සුන්දර ඉතියෝපියාවේ සංචාරයක් යමු

ඉතියෝපියාව කිව්වම අපේ රටේ බොහෝ දෙනෙක්ගේ හිතේ තවමත් මැවිලා තියෙන්නේ සාගින්නෙන් කුස පිට පොත්තටම ඇලුණු දිළිඳු දරුවන් පිරිසකගේ රූපයක්. හැබැයි ඒ ඉතියෝපියාවේ අතීතය කියල බොහෝ දෙනෙක් දන්නෙ නෑ. අද වෙනකොට ඉතියෝපියාව ඒ දුක්බර තත්ත්වයේ නැහැ. හැබැයි බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඉතියෝපියාවට අප්‍රිකා​වේ අනෙකුත් රටවලට වඩා වෙනස්, සුවිශේෂී ඉතිහාසයක් පවතිනවා. අනෙකුත් අප්‍රිකානු රටවල් අධිරාජ්‍යවාදීන්ගේ ගොදුරු බවට පත්වෙද්දී සැළකිය යුතු කාලයක් ඉතියෝපියාව තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සමත් වුණා. ඒ වගේම ඉතියෝපියාව තුළ ක්‍රිස්තියානි දහම ප්‍රධාන වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ බලපෑමෙන් නොව සියවස් ගණනාවක් තිස්සේ එරට ප්‍රධාන ආගම ක්‍රිස්තියානි වීම නිසයි (ඒ පිළිබඳව විශේෂ ලිපියක් ඉදිරියේදී අපි ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා) අපි අද ඔබට කියන්න යන්නේ යම් දවසක ඉතියෝපියාවේ සංචාරය කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථාන කීපයක් පිළිබඳවයි.

 

1. සිමියෙන් කඳු (Simien Mountains)

ස්වභාවික සෞන්දර්යයෙන් අනූන මෙම කඳු පන්තිය ඉතා ඉහළ මට්ටමේ සංස්කෘතික උරුමයකටද සෙවන ලබා දෙනවා. මෙම කඳු පන්තිය ආශ්‍රිතව සිද්ධස්ථාන රාශියක් මෙන්ම මධ්‍යතන යුගයට අයත් මාළිගා ගණනාවක්ද පිහිටා තිබෙනවා. එසේම මෙම කඳු පන්තියට ආවේණික සත්ත්ව සහ ශාක ප්‍රජාව මෙහි ඇති වටිනාකම දෙගුණ තෙගුණ කරනු ලබනවා.

 

 

2. ලලිබෙලාගේ පල්ලි (Churches of Lalibela)

දොළොස් වැනි සියවසේ දී ලලිබෙලා නම් රජුගේ අනුග්‍රහය යටතේ ඉදිවුණු පල්ලි 11ක් පමණ පුරාණ ඉතියෝපියානු ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය ප්‍රකට කරනවා. ගිනිකඳු පිපිරීම මගින් ඉතිරි වුණු ලාවා වලින් සෑදුණු පාෂාණ භාවිතා කොට මෙම පල්ලි ඉදි කොට තිබෙනවා. අද වන විට යුනෙස්කෝව මඟින් ලෝක උරුමයක් ලෙස මෙම පල්ලි සමුදාය නම්කොට තිබෙනවා.

 

3. ශුද්ධ වූ හරාර් නගරය (The Holy City of Harar)

අප්‍රිකාවේ මක්කම යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම නගරය තුළ මුස්ලිම් පල්ලි සීයකටත් ආසන්න ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. සෝමාලියානු දේශසීමාව ආසන්නයේ පිහිටා තිබෙන මෙම නගරය ඇතැම් මුස්ලිම් බැතිමතුන් විසින් ලෝකයේ 4 වෙනියට පූජනීය මුස්ලිම් නගරය ලෙස සළකනු ලබනවා. ගෝත්‍රික ප්‍රජාවන්ගෙන් සහ ක්‍රිස්තියානි ජාතිකයන්ගෙන් එල්ල වූ තර්ජන වලින් මිදීමට පලාගිය මුස්ලිම් බැතිමතුන් විසින් මෙම නගරය නිර්මාණය කළ බවට විශ්වාස කරනවා.

