බොලිවුඩයට අගයක් එක් කරන කාන්තා අධ්‍යක්ෂකවරියන් 7 දෙනෙක්

සත්‍යජිත් රායි, රාජ් කපූර්ලගේ ඉඳන් වර්තමාන පරම්පරාවලට එද්දි කරන් ජොහාර්, අනුරාග් කාශ්‍යප්, ෆර්හාන් අක්තාර්, සංජය ලීලා බන්සාලි වගේ පිරිමි අධ්‍යක්ෂකවරුන්ගේ නම් තමයි බොලිවුඩ් අධ්‍යක්ෂකවරුන් ගැන මතකයට නගා ගනිද්දි බොහෝ දෙනෙක්ගේ මතකයට එන්නේ. හැබැයි මේ වෙද්දි නම් ඒ තත්ත්වය මදක් හෝ වෙනස් කරන්න සමත් වෙන දක්ෂ කාන්තා සිනමා අධ්‍යක්ෂකවරියන් පිරිසකුත් බොලිවුඩයෙන් බිහිවෙලා තියනවා. මේ ලිපියෙන් අපි කියන්නේ ඔවුන් ගැනයි.

 

1. සෝයා අක්තාර් (Zoya Akhtar)

“සින්දගී නා මිලේ දෝබාරා”, “ලක් බයි චාන්ස්”, “දිල් දඩක්නේ ​දෝ” වගේ චිත්‍රප​ට බලපු අයට නම් මේ නම අමුතුවෙන් හඳුන්වා දිය යුතු නෑ කියල අපි හිතනව. ඒ තරම්ම ජනප්‍රිය කාන්තා අධ්‍යක්ෂකවරියක් තමයි සෝයා අක්තාර් කියන්​නෙ. ජනප්‍රිය, දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වගේ​ම රංගන ශිල්පියෙක් වන ෆර්හාන් අක්තර් ගේ සොයුරිය වන්නේද ඇයයි. ​සෝයා අක්තාර් කියන්නේ එ​ක සීමාවකට කොටු නොවුණු අධ්‍යක්ෂකවරියක් කියලත් කිව්වොත් වැරදි නැහැ. 2019 වසරේදී ඇය විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ “ගලී බෝයි (Gully Boy)” චිත්‍රපටය ෆිල්ම්ෆෙයාර් සම්මාන 13කින් පිදුම් ලබන්න සමත් වුණේ වාර්තාවක්ද තබමින්. ඒ එක් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලකදී වැඩිම සම්මාන ප්‍රමාණයක් ලැබූ චිත්‍රපටය වීමේ වාර්තාව​ට හිමිකම් කියමින්.

 

2. දීපා මෙහ්තා (Deepa Mehta)

දීපා මෙහ්තා නම් අපිට ගොඩක් ළඟ සිනමා අධ්‍යක්ෂකවරියක්නේ. ඉන්දියාවෙන් එල්ල වුණු යම් යම් විරෝධතා නිසා අපේ රටේදි රූගත කරපු “වෝටර්” චිත්‍රපටය අපේ රටේ මෙන්ම ඉන්දියාවෙත් ජනප්‍රිය වුණා. දීපා මෙහ්තා කියන්නේ ඉතාම නිර්භීත අධ්‍යක්ෂකවරියක් හැටියට හඳුන්වන්න පුළුවන් තැනැත්තියක්. ඇය ඇගේ චිත්‍රපටවලට වස්තු විෂය කරගන්නා ඇතැම් කරුණු දැඩි ආන්දෝලනයන්ට ලක් වෙන්නත් සමත් වුණා. වෝටර් චිත්‍රපටයට අමතර​ව “ෆයර්”, “අර්ත්”, “මිඩ්නයිට්ස් චිල්රන්” වගේම මෑතකදී ප්‍රේක්ෂක අවධානයක් දිනූ “ෆනී බෝයි” ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද සුවිශේෂී සිනමා පට කීපයක්.

 

3. අලන්ක්‍රිතා ශ්‍රීවාස්තව (Alankritha Srivastava)

මැයත් ගොඩක් දක්ෂ අධ්‍යක්ෂකවරියක්. කාන්තා චරිත සහ ඔවුන්ගේ ගැටළු කේන්ද්‍ර කරගත් සිනමා නිර්මාණයන් තමයි ඇයගෙන් වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ. ඒ සමහරක් නිර්මාණ ඉන්දියානු සමාජය යම් පමණකට කළඹන්නටත් සමත් වුණා.

ඉන්දියාව වගේ සාම්ප්‍රදායික රටක තමන්ගේ මතය නොබියව ප්‍රකාශ කරන අධ්‍යක්ෂකවරියක් ඇය. ඇගේ හොඳම නිර්මාණය ලෙස වැඩි දෙනෙක් සලක​න “ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා” කියන්නේ ඒකට හොඳම උදාහරණයක්.

 

4. ෆරා ඛාන් (Farah Khan)

 

මේ ලිපිය ඇතු​ළේ ෆාරා ඛාන් ගැන සඳහන් නොක​ළොත් නම් ඒක ලොකු අඩුවක් කියලා අපි හිතනවා. වාණිජ ධාරාවේ ජනප්‍රි​ය නිර්මාණ බිහිකරන අතිශය ජනප්‍රිය අධ්‍යක්ෂකවරියක් තමයි ඇය. ඒ වගේමයි ඇය ජනප්‍රිය නර්තන නිර්මාණ ශිල්පිනියකුත් වෙනවා. 2004 වසරේදී “මේන් හූන් නා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් තමයි ඇය සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ. ඒ චිත්‍රපටය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂකවරියට හිමි සම්මානය සඳහා නිර්දේශ වන්නටත් සමත් වුණා. මීට අමතරව ඇය අධ්‍යක්ෂණය කරන ලද “ඕම් ශාන්ති ඕම්”, “හැපී නිව් ඉයර්” වැනි චිත්‍රපටත් රසික රසිකාවියන් අතර අතිශයින් ජනප්‍රිය වන්න සමත් වුණා.

 

5. මීරා නායිර් (Mira Nair)

මීරා නායිර් කියන්නේ ඔස්කාර් සම්මානයටත් නිර්දේශ වුණු අධ්‍යක්ෂකවරියක්. 1988 වසරේදී තිරගත කළ “සලාම් බොම්බේ” කියන්නේ ඇගේ කුළුඳුල් අධ්‍යක්ෂණ​ය වගේම ඔස්කාර් නිර්දේශ ඇතුළු සෑහෙන්න ඇගයීම් ලබපු නිර්මාණයක්. ඒ වගේමයි “කාමසූත්‍ර” චිත්‍රපට​ය ඇය විසින් අධ්‍යක්ෂණය කරන ල​ද ආන්දෝලනාත්මක නිර්මාණයක් වුණා. පසුව ඇය අධ්‍යක්ෂණය ක​ළ “ද නේම්සේක්” සහ “මුන්සූන් වෙඩින්” වගේ නිර්මාණත් ජනප්‍රිය නොවුනත් සෑ​හෙන්න ඇගයීම් බලන්න සමත් වුණු නිර්මාණ වුණා.

 

6. ගෞරි ශින්ඩේ (Gauri Shinde)

ගෞරි ශින්ඩේ කියන්නෙත් නිර්මාණ අල්ප ගණ​නක් නිර්මාණය කරපු, ඒත් ඒ නිර්මාණ තුලින් සමාජය​ට ලොකු පණිවිඩයක් දෙන්න සමත් වුණු අධ්‍යක්ෂකවරියක්. ඇය සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ 2012 වසරේදී “ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්. එය ඉන්දියාවේ වගේම අපේ රටේත් ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගන්න සමත් වුණා. ඒ වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂක සම්මානයට නිර්දේශ වන්නටත්, හොඳම කුළුඳුල් අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නටත් ඇය සමත් වුණා. ඇගේ ඊළඟ සිනමා අධ්‍යක්ෂණය වුණු “ඩියර් සින්දගී” චිත්‍රපටයත් සම්මාන රැසකට නිර්දේශ වන්න සමත් වුණා.

 

7. මේඝ්නා ගුල්සාර් (Meghna Gulzar) 

දක්ෂ ගේය පද රචකයෙක් වුණු ගුල්සාර්ගේ දියණිය තමයි මේ මේඝනා ගුල්සාර්. ඇයත් පියා මෙන්ම කවියට සහ ලේඛන ශිල්පයට දක්ෂකම් දක්වන තැනැත්තියක්. ඇය සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ 2002 වසරේදී “ෆිල්හාල් (Filhaal)” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්. චිත්‍රපටයෙන් චිත්‍රපටයට නවමු තේමාවන් ප්‍රේක්ෂකයාට සමීප කරන් ඇය සමත් වුණා. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ල​ද “දස් කහානියාන්”, “තල්වාර්”, “රාසී”, “චාපක්” වැනි චිත්‍රපටත් ප්‍රේක්ෂක අවධාන දිනා ගන්න සමත් වුණා.

 

ඇයි බොලිවුඩයේ විතරක්? අනෙක් සිනමා ක්ෂේත්‍ර වලත් මේ ව​ගේ ජනප්‍රිය කාන්තා අධ්‍යක්ෂකවරියන් ඇති. එහෙනම් අපි ඒවා ගැනත් වෙන දවසක කතාකරමු…

 

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *