අතීතකාමය කියන්නේ ඉතාම මිහිරි දෙයක්. අහපු දෙයක් දැකපු දෙයක් වගේ ම සුවඳකටත් පුළුවනි මොහොතකින් ඔයාව අතීතයට එක්කරගෙන යන්න. අද අපි භාවිත කරන සතපහක වැඩක් නැති දෙයක් කියලා හිතෙන දේත් තව අවුරුදු කීපයකින් අපේ මතකය අවුස්සන දෙයක් බවට පත් වෙනවා. නහරවැල් අස්සෙ ලේත් එක්ක මේ අතීතයෙන් ආපු සුවඳවලුත් ගලාගෙන යනවා වගේ වෙලාවකට දැනෙනවා. ඒ කාලෙට ආයෙත් යන්න ඇත්නම් කියලා හිතෙනවා.
1. ලැක්ටෝ කැලමයින්
ගෙදර ආතල් එකේ ඉන්නවා නම් එහෙමයි, හදිසියට ළඟට දුවලා එනවා නම් එහෙමයි, මගුල් ගෙදරක යනවා නම් ඒවටත් ඔට්ටුයි. අතෙන් භාගයක් තරම් සයිස් ලැක්ටෝ කැලමයින් බෝතලේ තාමත් අඩුවැඩි වශයෙන් කට්ටිය භාවිත කරනවා. බෝතලේ නම් ටිකක් විතර දැන් මොඩ් වෙලා. ඒත් සුවඳ ඒ කාලේ සුවඳ ම තමයි. හමේ තෙතමනය පවත්වාගෙන යන්න ගාන්න තිවුණට මොකෝ හැම මගුලට ම ඕක ගෑවනේ. මේකප් එකකට නම් ලැක්ටො ටිකක් ගාලා ඊට උඩින් පවුඩර් ටිකක් හලාගත්ත එකයි කරේ.
2. කියුටිකිරා ටැල්කම් පවුඩර්
චාමර වීරසිංහ ‘කියුටිකිරා මුව තවරන රුවැත්තී’ කිව්වා ම උඩ බිම නැති වුණා නම් දැන් ඒ තත්ත්වය නැති කරගන්න පුළුවන් මේ ලිපිය කියවලා ඉවර වුණා ම. කියුටිකිරා ටැල්කම් පවුඩර් එකේ පුදුමාකාර සුවඳක් තමයි තිවුණේ. මේ ටැල්කම් පවුඩර් එකට පස්සේ පොඩි සීන්කෝන් එකක් ආවා පිළිකා හැදෙනවා කියලා. ඊට පස්සේ අපේ රටේ උදවිය භාවිතයෙන් බැහැර වුණා. නමුත් කියුටිකිරා බ්‍රෑන්ඩ් එක ගෝලීය වශයෙන් අදටත් බිස්නස් එකේ බැහැලා ඉන්නවා. යකඩ ටින්වල පවුඩර් ආපු එකදාස් නවසිය බර ගාණක අතීතයක් හිමි කියුටිකිරා අපේ අම්මලා ආච්චිලා හැඩවෙන්න ගාපු ඒවා තමා.
3. විකෝ
විකෝ ක්‍රීම් එක ගෑවා ම ඒ දවස්වල අපේ අක්කලා කහ කිරිල්ලියෝ වගේ. විකෝ ටියුබ් එකක් ලස්සන වෙන්න ආසා කරපු හැම ගෑල්ලමයෙක් ගාව ම තිබුණා. විකෝ දැන් වැඩිය භාවිත නොකරාට අදටත් වෙළඳපොළේ තියනවා. කහවලින් නිෂ්පාදිත වෙන ආලේපන කොච්චර ආවත් මේකේ සුවඳට ගහන්න එකක් ආවේ නෑනේ. නහය කඩාගෙන යන සුවඳකුත් නෙවෙයි. විකෝ ගෑවා ම ආය අමුතුවෙන් සැන්ට් ගහන්න ඕනි නෑ.
4. වූඩෝ පවුඩර් සහ කොලෝන් ස්ප්‍රේ
නම කිව්වත් හෙන ම කික් එක! ඒ කාලේ ටියුෂන් පන්ති යනකොට කොල්ලෝ කෙල්ලෝ වූඩෝ ගහනවා නෙවේ නානවා. ලියුම් කරදහි හුවමාරු කර ගනිද්දී එව්ව අස්සටත් දානවා. පවුඩර් එකයි කොලෝන් ස්ප්‍රේ එකෙයි දෙකේ ම සුවඳ ආය ලොවෙත් නැති සුවඳක්. මේ නමත් එක්ක වූඩෝ එකට සංගීතා වීරරත්න හිටපු ඇඩ් එකත් මතක් වෙනවා. මේ නොස්ටැල්ජියාවේ උපරිමය.
5. ඕල්ඩ් ස්පයිස් ආෆ්ටර් ෂේව්
කාලයත් එක්ක අපට අහිමි වුණ ආෆ්ටර් ෂේව් කින්ග් තමයි ඕල්ඩ් ස්පයිස්. පිස්සු වට්ටන සුවඳක් තිවුණ නිසා ආෆ්ටර් ෂේව් කෑල්ලට බම්බු ගහගන්න කියලා කිරි මයිලක් නැති අයියලත් මේක ගාගෙන ගිහින් තියෙනවා. වූඩෝවල වගේ ම ඕල්ඩ් ස්පයිස් එකත් මතකයේ රැඳෙන්න ලෝක ප්‍රසිද්ධ වෙළඳ දැන්වීමක් හේතු වුණා. ආහ් මේ තියෙන්නේ, ඒ මතකෙත් අලුත් කරගමු.
6. ඩෙබියුටාන්ට්
කාලයක දී හැමෝම වගේ පිස්සුවෙන් පාවිච්චි කරපු ඩෙබියුටාන්ට් දැන් නම් කලින් වගේ ලේසියෙන් හොයාගන්න නෑ. ඊටත් වඩා ඉතින් දැන් එක එක අරුමෝසම් වැහි වැහැලා නේ. ඩෙබියුටාන්ට් එකේ බෝතලෙත් හරි ම වෙනස් අනික් ඒවාට වඩා. හැඩය ගත්තා ම ත්රිකෝණාකාරයි. ගෑනු පිරිමි භේදයක් නැතුව ආසාවෙන් පාවිච්චි කරා. ඒ සුවඳ නහය අස්සෙන් මැකුවත් යන්නැති එකක්.
7. බ්ලැක් නයිට්
ඉස්කෝලේ කාලේ මතක් කරවන බ්ලැක් නයිට් ඉස්කෝලේ කාලෙට විතරක් සීමා වුණ එකක් නම් නෙවෙයි. අදටත් වෙළඳපොළට අලුතින් එක්වන හයිකාරයෝ එක්ක බ්ලැක් නයිට් කරට කර සටනක් දෙනවා. ඒ කාලේ හැම කොල්ලෙක් ළඟින් ම වාගේ ආපු බ්ලැක් නයිට් සුවඳේ පවර් එක කොච්චර ද කියනවා නම් අදටත් මග තොට එහෙම කෙනෙක් දැක්කොත් මතකෙට එන්නේ ඒ සුවඳ.
බ්ලැක් නයිට් වල තියෙන සුවඳ නම් මරු…
මට හිතෙන විදිහට මම ආසාම සුවඳ ඒක වෙන්ට ඕනේ…