බත් ගසේ එක අතුරු ඵලයක්නෙ පොලොස් කියන්නෙ. පොලොස් ගෙඩියක් ලැබුණොත් ඉතින් අපි කරන්නෙ ඒක මැටි හට්ටියක හින්දවලා පොලොස් ව්‍යාංජන හදන එකනේ. නමුත් ඊට එහා ගිය කෑම ගොඩක් මේ පොඩි පොලොස් ගෙඩියෙන් හදන්න පුළුවන්. ඒ වගේ කෑම වර්ග ටිකක් ගැන තමයි අද අපි කියන්න යන්නේ.
1. පොලොස් කට්ලට්
හැමදාම කන කට්ලට් ඉතින් සැමන් හරි මාළු හරි වලින්නෙ හදන්නෙ. වෙනස් රසකින් කන්න ඕනෙ නම් පොලොස් කට්ලට් හදලා බලන්න. පොඩ්ඩො හැමදාම ඉල්ලයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩා පොලොස් ගෙඩියක්
- චොප්කරගත් ළූණු ග්‍රෑම් 100ක්
- හීනියට ලියාගත් අමුමිරිස් කරල් 6ක්
- සූදුරු ටිකක්
- උම්බලකඩ කුඩු මේස හැඳි 2ක්
- කහකුඩු ටිකක්
- කරපිංචා
- ලුණු හා ගම්මිරිස්කුඩු
- දෙහි යුෂ ටිකක්
- බිස්කට් කුඩු
- පාන්පිටි
- බැද ගැනීමට පොල් තෙල්
- පොලොස් ගෙඩියේ පොත්ත අයින් කරලා පොඩි කෑලි වලට කපා ගන්න. තරමක භාජනයක් ලිපේ තියලා ලුණු දාලා පොලොස් ටික තම්බගන්න. තම්බාගත් පොලොස් කෑලි හොඳට අඹරගන්න.
- දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් වෙනකොට ළූණු, කරපිංචා හා අමුමිරිස් එකතු කරලා තෙම්පරාදු කරගන්න. ඒකට සූදුරු හා මිරිස්කුඩු එකතු කරන්න. දැන් චොප්කරගත් පොලොස් කෑලි ටික දාලා හොඳට කලවම් කරගන්න. රස බලලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. කැමති නම් දෙහි යුෂ එකතු කරන්න.
- ඒ මිශ්‍රණය නිවුනාම පොඩි බෝල හදාගෙන පාන් පිටි බැටර් එකේ දාලා, බිස්කට් කුඩු තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.
2. පොලොස් රොටී
පොල් රොටී වගේද පොලොස් රොටී කියලා කාලම බලන්න වෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක පොලොස් ගෙඩියක්
- පාන්පිටි ග්‍රෑම් 250ක්
- ලුණු මේස හැන්දක්
- බී ළූණු ගෙඩි 1ක්
- අමුමිරිස් කරල් 2ක්
- තම්බාගත් පොලොස් කෑලි පොඩි කරගන්න. ඒකට හීනියට කපාගත් අමුමිරිස් හා බී ළූණු එකතු කරගන්න. ලුණුකුඩු හා පාන්පිටි පොලොස් මිශ්‍රණයට එකතු කරගන්න. දැන් ඇති පදම් වතුර දා අතේ නොඇලෙන ගාණට රොටී මෝලිය අනාගන්න.
- රොටී තැටිය ලිපේ තියලා එකින් එක රොටී පුච්චගන්න.
3. ෆ්‍රයිඩ් පොලොස් ඩෙවල්
මස් මාළු නැති වෙලාවක ගෙදර උන්දැව රවට්ටන්න හදන්න පුළුවන් නියම කෑමක් තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය
- පොලොස් ගෙඩියක්
- තක්කාලි ගෙඩියක්
- මාළු මිරිස් කරල් 2ක්
- අමුමිරිස් කරල් 2
- බී ළූණු ගෙඩියක්
- සීනි තේ හැන්දක්
- චිලී පේස්ට් මේස හැන්දක්
- තක්කාලි සෝස් මේස හැන්දක්
- සෝයා සෝස් මේස හැන්දක්
- ගම්මිරිස්කුඩු
- ලුණුකුඩු
- චොප්කරගත් ඉඟුරු හා සුදුළූණූ
- බැදගැනීමට තෙල්
- මුලින්ම පොලොස් ගෙඩිය සුද්ද කරගෙන සාමාන්‍ය සයිස් කෑලි කපාගන්න. දැන් මේ පොලොස් කෑලි ටික බාගෙට වගේ තම්බගන්න. ඉන් පස්සේ මේ පොලොස් වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා සීසන් කරගන්න.
- තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා පොලොස් කෑලි ටික රන්වන් පාට වෙනකල් බැදගන්න. දැන් වෙන භාජනයක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා රත් වෙනකොට සුදුළූණු සහ ඉඟුරු දමා බැදෙන්න අරින්න. ඒකට මාළු මිරිස්, ළූණු, තක්කාලි හා අමුමිරිස් දමා තෙම්පරාදු කරගන්න. ඒකට සෝයා සෝස්, තක්කාලි සෝස් හා චිලී පේස්ට් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. අන්තිමට බැදගත් පොළොස් ටික කලවම් කරලා සීනි දාගන්න. රස අනුව ලුණු එකතු කර ලිපෙන් බා ගන්න.
4. පොලොස් ගැට මෝරු
කොරලි මාළු බැදලා, පොලොස් ගැට මෝරු හදලා, පරිප්පු හදලා හොඳට ඇඹුල් දාපු ගොටුකොළ සම්බෝලයක් එක්ක පපඩමක් බැදලා ගත්තනම් පංකාදු පහයි නෙහ්. ඒත් කොහොමද මේ පොලොස් ගැට මෝරුව හදන්නෙ? අහගන්නකො එහෙනම්.
අවශ්‍ය ද්‍රව්‍ය
- ලපටි පොලොස් ගෙඩියක්
- රතුළූණු ගෙඩි 10ක් පමණ
- සුදුළූණු බික් 5-6
- අමුමිරිස් කරල් 4
- රම්ප, කරපිංචා
- එනසාල්, කරාබුනැටි
- කුරුඳුපොතු
- අබ ඇට
- මිරිස්කුඩු, තුනපහකුඩු
- දියකිරි කෝප්ප 1/2
- මිටිකිරි කෝප්ප 1
- රස අනුව ලුණු
- මුලින්ම පොලොස් ගෙඩියේ පොතු අයින් කරගන්න. පසුව උල් සහිත පිහියකින් පොලොස් ගෙඩියේ දික් අතට හා හරස් අතර ඉරි ඇදගන්න. ඉන්පසු පෙති කපාගන්න.
- දැන් භාජනයක් ලිපේ තියලා වතුරට ලුණු දාලා පොලොස් පෙති ටික තම්බගන්න. පෙති කැඩෙන්න දෙන්න එපා. රම්පෙ, කරපිංචා කබලේ බැදගන්න. එනසාල්, කරාබුනැටි, කුරුඳුපොතු, අබ ඇට සියල්ලම කබලේ බැද අඹරාගන්න.
- භාජනයකට තෙල් දාලා රත් වෙනකොට රම්පේ, කරපිංචා, අමුමිරිස්, සුදුළූණු, රතුළූණු එකතු කර තෙම්පරාදු කරගන්න. මේකට කබලේ බැද අඹරාගත් එනසාල්, කරාබුනැටි, අබ හා කුරුඳුපොතු එකතු කරගන්න. පොලොස් කෑලි ටිකත් එකතු කරගන්න.
- ඒකට මිරිස්කුඩු හා තුනපහකුඩු දාගෙන ඉන්පසු දියකිරි ටික එකතු කරන්න. දියකිරි හිඳුණු පසු මිටි කිරි එකතු කර හොඳින් උතුරවාගන්න. රස අනුව ලුණු දාගන්න.
5. පොලොස් ඇඹුල
නම කිව්ව ගමන් රස ගැන මතක් වෙනවා නිතැතින්ම. ඒ තරම් සුවඳ හා රසවත්ව හදාගන්න පුළුවන් කරි එකක් තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි පොලොස් ගෙඩියක්
- චොප්කරගත් රතුළූණු ගෙඩි 10-12
- කරපිංචා
- සුදුළූණු බික් 5-6
- උළුහාල් තේ හැඳි 1/2
- සූදුරු තේ හැඳි 2
- මහදුරු තේ හැඳි 1
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 1 1/2
- ගොරකා කෑලි 5-6
- දියකිරි කෝප 3ක්
- මිටිකිරි කෝප්ප 1 1/2
- රස අනුව ලුණු
- පොලොස් ගෙඩියේ පොත්ත අයින් කර පොඩි කෑලි කපා ගන්න. මේ කෑලි ටික වතුර එකකට දාගන්න. දැන් උළුහාල්, සූදුරු, මහදුරු, කොත්තමල්ලි කුඩු කබලේ බැදගන්න. මිරිස්කුඩුත් කබලේ බැදගන්න. දැන් පොලොස් කෑලි වලට ගොරකා එකතු කරලා දියකිරෙන් මදගින්නේ තම්බගෙන රස අනුව ලුණු දාගන්න.
- දැන් කබලේ බැදගත් ඔක්කොම පොලොස් එකට එකතු කරන්න. දියකිරි හිඳුනට පස්සෙ මිටිකිරි දාලා හොඳට පිසගන්න. පොලොස් එක ඉදුනට පස්සෙ ගොරකා කෑලි ටික අයින් කරගන්න.
Leave a Reply