 

4. ගොන්ඩර් (Gondar)

මෙම නගරයට සංචාරයට යන ඔබ තමන් සිටින්නේ ඉතියෝපියාවේ නොව මධ්‍යතන යුගයේ යුරෝපයේ බලකොටුවක් අභියස බව සිතා රැවටෙන බව නොඅනුමානයි. මෙම නගරය වසර 1000 ක පමණ කාලයක් තිස්සේ ඉතියෝපියාවේ බල කේන්ද්‍රය බවට පත්ව තිබූ අතර එහි රාජකීය මාළිගය තවමත් සුරක්ෂිතව පවතිනවා.

 

5. ඇඩිස් අබබා (Addis Ababa)

වර්තමාන ඉතියෝපියාවේ අගනුවර වන මෙම නගරය පුරාතනය සහ නූතනත්වය මිශ්‍රවන අපූරු කලාගාරයක් බඳු නගරයක්. මෙහි පවතින පැරණි ඕතඩොක්ස් පල්ලි සහ කෞතුකාගාර ඔබව අතීතයට ගෙන යන අතර නාගරීකරණයෙන් සන්නද්ධ වුණු රාත්‍රී ජීවිතය ඔබව යුරෝපා රටක අත්දැකීමකට සමීප කරනවා. එසේම වාර්ෂිකව යේසුස් වහන්සේගේ බෞතීස්මය අනුස්මරණය කරමින් ටිම්කට් නම් උත්සවයත් මෙම නගරය කේන්ද්‍ර කොටගෙන පවත්වනු ලබනවා.

 

6. නිල් නයිල් දිය ඇල්ල (Blue Nile Falls)

මීටර් 150 ක පමණ දිගින් යුතු මෙම දිය ඇල්ල නැරඹීම සඳහා වාර්ෂිකව විශාල පිරිසක් ඉතියෝපියාවට ඇදී එනවා. ඇතැම් අය විශ්වාස කරන ආකාරයට නයිල් නදිය මගින් මවන සුන්දරතම දර්ශනයක් වන්නේ මෙයයි. මෙම ජල කඳ ඇද වැටීමත් සමගම අවට පරිසරය තුළ දේදුනු මැවෙන අතර එම පරිසරය පාරාදීසයට සම කෙරෙනවා. ප්‍රදේශවාසීන් මෙම දිය ඇල්ල සඳහා ගින්නෙන් දුමාරය යන අර්ථය ලබාදෙන නමක් භාවිතා කරනවා. මෙම දිය ඇල්ලෙහි ජල වාෂ්ප මගින් ඇති කරන මීදුම වැනි තත්ත්වය එම නම ඇතිවීමට හේතුව බව එය නරඹන්නෙකුට ප්‍රත්‍යක්ෂ වනවා.

 

 

7. අක්සුම් (Aksum)

අප්‍රිකාවේ පැරණිතම නගරයක් ලෙස සැළකෙන මෙම නගරය ගුප්තමය විශ්වාස රැසකට මූලාරම්භය වුණු නගරයක්. මෙහි නගර වැසියන් විශ්වාස කරන ආකාරයට සොලමන් රජු සම්බන්ධයෙන් කියවෙන ශීබා රැජින සිය අගනුවර ලෙස භාවිතා කොට ඇත්තේ මෙම නගරයයි. එසේම කුඩා ජේසු බිළිඳා බැහැදැකීමට පැමිණි ප්‍රඥාවන්තයන් තිදෙනා අතරින් බල්තසාර් නම් රජුගේ සොහොන අදටත් මෙම නගරය තුළ දී දැක ගැනීමට ලැබෙනවා. තවත් පුරා කතා වලට අනුව ජෙරුසෙලමෙන් පැහැරගෙන ගිය ගිවිසුම් පෙට්ටිය වර්තමානයේ දී මෙම නගරය තුළ සුරක්ෂිතව පවතිනවා.

 

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *