ගේමින් මැෂින් එකක් හදාගන්නේ මෙහෙමයි

ගේම් වලට වෙනමම කන්සෝල් පාවිච්චියට වඩා ගේම් වලට හොඳ පර්ෆෝමන්ස් තියෙන කම්පියුටර් එකක් හදාගන්න එක දැන් ලෝකයේ හැම පැත්තේම පැතිරිලා. දැන් කාලේ ලැප්ටොප් ජනප්‍රිය වුනත් ගේමින් ලැප්ටොප් මිල අධිකයි. අනික ලැප්ටොප් එකක පොඩි ඉඩට සරිලන්න තියෙන හාඩ්වෙයාර්, ඩෙස්ක්ටොප් එකක හාඩ්වෙයාර් තරම් ප්‍රබලත් නැහැ. මැෂින් එකක් එකලාසයක් කරගැනීම දැන් ලොකු දෙයක් නෙමෙයි. කරන විදිය යූ ටියුබ් සර්ච් කරලා හොයාගත හැකියි. ඒ ඒ කෑලි මැච් වෙනවාද කියලා වෙබ් එකෙන් හොයත හැකි. ඉතින් ගේමින් මැෂින් එකක් ගන්නකොට මොනවද හිතන්න ඕනි මූලික දේවල්? අපි ඒ ගැන ටිකක් කතා කරමු.

 

1. බජට් එක

Image Source – techadvisor.co.uk

ඇත්තටම අද කාලේ නම් රුපියල් ලක්ෂයකට විතර සෑහෙන තරමේ හොඳ ගේමින් මැෂින් එකක් හදාගන්නට හැකියාව තියෙනවා. ගේමින් වලට කම්පියුටරයක් හදද්දි සෑම සියලු කෑල්ලක්ම මුල් අවස්ථාවේදීම මිලදී ගන්නට අවශ්‍ය නැහැ. රැම් එක වැඩි කර ගැනීම සුපිරි VGA එකක් සෙට් කරගැනීම පසුකාලෙක වුනත් කරගන්නට පුළුවන්. ගේමින් වලට ලැප්ටොප් හෝ මිනි කම්පියුටර ගන්න එක ටිකක් වියදම් අධිකයි. රැගෙන යෑමේ පහසුවට මිනි කම්පියුටර් හෝ ලැප්ටොප් ගත්තත් ඒ මට්ටමේ ඩෙස්ක්ටොප් එකකින් ලැබෙන හයිය ලැප් එකකින් නම් ලැබෙන්නේ නැහැ. ගේමින් මැෂින් එකකට ටිකක් ඉඩ ඕනි. ඉඩ ගැන ලොකු මෙව්වා එකක් නැතිනම් කුඩා ප්‍රමාණයේ මව් පුවරු නැතිව ටිකක් ඉඩකඩ තිබෙන මව්පුවරුවක් තෝරාගන්න එක වටිනවා. එතකොට පස්සෙ කාලෙක රැම් මාරු කරන්න, හාඩ් ගහන්න තව තව එක එක සෙල්ලන් කරන්න ලොකු ඉඩකඩක් ලැබෙනවා. ටිකක් බජට් එක අඩු වගේ නම් සුදුසුම දේ අවුරුද්දක් විතර පස්සට යන එක. අවුරුද්දකට පෙර තිබුන මැද මට්ටමේ හාඩ්වෙයාර් තියන මැෂින් එකක් හදාගන්න එක බොහොම ලාබයි අලුත්ම එක ෆලෝ කරනවාට වඩා.

 

2. පවර් සප්ලයි සහ කේසින්

Image Source – snapdeal.com

සාමාන්‍යයෙන් ඉස්සර නම් යුනිටියෙන් පීසී ගනිද්දි පවර් සප්ලයි එකටයි කේසින් එකටයි දෙන්නේ පොඩි අවධානයක්. ඒත් දැන් නම් පවර් සප්ලයි සහ කේසින් කියන්නේ තවත් එක අමතර උපාංගයක් නෙමෙයි. පවර් සප්ලයි එකේ කොලිටිය මත අපි සෙට් කරන මදර්බෝඩ්, VGA, හාඩ් වගේ ගොඩක් උපකරණ වල පර්ෆෝමන්ස් වගේම කල්පැවැත්මත් රඳා පවතිනවා. අන්තර්ජාලයේ තියෙන බොහොමයක් ගේමින් හාඩ්වෙයාර් වියතුන් කියන විදියට බජට් එක අඩු කරන්න පවර් සප්ලයි එක බාල එකක් දාන එක මෝඩ කමක්. හොඳ නමක් තියන පවර් සප්ලයි එකක් තෝරලා ගහන එක හාඩ්වෙයාර් වල කල්පැවැත්මට වගේම පර්ෆෝමන්ස් වලටත් හේතු වේවි. කේසින් එක කියද්දි ලස්සන වගේම හොඳට වාතාශ්‍රය තියෙන එකක් තෝරාගන්නට ඕනි. ලික්විඩ් කූලින් (Liquid Cooling) තිබුනත් ගොඩක් කම්පියුටර් හාඩ්වෙයාර් තාමත් හදලා තියෙන්නේ වාතයෙන් කූල් (Air Cool) වෙන විදියට. ඒ නිසා හොඳ වායු සංසරණයක් හිටින්න ෆෑන් දෙක තුනක් සෙට් කරලා වැඩේ ගොඩදාගන්න හැකි කේස් එකක් තෝරාගන්නට ඕනි.

 

3. මදර්බෝඩ්, ප්‍රොසෙසර්

Image Source – youtube.com

ගේමින් වලට ජනප්‍රියම මදර්බෝඩ් එක ඒසුස් (Asus). ගේමින් වලට වගේම ෆීල්ඩ් එකේ ජනප්‍රියම ප්‍රොසෙසරේ තමයි ඉන්ටෙල්. ඒසුස් උනත් මදර්බෝඩ් එක ගනිද්දි කඩේ තියෙන එකම ගන්නේ නැතිව හොඳ මොඩල් මොනවාද කියලා සර්ච් කරන එක වටිනවා. AMD ප්‍රොසෙසර් ලාබයි. ඒත් එයාල පෙන්වන තරම්ම ඉන්ටෙල් එක්ක හැප්පෙන්න AMD වලට ටිකක් අමාරුයි. AMD වල තියෙන උඩම ප්‍රොසෙසර් එකක් නම් ඉන්ටෙල් මිඩ් රේන්ජ් එක්ක සෙට් වෙන්නට පුළුවන්. මදර්බෝඩ් එකක් ගනිද්දි මේ කාලේ හාඩ්වෙයාර් වලට ගැලපෙන එකක් ගන්නට ඕනි. මොකද පරිගණක තාක්ෂණය අලුත් වෙනවා බොහොම ඉක්මනට. එතකොට පරණ සොකට් තියෙන පරණ මාදිලියේ එකක් ගත්තොත් තව අවුරුද්දකින් දෙකකින් මැෂින් එකට අලුත්ම VGA එකක්, රැම් එකක් සෙට් කරගන්න බැරි වෙනවා.

 

4. රැම්, හාඩ් ඩිස්ක් මෙමරි

Image Source – bigstockphoto.com

රැම් එක දැන් ඩී ඩී ආර් 4 වශයෙනුත් එනවා. ගේමින් මැෂින් එකකට නම් රැම් එක ගිගාබයිට් 8කට වැඩියෙන් තියෙන්නම ඕනා. හාඩ් ඩිස්ක් පරණ මාදිලිය හෙවත් ඇතුළේ ප්ලේට් එකක් කැරකෙන මාදිලියේ RPM එක හෙවත් මිනිත්තුවට කැරකෙන වට ගාණ අනුව දත්ත වේගය වෙනස්වෙනවා. මිනිත්තුවට වට 5400ක් කැරකෙන එකට වඩා මිනිත්තුවට වට 7200ක් කැරකෙන එක වඩාත් සුදුසුයි ගේමින් මැෂින් එකකට. සාමාන්‍යයෙන් අද කාලේ ගේම් එකක් කියන්නෙ ගිගාබයිට් ගණනාවක දෙයක්. ඒ නිසා SSD එකක් තිබුනත් ලොකු හාඩ් එකක් තියාගන්න පුළුවන් නම් වටිනවා.

 

5. සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව් (SSD)

Image Source – windowscentral.com

එස් එස් ඩී කියන්නේ හාඩ් ලොවට ආපු අලුත්ම හිතවතා. සාමාන්‍ය හාඩ් එකකට වඩා ඩේටා ස්පීඩ් එක 10 ගුණයක් විතර වැඩියි එස් එස් ඩී වල. එස් එස් ඩී තියෙන මැෂින් එකක් සාමාන්‍ය එකකට වඩා ඉක්මනින්ම බූට් වෙනවා. එස් එස් ඩී සාමාන්‍ය හාඩ් ඩිස්ක් විදියටත් එනවා. ඒත් අලුත්ම විදියට නම් හාඩ් එකට වඩා කාඩ් එකක් විදියට මදර්බෝඩ් එකට ෆිට් කරන එස් එස් ඩී මාදිලි ඇවිත් තියෙනවා. සාටා කේබල් එක්ක හරහා මදර්බෝඩ් එකට සෙට් කරනවාට වඩා පින් වලින් කාඩ් එකක් විදියට ප්ලග් කරද්දි හාඩ් එකේ සුපිරි වේගය මදර් බෝඩ් එකට ඇක්සස් කරන්න ලේසි වෙනවා. ඒ නිසා එස් එස් ඩී එකකට යනවා නම් මාදිලිය ගැනත් ටිකක් හොයාබලන එක වැදගත් වෙනවා.

