සාහ කර තිබෙනවා. කොහොම නමුත් අවසානයේදී කැපිලි කෙටිලි ජයගෙන බෙග් මාස්ටර් මේ ගීය ගයා තිබෙන්නේ තමන්ට විරුද්ධකම් කරපු සමහරක් ඉදිරියේමයි. බෙග් මාස්ටර්ගේ ගායනය අසා විශ්මයට පත් වූ ඔවුන් එවෙලේ බෙග් මාස්ටර්ට වැඳ වැටී සමාව ඉල්ලා තිබෙනවා. 

ගීතය අසන්න

 

3. බෞද්ධයින් නොවූ බොදු බැති ගීයේ මුල් කාලයේ ගායන ශිල්පීන්

 

 

ලංකාවේ බොදු බැති ගීතයේ ඉතිහාසය පිරික්සද්දී මුල් කාලයේ බෞද්ධ ගීත වැඩි හරියක් බෞද්ධ නොවන ඉස්ලාම් සහ කිතුණු භක්තික ශිල්පීන් විසින් ගායනා කරනු ලැබීම ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. 1930 ගණන්වල ග්‍රැමෆෝන් යුගයේ දී “තිලෝනා සෑසි මුණි ගෞතම සාමී”, “සිළුමිණ සෑය වඳිම්” වැනිවූ රම්‍ය ගීත ගායනා කළ අහමඩ් මොහිදීන් ගායන ශිල්පියාත් එසේ විශේෂයෙන් සඳහන් කළ යුතු පුද්ගලයෙක්. රුක්මණී දේවිය, ගවුස් මාස්ටර්, ​​​ඒ. ​ආර්. එම්. ඊබ්‍රාහිම්, ලතීෆ් බායි, ජමුණා රාණි ​ආදී ගායක ගායිකාවන් සහ සංගීත ශිල්පීන් ​​​ඒ ​ආකාරයෙන් ගෞරවයෙන් මතක් කළ යුතු අය වෙනවා. 

 

4. පොසොන් බැති ගී වැඩිම ගණනක් ගායනා කළ විවියන් ද සිල්වා බොරලැස්ස

 

 

විවියන් ද සිල්වා බොරලැස්ස ගායන ශිල්පිණිය අපේ රටේ බොදු බැති ගී කෝකිලාව හැටියට හැඳින්වීම වරදක් නැතැයි අප සිතනවා. ​​ඇය ​​​ඒ තරම් බොදු බැති ගී රැසක් සිය හඬින් හෙල කලා කෙතට දායාද කර තිබෙනවා. ලක්වාසී අපට වෙසක් පොහොය තරම්ම වැදගත් වන තවත් පොහොය දිනයක් වන්නේ පොසොන් පොහොයයි. එයට හේතුව මහින්දාගමනයත් සමග උතුම් බුදු දහම ලක්දිවට වැඩම කිරීමයි. කොහොම වුණත් වෙසක් බැති ගී තරමට පොසොන් පොහොය සම්බන්ධව නිර්මාණ බිහි වෙලා නැහැ. එවැනි වූ පසුබිමක වැඩියෙන්ම පොසොන් ගී ගායනා කළ ලාංකීය ගායන ශිල්පිණිය හැටියට විවියන් බොරලැස්ස මහත්මියගේ නම බැබලෙනවා. දුර පෙනෙන තැනිතලා, නවතින්න තිස්ස වැනි ගීත ​​​ඒ අතරින් විශේෂයි. 

 

5. රුක්මණී දේවිය දුටු සිහිනය

 

 

සිරි බුද්ධගයා විහාරේ නම් ජනප්‍රිය බෞද්ධ බැති ගීය ගයන්නේ රූපසිංහ මාස්ටර් සමග ඩේසි රාසම්මා ඩැනියල් නම් 15 වියැති ලාබාල තරුණියක්. ​​ඇය තමයි පසු කලෙක රුක්මණී දේවිය නමින් ලංකාවේ නිළි රැජිණ වගේම සිංහල සිනමාවේ ප්‍රථම පසුබිම් ගායිකාව බවටත් පත්වෙන්නේ. ​​​ඒ වනකොට සිංහල වචන උච්ඡාරණය කරන්නට නොදැන හිටි ඩේසිට මේ ගීතය ගැයීම වෙනුවෙන්ම සිංහල බස උගන්වන්නට රූපසිංහ මාස්ටර්ට සිදුවෙලා තිබෙනවා. මේ ගීත ගායනය සම්බන්ධ රසවත් සිදුවීමක් කරුණාසේන ජයලත් මහතා විසින් රචිත රුක්මණී දේවියගේ ජීවිත කතාවෙහි සඳහන් වෙනවා. ​​​ඒ සිදුවීමට අනුව ඉතාම ලාබාල අවධියේදී බෞද්ධ ගීතයක් ගයන්නට ලැබුණු අවස්ථාව ගැන රුක්මණිය ඉඳලා තියෙන්නේ දැඩි සතුටකින් සහ බියකින්. බියට හේතුව තමයි මේ ගීතය තමන්ට හොඳින් ගායනා කරන්නට නොහැකි වේවියයි කියා ​​ඇතිවුණු සැකය. මේ බිය නිසාම ගීතය ගයන්නට පෙර දින රාත්‍රියෙහි ​​ඇයට තදින් උණ ගැනී තිබෙනවා. ​​​ඒ රාත්‍රියේ සිහිනයෙන් ​​ඇය වෙත පැමිණි සුදු හැඳගත් කරුණාබර පුද්ගලයෙක් ​​ඇයට බිය නොවි ගීතය ගයන ලෙස​ටත්, මේ ගීතය ​​ඇගේ ජීවි​තය වෙනස් කරනු ​​ඇති බවටත් පවසා තිබෙනවා. ඉන් පස්සේ තමයි පසුවදා ​​ඇය මේ ගීතය නොබියව ගායනා කරලා අතිමහත් ජනප්‍රියත්වයකට පත් වෙන්නේ. 

 

6. පුන් සඳෙන් රැස් ගං තෙරෙන් ගීතය කාගේද?

 

 

“පුන් සඳෙන් රැස් ගං තෙරෙන්” කියන්නේ අපිට නිතර ​​ඇසෙන සුන්දරම බෞද්ධ ගීතයක්. මේ ගීතය සම්බන්ධව බොහෝ රසිකයන්ගේ හිතේ එක් සැකයක් තියනවා. ​​​ඒ තමයි මේ ගීතය ගායනා කරන්නේ පුන්සිරි සොයිසා ද? එහෙමත් නැතිනම් වික්ටර් රත්නායකයන්ද කියන එක. අපි අන්තර්ජාලය පිරික්සුවත් මේ දෙදෙනාගේම හඬින් මේ එකම ගීතය ගැයී තිබෙනවා දකින්න ලැබෙනවා. කොහොම නමුත් සරසවි පුවත්පතේ මේ ගැටළුවට පිළිතුරක් ලබා දීල තියනවා. එහි සඳහන් වන ​ආකාරයට මේ ගීතය මුලින් ගායනා කරල තිබෙන්නේ වික්ටර් රත්නායකයන් විසිනුයි. පසු කලෙක මේ ගීතය ගුවන් විදුලියේ එක් වැඩසටහනකට ගැයීමට පුන්සිරි සොයිසා විසින් ගීතයේ සංගීතඥයා වන ​ආර්. ​​​ඒ. චන්ද්‍රසේනගෙන් අවසර ලබාගෙන තිබෙනවා. නමුත් එම වැඩසටහනෙන් නොනැවතී, විරෝධය නොතකා පුන්සිරි සොයිසා මේ ගීතය දිගින් දිගටම ගායනා කිරීම නිසා මේ පටලැවිල්ල ​​ඇති වී තිබෙන වගයි සඳහන් වෙන්නේ. 

වික්ටර් රත්නායකයන් ගයන ගීතය මෙන්න.

පුන්සිරි සොයිසා ගයන පුන් සඳෙන් රැස් ගං තෙරෙන් මෙතනින් අසන්​න

 

7. බෝපත් විසින් තාලය සැපයූ මහ බෝ වන්නම

 

 

ලංකාවේ ඉපැරණි බෞද්ධ ගීත වුවත් බොහොමයක්ම භාරතීය ගීත සහ නත්තල් කැරොල් ගීතවල ​ආභාෂය ලැබූ බව රහසක් නෙමෙයි. නමුත් බොදු බැති ගීයට ​ආත්මීයව ගැයෙන පදවැළක් හරහා ජීවය දෙන්නට සමත් වුණු ගීපද රචකයින්ද අපට නොසිටියා නොවේ. ඔවුන් අතරින් චන්ද්‍රරත්න මානවසිංහයන් හට හිමි වන්නේ සුවිශේෂ තැනක්. මානවසිංහයන් විසින් රචනා කළ “මහ බෝ වන්නම” කියන්නේ ​​​ඒ නිර්මා​ණ අතරිනුත් ඉහළින්ම මතකයට නැගෙන නිර්මාණයක්. මහ බෝ වන්නම යන නම හුරු නැති වුණත් “වැලිතල අතරේ හෙමිහිට බසිනා” යන වචන සමග අමරදේවයන්ගේ හඬින් ගැයෙන ගීය ඔබ කාටත් මතක ​​ඇති. මේ ගීතයේ උත්පත්ති කතාවත් බොදු ගීයක් තරම්ම සිත පහන් කරවන සුළුයි. වරක් ලංකාදීප පත්‍රයේ සේවය කරන කාලයේ මානවසිංහයන් තමන්ගේ කාර්යාල ජනේලයෙන් එපිට බෝගසක බෝ කොළ සෙලවෙන දෙස අවධානයෙන් බලා හිඳලා තියෙනවා. ටික වේලාවක් මේ විදිහට ඉඳිද්දී ඔහුට මේ සෙලවෙන බෝ කොළ වල යම් තාලයක් දැනිලා තියනවා. “තන තන තනෙනා – තන තන තනෙනා” යනුවෙන් සිතේ සටහන් වූ ​​​ඒ තාලයට අනුවයි ක්‍රම ක්‍රමයෙන් ​​​ඒ මහා පද නිර්මාණය මානවසිංහයන් අතින් බිහිවී තිබෙන්නේ. 

ගීතය මෙතනින් අසන්​න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *