මේක ගැන මහ ලොකු ඉන්ට්‍රො ඕන නෑ. අපි මේක ලියන්නෙත් අපිට මේක ලියන්න කියල බලපෑමක් සිද්ධ වෙච්ච නිසා විතරයි. ඒක නිසා මේක කට්ටියට මිස් වෙලා යනවට අපි කැමතියි. මේ ලංකාවෙ මේ වෙනකං සිද්ධ වෙච්ච මේ සිද්ධි ගැන ඇත්ත මිනිස්සු නොදැන, පුරුදු කරපු බොරුවම හිතේ තියං ඉන්නවනං අපි කැමතියි. ඒනිසා ඔයාලා මේ ටික නොකියෙවුවත් කමක් නෑ.
1. මෝර ටැංකි
හිටපු ප්‍රධාන ආරක්ෂක අංශ ප්‍රධානී සහ රාජ්‍ය සම්බන්ධතා සහිත පුද්ගලයෙකුගේ නිවසේ මෝරු ඉන්න ටැංකි තිබුණු බවට ප්‍රකාශයක් තිබුණා. ඒ ප්‍රකාශය සත්‍යයක් බව ඔප්පු කරන්නට මාධ්‍යවේදීන්ව අදාළ පුද්ගලයාගේ නිවසට ගෙන ගොස් තිබුනු නිසා එහි තිබුණ මෝරු නැති මෝර ටැංකි දැකපු මාධ්‍යවේදියො පුදුම වෙලා තිබුණා. මේ ගැන ලියපු කතා අතරේ මෙච්චර කල් ලංකාවෙ රහසක් විදියට තිබුණු ඒ දේ ගැන සැඟවිලා තිබුණු සත්‍යයක් හෙලි කරන්නට ලයිෆී අපි සූදානම්. ඇත්ත වශයෙන්ම පුරාණ රජ දවසේ ඉඳන්ම රාජ්‍යතාන්ත්‍රිකයන් අතරේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුත්තන් මෝරුන් ඇති කරන සම්ප්‍රදායක් තිබුණා. මේකට රාජ ඉතිහාසයෙන්ම උදාහරණයක් ගෙනෙනවානම් තමන් විසින් මෝරන් ඇති කරපු ටැංකි බලන්න රජවරුන් එක්තරා සුවිශේෂ ස්ථානයකට ගියා. ඒ තැනට කියන්නෙ මොරටුව. රජතුමා මෝරු බලන්න ටුවර් ගිය ස්ථානය. ඒක රාජ සම්ප්‍රදායක් විත්තිය පිළිගන්න.
2. 1996
වර්ල්ඩ් කප් එක ගැන අපි මහ ලොකුවට කතා කරනවා සහ සමරනවා. මාර්තු මාසය පුරාම ඒ ගැන කතා වුනා. ඒත් ඇත්තටම අපි ඒ මැච් එක ගොඩ ආපු විදිය ගැන දන්නෙ කියෙන් කීදෙනාද? ඒ දවසෙ සිද්ධ වෙච්ච සිදුවීම් තාමත් සිදු වෙන බව ඔබ දන්නවාද? කලූ අවුට් කරපු සචින්ගෙ ස්ටම්ප් එක තමයි සෙමියෙ මැච් ටර්නිං පොයින්ට් එක. සචින්ගෙන් පස්සෙ ඇප නැති වෙලා හිටපු ටීම් එක ගොඩගත්තෙ ඩීල්වලට තැමති නැති විනෝද් කම්බ්ලි. සචින්ගෙ පාසල් මිත්‍රයා. ඒ මොහොතෙම ඉන්දියන් වෙස් ගත්තු මීවනපලානෙ කොල්ලො ටිකක් බෝතල් ගහලා ඩිෆෝල්ට් වින් එක අපිට හැරෙවුවා. ශ්‍රීමත් ක්ලයිවු ලොයිඩ්ට ඒ තීරණේ ගන්න හිත ඇදුවෙ කවුද කියල කියන්න විතරක් අපිට වාරණයක් තියෙනවා. සචින්ගෙ අවුට් එක නිකංම සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. අපේ දේශ සීමාවට ඇවිල්ලා මාළු අල්ලන ඉන්දීය ධීවරයො 100ක් පහුවදාට නිදහස් කරන පොරොන්දුව කළුගෙ අත ගාව තියෙන බෝලෙට ඉස්සරහට පනින්න සචින්ගේ හිත හැදුවා.
3. පාර්ලිමේන්තුවෙන් යන්නෙ නැත්තෙ ඇයි?
ලංකාවෙ කාලයක් තිස්සෙ බලේ ඉන්න නායකයො වෙනිං රටවල නායකයො වගේ පුටුව අලුත් කෙනෙකුට දීලා යන්නෙ නැති එක ගැන ගොඩක් කට්ටිය කතා වෙනවනෙ. ඒක ඇත්තටම බල තණ්හාව නෙමෙයි. අපි මෙහෙම කියන්නෙ ආණ්ඩුවෙන් කුට්ටියක් අරගෙනත් නෙමෙයි. දශක දෙකක් පාර්ලිමේන්තුවෙ පැරදි පැරදි දිනමින්, දිනලා දිනලා පරදිමින්, ඡන්ද තිහකට වඩා පරදිමින් වුනත් නොයන්න හේතු තියෙනවා. එහෙම අයට බැන බැන හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රීවෙලා හරි පාර්ලිමේන්තුවට එන්න හේතු තියෙනවා. පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නැති වුනාම බෙල් එක ගහපු ගමන් කට්ටිය එන්නෙ කොහෙ ඉඳන් කියලද හිතන්නෙ. පාර්ලිමේන්තුවෙ කෑම රහයි මචං. කාපු කෙනෙකුට යන්න හිතෙන්නෙ නෑ.
4. ෆුල් ෆේස් හෙල්මට් තහනම
ෆුල්ෆේස් හෙල්මට්වලට තහනමක් ගෙනාවා. ඒ තහනම ඇත්තටම දුන්නෙ හොරකං වැඩි වීමත් එක්ක. පොල් ගෙඩි දෙකක සිට ලක්ෂ 50 දක්වා හොරකං අපේ රටේ සාමාන්‍යයෙන් අල්ලන් හොරකං ලෙසත්, ලක්ෂ පනහේ සිට ඉහළට අල්ලන්නෙ නැති හොරකං ලෙසත් වර්ග වෙනවනෙ. ඒත් එක පාරටම කාලයක් ආවා. ඒ කාලෙ ලක්ෂ පනහට අඩුවෙන් හොරකං කිහිපයක්ම සිද්ධ වුනා. ඒවයෙ සමාන කමක් තිබුනා. ෆුල්ෆේස් හෙල්මට් දාපු දෙතුන් දෙනෙක් මෝටර් සයිකලේ ඇවිල්ල ලක්ෂ පනහට වඩා අඩු ගනං ටිං ටිං ගාලා හොරකං කරගෙන ගියා. ඒ වගේම ඒවා අහුවුනෙත් නෑ. ඒවා කළේ කවුද කියන එක අපිට කියන්න තහනං වුනත් ඒ එක්කම කරලියට ආපු ෆුල් ෆේස් හෙල්මට් තහනම ඇත්තටම උඩගැහුවෙ හොරකම වළක්වන්න නෙමෙයි. ඒක අපි වගේම දැනෙගෙන හිටපු සිනමා නිළියෙක් හිටියා. හැබැයි එයා පොඩි ජල්තර සීන් එකක රඟපාලා තිබ්බ නිසා කට්ටිය එයා ඒ වෙනුවෙන් පෙනීසිටපු දේ ගනං ගත්තෙ නෑ. ෆුල්ෆේස් හෙල්මට් එපා කිවුවෙ හොරකං අඩු කරන්න නෙමෙයි. දිනෙන් දින කඩා වැටීගෙන යන ඉන්ෂුවරන්ස් අයියලා ටික රජයෙන් කරපු ඉල්ලීමක් තිබුණා. අපිව ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න පොළඹවන්න. මොකද ගොඩක් බයික් තර්ඩ් පාටි. ඔලුව තැලෙනව කියල හිතුනම කාටද ෆුල්ෆේස් දාන්න නොහිතෙන්නෙ.
අප්‍රේල් පළවෙනිදා නිසා මේ දේවල් විහිළුවකට ගන්න ඔයාලගෙ තෙම්පරාදු නොවිච්ච හිත්වලට හිතෙන්න පුළුවනි. හැබැයි කූඹියෝ වගේ ගේම් ගහන්න ටෙලි සිත්තංවල විතරක් නෙමෙයි කියන ඔලුවෙ කොනක තියාගන්න.
Cover Image Source – Lifie.lk
Leave a Reply