 

6. VGA

Image Source – dhgate.com

වීඩියෝ මෙමරිය කියන්නේ ගේම් මැෂින් එකක මූලිකම දෙයක්. දැන් එන මදර්බෝඩ් වල ඔන්බෝඩ් වී ජී ඒ තියෙනවා. ඒත් ගේමින් කියන්නේ විශේෂ අවස්ථාවක්. අලුත් හොඳ වී ජී ඒ එකක් තියනවා කියන්නේ අපිට ගේම් ලෝකයේ තියෙන ගොඩක් ගේම්ස් අවුලක් නැතිව ගහන්න අවකාශ ලැබෙනවා කියන එකයි. වී ජී ඒ ලෝකයේ AMD හා Nvidia වශයෙන් කොටස් දෙකක් තියෙනවා. වී ජී ඒ අලුත්ම සීරිස් එකේ උඩම ඒවා නම් ටිකක් මිල අධිකයි. සාමාන්‍ය මැද මට්ටමේ එකක් අපේ මට්ටමට වැඩ ටික කරගන්න හොඳටම ඇති.

 

7. මවුස්, කී බෝඩ් සහ මොනිටර්

Image Source – turbopropsshop.com

මොන වික්‍රමය දැම්මත් අපිට ගේම් එක ප්ලේ කරන්න වෙන්නේ මොනිටරය දිහා බලාගෙන. මොනිටරය තෝරාගනිද්දි හොඳටම කලර් පෙන්වන එකක් ගන්න එක වටිනවා. ඒ වගේ ඇත්ත කලර් තියෙන එකක් ගත්තොත් වීඩියෝ එඩිටින්, ෆොටෝ එඩිටින් වැඩ වලටත් මොනිටර් එක පාවිච්චි කරන්න පුළුවන්. ගේමින් වලටම සැකසූ ඉතාම ඉක්මන් ප්‍රතිචාර දක්වන්න පුළුවන්, පාවිච්චියට පහසු මවුස් තියෙනවා. කී බෝඩ් තියෙනවා. ඒ වගේම අද කාලේ නම් ගේම් ගහන අයට පහසු ඉරියව්වකින් ඉන්න ඉඩ සලස්වන ගේමින් පුටු මේස පවා ඇවිත් තියෙනවා. ගේම් කියන්නේ එක තැන පැයක් දෙකක් නෙමෙයි, සමහර විට පැය ගාණක් වාඩිවෙලා ඉන්න වෙන වැඩක්. ඉතින් හොඳ පුටුවක් මේසයක් තියාගෙන ගේම් ගහන එක ශරීර සෞඛ්‍යයටත් හොඳ අත්වැලක් වෙයි.

 

ගේම් ගහනවා කියන්නේ සමහර අයට අනුව කාලේ කන වැඩක්. ඇත්තටම කාලේ විතරක් නෙමෙයි ඉතින් සල්ලිත් ගේමින් වලට වියදම් වෙනවා. ඒත් එක එක අයට එක එක විනෝදාංශ තියෙනවා. සමහරු ට්‍රැවල් කරනවා. තව අය ෆිල්ම්, ටෙලි සීරීස් බලනවා. තවත් අය දෙවනි ඉනිම වගේ නාට්‍ය දවසට පැය දෙක තුනක් බලනවා. තවත් අය පොත් කියවනවා.ගොඩක් අය මේ කාලෙනම් ෆේස්බුක් එකේ සහ වෙනත් සෝෂල් මීඩියා වලත් ගතකරනවා. ඉතින් ගේම් ගැහීම කියන්නෙත් ඒ වගේ එක්තරා විනෝදාංශයක්. ගේමින් මැෂින් එකක් ප්ලෑන් කිරීමත් එක්තරා විනෝදයක්.

ඔයාලට ගේමින් මැෂින් එකක් හදාගන්න යම් කික් එකක් මෙයින් ලැබෙන්නට ඇති කියල ලයිෆි අපි විශ්වාස කරනවා.

 

Cover Image Source – 9to5toys.com/ imgur.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *