අග්‍රා නුවර රවුමක් යමුද?

අපේ දඹදිව වන්දනාවේ යන නඩ වුණත් බොහෝ වෙලාවට සිද්ධස්ථානයකට හැරුණාම දැකබලාගන්න යන්නේ  ලෝකප්‍රකට ටජ් මහල පමණයි. ලෝකය පුරා ආදරයේ සිහිවටනයක් විදිහට ගෞරවාදරයට පාත්‍ර වන ටජ්මහල  පිහිටලා තියෙන්නේ අග්‍රා නගරයේ යමුනා නදී ඉවුරු කෙළවරක. අපි අද ඔබට කියන්න යන්නේ ආග්‍රා නගරයේ පිහිටලා තියෙන, නැරඹිය යුතු තවත් සුන්දර ස්ථාන කීපයක් ගැන. අග්‍රා නගරය මේ විදිහට සුන්දර නගරයක් බවට පත් වන්නේ එම නගරය කලක් මෝගල් අධිරාජ්‍යයේ අගනුවර විදිහටයි පැවතිච්ච නිසයි.

 

1. මෙටාබ් භාග් (Mehtab Bagh)

මේ සුන්දර උද්‍යානය පිහිටලා තියෙන්නේ අග්‍රා නගරයේ ටජ්මහල් සංකීර්ණය සහ ආග්‍රා බලකොටුව අතරතුර ප්‍රදේශයේ. මෙම උද්‍යානයේ නමෙහි තේරුම චන්ද්‍රාලෝකය පිරුණු උද්‍යානය යන්නයි. සමචතුරශ්‍රාකාර හැඩයෙන් යුතු මෙම උද්‍යානයේ එක පැත්තක් මීටර් 300 ක පමණ දිගින් යුක්ත වෙනවා. බාබුර් අධිරාජ්‍යයා විසින් ගොඩනගන ලද මෙම උද්‍යානය පසුකලක ෂාජහන් රජු විසින් භාවිතා කිරීමට සැලසුම් කර තිබුණේ ටජ්මහල දෙස බලා සිටීමට සුදුසු ස්ථානයක් ලෙසටයි.

 

 

2. අග්‍රා බලකොටුව (Agra Fort)

මෝගල් අධිරාජ්‍යයේ බල කේන්ද්‍රස්ථානයක් විදිහට මුළු ඉන්දියාව පුරා ආධිපත්‍ය ගෙන ගිය ස්ථානය තමයි අග්‍රා බලකොටුව කියන්නේ. අවස්ථා ගණනාවකදී මෝගල් අධිරාජ්‍යයේ විරුද්ධවාදීන් අතට මෙම බලකොටුව පත් වුණත් යළිත් එය අත්පත් කර ගැනීමට මෝගල්වරු සමත් වුණා. සිහසුනට පත්වූ  විවිධ මෝගල් අධිරාජ්‍යවරු මේ බලකොටුවේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට කටයුතු කළ අතර බලකොටුව තුළ විවිධ නිර්මාණද සිදු කරනු ලැබුවා.

 

 

3. මොටි මස්ජීඩ් (Moti Masjid)

ටජ්මහල් නිර්මාණය කළ ෂාජහාන් රජුගේම නිර්මාණයක් වන මෙම මස්ජිදය සඳහා භාවිතා වන නමෙහි තේරුම මුතු මස්ජිදය යන්නයි. ඔහුගේ පළමු රාජ වර්ෂයේදී, එනම් 1627 දී මෙහි වැඩකටයුතු ආරම්භව තිබූ අතර එය නිමා වී තිබෙන්නේ 1638 දීයි. මෙම නිර්මාණය කිරීම සඳහා අග්‍රාවේ තිබූ පැරණි ගොඩනැගිලිවල තිබූ කිරිගරුඬ ද භාවිතා කළ බව කියවෙනවා.

 

 

4. ජහන්ගීර් මහල් (Jahangir Mahal)

අග්‍රාවේ පිහිටා ඇති මෙම සුන්දරත්වයෙන් අනූන මාළිගාව ඉදි කරන ලද්දේ අක්බාර් අධිරාජයා විසින් බව විශ්වාස කෙරෙනවා. ඔහු සිය පුත්‍රයා වන ජහන්ගීර් හට ත්‍යාගයක් ලෙස ලබාදීමට තමයි මේ මාළිගය හදන්න තීරණය කරලා තිබෙන්නේ. කෙසේ වෙතත් ජහන්ගීර් රජ සමයේදී මෙම මාළිගය භාවිතා වී තිබෙන්නේ ඔහුගේ එක් බිසවකගේ වාසස්ථානය ලෙසටයි.

 

 

5. ඉටිමඩ් උඩ් ඩවුල්හා (Itimad Ud Daulah)

මේ ගොඩනැගිල්ල සැළකෙන්නේ පුංචි ටජ්මහල ලෙසටයි. ඒ වටා පරිවාර ගොඩනැගිලි සහ උද්‍යාන රැසක් පවතිනවා. මෙම නිර්මාණය සිදුකොට ඇත්තේ ෂාජහන් අධිරාජ්‍යයාගේ ප්‍රධාන බිසව වන නූජහන්ගේ පියා වන මිර්සා බෙහ්ගේ සොහොන් ගැබ ආවරණය කිරීම පිණිසයි. මුල්කාලීන මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ භාවිතා වන රතු පැහැති ගඩොල් වෙනුවට කිරිගරුඬ භාවිතා කළ පළමු ගොඩනැගිල්ලක් ලෙස මේය සළකනු ලබනවා.

 

 

6.චිනි කා රෞසා (Chini Ka Rauza)

මෙම ගොඩනැගිල්ලද සකසා තිබෙන්නේ සොහොන් ගැබක් ආවරණය කිරීම සඳහායි. ඒ ෂාජහාන් රජුගේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අෆ්සාල් ඛාන් වෙනුවෙනුයි. ඔහු එම කාලයේ සිටි දීප්තිමත් කවියෙකු ලෙස ද ගෞරවාදරයට පාත්‍රව සිටි තැනැත්තෙක්. ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව  විද්වතුන් අතර එකඟතාවයක් නොමැති අතර ඇතැම් අය පවසන්නේ  එය පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් දක්වන බවයි.

 

7. Guru Ka Tal (ගුරු කා ටාල්)

අග්‍රා නගරයේ පිහිටා තිබෙන මෑතකාලීනම නිර්මාණයක් වන මෙම සිද්ධස්ථානය ලොව පුරා සික් බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍රවන  සිද්ධස්ථානයක් බවට පත්ව තිබෙනවා. සික් ආගමේ ප්‍රධාන ශාස්තෘවරයෙකු වූ ශ්‍රී ගුරු ටෙග් බහාදූර් ජී මෝගල් අධිරාජ්‍යයේ සෙබළුන් හට යටත් වුණු ස්ථානය මෙය ලෙස සැළකෙනවා. ඔහු ඇතුළු ඔහුගේ අනුගාමිකයන් රැසක් පසුව එවකට මෝගල් අධිරාජ්‍යයාව සිටි අවුරාන්ග්සෙබ්ගේ නියෝගය මත ඝාතනය කරනු ලැබුවා.1970 දී එතුමන්ව අනුස්මරණය කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීමට බැතිමතුන් කටයුතු කළා.

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නටත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *