වෙනස් රසට කකුළුවො කන්න ආස අයටයි මේ රෙසිපි 5

කකුළුවො ගෙනාවම මුරුංගා කොළ දාලා හොදි හදන සෙට් එක කොනට වෙන්න. අපි අද ආවේ එහෙම ඒවා හදන්න නෙමෙයි. කකුළුවොන්ගෙන් ඊටත් වඩා රස කෑම ටිකක් හදන්න. මේ රෙසිපි ගොඩක් අමාරු ඒවා නම් නෙමෙයි. හදලා බලන්න එක එක රසට කකුළුවො…

 

1. ක්‍රෑබ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කකුළු මස් (Crab meat) ග්‍රෑම් 500 (කටු රහිත)
  2. චොප් ​කරගත් රතු බෙල්පෙපර් ග්‍රෑම් 100
  3. මයෝ​නේස් මේස හැඳි 3
  4. ලෙමන් යුෂ මේස හැඳි 2
  5. බිත්තර 1
  6. කුරුඳු කුඩු ස්වල්පයක්
  7. ලුණු හා ගම්මිරිස්කුඩු
  8. බිස්කට් කුඩු ග්‍රෑම් 100
  9. එළවළු තෙල් කෝප්ප 1/4
  10. අබ ක්‍රීම් මේස හැඳි 2
  11. කපාගත් ළූණුකොළ ටිකක්

 

  • කපාගත් ළූණුකොල හා රතු පෙපර් බෝල් එකකට දාගෙන ඒකට බිත්තරය කඩල දාගන්න. මේකට ලෙමන් යුෂ, ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව දාගන්න.
  • එයටම අබ ක්‍රීම්, කුරුඳු කුඩු සහ මයෝ​නේස් එකතු කරගන්න. දැන් මේ ටික ඔක්කොම කලවම් කරගන්න. හොඳින් අනාගෙන කකුළු මස් ටික ටික එකතු කරගෙන කලවම් කරගන්න.
  • දැන් මේකට බිස්කට් කුඩු ටිකත් දාගන්න. කලවම් කරාට පස්සෙ මේක විනාඩි 30ක් ෆ්‍රිජ් එකෙ දාලා තියාගන්න. දැන් අල්ලට අහුවෙන ප්‍රමාණයෙ කෑලි කඩලා අරන් අතේ තියලා පැතලි කරන් ඔයිල් බ්‍රශ් කරගත් තැටියක තියාගන්න. 
  • දැන් පෑන් එකකට තෙල් ටිකක් දාල නොගැඹුරු තෙලේ දෙපැත්ත බැදගන්න. කැමති නම් සෙල්සියස් 180ට එක පැත්තක් විනාඩි 15 බැගින් දෙපැත්ත හරවන් බේක් කරගන්නත් පුළුවන්.

 

2. කකුළුවො කළුපොල් මාලුව

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුද්ද කරගත් කකුළුවො ග්‍රෑම් 500
  2. හාල් කෝප්ප 1/2
  3. ඉඟුරු, සුදුළූණු  පේස්ට් එක
  4. ගාගත් පොල් කෝප්ප 1/2
  5. සූදුරු
  6. උළුහාල්
  7. චොප්කරගත් ලොකු ළූණු ගෙඩි 1
  8. චොප්කරගත් අමුමිරිස් කරල් කිහිපයක්
  9. සේර, රම්පේ හා කරපිංචා
  10. එනසාල්, කරාබුනැටි
  11. කුරුඳු පොතු කෑල්ලක්
  12. ලුණු
  13. පොල්තෙල් ටිකක්
  14. මිරිස්කුඩු 
  15. තුනපහ කුඩු
  16. කහ කුඩු
  17. මිටිකිරි කෝප්ප 1
  18. දෙහි යුෂ

 

  • සුද්ද කරගත් කකුළුවො ටිකට මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු හා දෙහි යුෂ දාලා සීසන් වෙන්න පැයක් තියන්න.
  • ඒ අතරෙ හාල් ටික හා ගාගත් පොල් රන්වන් පාටට වෙනකල් කබලෙ බැදගන්න. ගොඩක් කර කරන්නත් එපා. දැන් මේ දෙකම ග්‍රයින්ඩ් කරගන්න. ඊලඟට මිරිස්කුඩු හා තුනපහ කුඩු කබලෙ යන්තම් පාට වෙනස් වෙන තරමට බැදලා තියාගන්න.
  • දැන් මැටි භාජනයක් අරගෙන ලිපේ තියලා තෙල් එකතු කරන් තෙල් රත්වෙන කොට ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාගන්න. ඒකට එනසාල්, කරාබුනැටි,  සූදුරු, රම්පා, කරපිංචා, සේර හා චොප්කරගත් ළූණුද මේ තෙලටම එකතු කරන්න. 
  • හොඳට තෙම්පරාදු වෙනකොට බැදලා කුඩුකරගත් හාල්, පොල් මිශ්‍රණය දාගන්න. දැන් මේකට බැදගත් පහේ ටිකත් දාගන්න.
  • අන්තිමට කකුළුවො ටික එකතු කරගන්න. මිශ්‍රණයේ හොඳට තැවරෙන විදියට කලවම් කරගන්න. දැන් වතුර කෝප්ප කාලක් වගේ එකතු කරලා අමුමිරිස් හා රස බලල අවශ්‍ය නම් ලුණු එකතු කරගන්න. මේකටම උළුහාල් එකතු කරන්න. වතුර හිඳෙනකොට මිටිකිරි ටික එකතු කරලා උතුරවා ගන්න. 

 

3. චිලී ක්‍රෑබ් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කකුළුවො ග්‍රෑම් 500
  2. ලොකු ළූණු ගෙඩි 1
  3. ලුණු
  4. ගම්මිරිස්කුඩු
  5. සියඹලා යුෂ ටිකක්

 

මිරිස් තුනපහ පේස්ට් එක සඳහා

 

  1. මිරිස් කරල් 6-7
  2. තුනපහකුඩු තේ හැඳි 3/4
  3. කහකුඩු තේ හැඳි 1/4
  4. සුදු ළූණු බික් 4-5
  5. ගාගත් පොල් කෝප්ප කාලක්

 

  • කකුළුවො ටික සුද්ධ කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාලා තම්බගන්න. පහේ පේස්ට් එකට අවශ්‍ය ඔක්කොම ග්‍රයින්ඩ් කරලා පේස්ට් එක හදලා පැත්තකින් තියාගන්න.
  • භාජනයක් ලිපේ තියලා තෙල් රත්වෙනකොට කපාගත්ත ළූණු ටික දාල බැදෙන්න අරින්න.
  • ඒකට පේස්ට් එක එකතු කරලා  කලවම් කරගන්න. දැන් මේකට කකුළුවො ටික දාලා සියඹලා යුෂ දාගන්න.
  • මේකටම කකුළුවො තම්බාගත් වතුර ටිකකුත් දාලා හින්දවලා ගන්න. රස බලල අවශ්‍ය නම් ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. 

 

4. ක්‍රෑබ් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බා කටු ඉවත් කරගත් කකුළුවො ග්‍රෑම් 500
  2. චොප්කරගත් ළූණු කො​ළ
  3. චොප්කරගත් සුදුළූණු ටිකක්
  4. බටර් මේස හැඳි 3
  5. චෙරි තක්කාලි ගෙඩි 6-7
  6. කෝන් ඇට කෝප්ප 1/4
  7. කොටුවට කපාගත් කැරට් කෝප්ප 1/4
  8. තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 1/4
  9. ස්ටොක් පවුඩර් තේ හැඳි 2
  10. ලුණු හා ගම්මිරිස්කුඩු
  11. චොප්කරගත් පාස්ලි ටිකක්

 

  • පෑන් එකක් ලිපේ තියලා බටර් ටිකක් දාගන්න. බටර් රත් වේගෙන එනකොට කකුළු මස් සහ පාස්ලි ඇර ඉතිරි ඔක්කොම දාලා කලවම් කරන්න.
  • චෙරි තක්කාලි පොඩි වෙන විදියට හැඳිගාන්න. වතුර කෝප්ප  භාගයක් එකතු කරන්න.
  • දැන් විනාඩි 30ක් අඩු ගින්දරේ ලිපේ තියලා වහලා තියන්න. ඊලඟට මේකට කකුළු මස් ටික දාගන්න. කලවම් කරන ගමන් රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. 
  • අන්තිමට උඩින් පාස්ලි ටිකක් ඉහලා ලිප ඕෆ් කරගන්න.

 

5. ක්‍රෑබ් බයිට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බා කටු ඉවත් කරගත් කකුළුවො ග්‍රෑම් 500
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් පාස්ලි ටිකක්
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. බිත්තර 1
  6. මයෝ​නේස් මේස හැඳි 3
  7. කට්ලට් වලට අවශ්‍ය පාන්පිටි බැටර් එක
  8. බිස්කට් කුඩු
  9. බැදගැනීමට තෙල්

 

  • භාජනයකට කකුළු මස් ටික දාලා ඒකට චොප්කරගත් ළූණු, චොප්කරගත් පාස්ලි, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා හොඳට අනාගන්න.
  • දැන් මේකට බිත්තරය හා මයෝ​නේස් එකතු කරගන්න.
  • හොඳට අනලා පොඩි බෝල හදාගන්න. 
  • හදාගත්ත බෝල පාන්පිටි බැටර් එකේ දාලා බිස්කට් කුඩු වල තවරලා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදලා ගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *