ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිටියදී අතුරුදහන් වූ නළුවෝ

හැමෝම දන්න විදිහට Lifie අපි ගෙන ආපු ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිටියදී අතුරුදහන් වූ නිළියෝ ආටිකල් සීරිස් එක පාඨක ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය වුණා. මේ නිසා ඇතැම් අවස්ථාවලදී යූටියුබ් නාලිකා ඒ ආටිකල් හොරෙන් අරගෙන ඉදිරිපත් කරලාත් තිබ්බා. කොහොම වුණත් ඇතැම් අවස්ථාවල දී අපි නිළියන් ගැන විතරද කතා කරන්නෙ කියලා ප්‍රශ්නයක් අහල තිබ්බා. මේ නිසා අපි හිතුවා ජනප්‍රියත්වයෙන් ඉහළ තලයේ ඉන්දැද්දි අතුරුදහන් වුණු නළුවෝ කීපදෙනෙක් ගැන මතකය අවදි කරන්න.

 

 

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ

1. ජයන්ත බෝපේආරච්චි 

මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගිහිල්ලා ඉන්න ජයන්ත බෝපේආරච්චි කාලයක් අපේ සිනමාවට වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් වෙලා හිටියා. විශේෂයෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළදී ඔහුට විශාල පරාසයක චරිත රඟපාන්න ලැබුණා කියලා කිව්වොත් නිවැරදියි. ‘ගැහැණු ළමයි’, ‘ගිරිකුල අන්දරය’ වගේ ටෙලිනාට්‍ය ගණනාවක ඔහු චරිත නිරූපණය කළා. නමුත් සිනමාවෙදි නම් බොහෝවිට ජනප්‍රිය ගණයේ නිර්මාණ වලින් පමණයි ඔහුව මුණ ගැහුණේ. 

 

2. සුධාරක ජයසේන 

හෙන්රි ජයසේන සහ මානෙල් ජයසේන යුවළගේ එකම පුත්‍ර රත්නය වන සුදාරක ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ  ‘ගොළු හදවත’ ටෙලි නාට්‍යයේ සුගත්ගේ චරිතය රඟපාමින්. ඉන්පසුව ඔහු ‘එකගෙයි කුරුල්ලෝ’ ටෙලි නාට්‍යයේ සාර්ථක චරිත නිරූපණයක්  කරනවා. නමුත් කලා ජීවිතයට වඩා තම වෘත්තීය ජීවිතයට  වැඩි ප්‍රමුඛතාවක් දීම නිසා අපිට ඔහුව දැකගන්න ලැබුණේ නිර්මාණ කීපයකින් පමණයි.

 

3. රජිත රොද්‍රිගෝ

අද පවා ඉඳ හිට විකාශනය වන ‘සුඑන්සූ’ වෙළඳ දැන්වීමේ පෙනී සිටින කඩවසම් නළුවාව ඔබට මතකද? ‘මමයි රජා’ චිත්‍රපටියෙන් ක්ෂේත්‍රයට ආපු රජිත චිත්‍රපටි වල වගේම ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑවා. ඒ දිනවල සුනිල් ටී, සෝනියා දිසා, සුනිල් සෝම පීරිස් වගේ අයගේ චිත්‍රපටි වල ඔහු නැතිවම බැරි චරිතයක් වෙලා හිටියා. ‘ටිකිරි නිලමේ’, ‘ඇතුගල පාමුල’, ‘මල් කැකුළක්’ ඔහු පෙනී සිටි ටෙලි නාට්‍ය අතරින් කිහිපයක්. දීර්ඝ කාලයක් විදේශගතව සිටි ඔහු මේ වනවිට ලංකාවට පැමිණ සිටිනවා.

 

4. ශෂී විජේන්ද්‍ර

ශෂී විජේන්ද්‍ර  කියන්නේ ලංකාවේ සිනමාවේ  එක් යුගයක් නිරූපණය කරපු නළුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් ඇතැම් විචාරකයන්ට අනුව ඔහු අතිශයින් සාර්ථක නළුවෙක් නම් නෙමෙයි, නමුත් ඔහු ජනප්‍රිය නළුවෙක් කියන එක නම් අවිවාදිතයි. උපතින් අවුෆ් හනීෆා නම් ඔහු සිනමාවට සම්බන්ධ වීමේ දී ලබාගත් නම තමයි ශෂී විජේන්ද්‍ර කියන්නේ. මේ වෙන කොට තම ආගමික විශ්වාසයන් වලට අනුව සම්පූර්ණයෙන්ම සිනමා සහ කලා ක්ෂේත්‍රයට ඔහු සමු දීලයි ඉන්නේ. ඒ වගේම තමන් අතීතය පිළිබඳව කණගාටු වන බව ඔහු ප්‍රකාශ කරලා තියෙනවා.

 

5. උපාලි කීර්තිසේන

මේ ලයිස්තුවට ඇතුළත් කළ අනෙකුත් නළුවන් සැබෑ ජීවිතයේ අතුරුදහන් වෙලා නම් නැහැ. හැබැයි අවාසනාවකට වගේ උපාලි කීර්තිසේන කියන්නේ අදටත් සැබැවින්ම නීතිය ඉදිරියේ අතුරුදහන් වූ පුද්ගලයෙක්. හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් විදිහට අතිශයින් ජනප්‍රිය වුණු උපාලි කීර්තිසේනට අත්වුණු ඉරණම ගැන කිසිවෙක් දන්නේ නැහැ. ඔහුගේ පවුලේ අය ඔහු සොයා ගැනීමට දිගින් දිගටම උත්සාහ කළත්, එය සාර්ථක වූයේ නැහැ. ඉදිරියේදී හෝ ඔහු පිළිබඳව සැබෑ තොරතුරක් ලැබෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

 

6. ප්‍රදීප් සේනානායක

ප්‍රදීප් සේනානායක කියන්නේ එච්. ඩී. ප්‍රේමරත්න නම් වූ ප්‍රවීණ සිනමාකරුවාගේ සොයාගැනීමක්. මුලින්ම ‘සෙයිලම’ චිත්‍රපටයට සම්බන්ධ වෙන ඔහු ඉන් අනතුරුව ‘විසිදැල’, ‘මන්දාකිණි’, ‘කිනිහිරියා මල්’, ‘සලෙළු වරම’, ‘ආදරණීය වස්සානය’ වගේ චිත්‍රපට ගණනාවකම රඟපෑවා. ‘කිණිහිරියා මල්’ චිත්‍රපටයේ සිදුකළ රඟපෑමට ඔහු හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් ‘තරු පබා’, පුලින ප්‍රාසාද, යශෝ මන්දිර’ වගේ ටෙලි නාට්‍ය ගණනාවකටත් සම්බන්ධවෙන්න ඔහුට හැකියාව ලැබුණා. නමුත් ඔහුවත් අපිට සෑහෙන කාලෙකින් නිර්මාණයකින් දැකගන්න ලැබුණේ නැහැ.

 

7. රාසි අන්වර් 

රාසි අන්වර් කියන්නේ කුඩා කාලයේදී ම ලොකු චරිත රඟපාපු නළුවෙක්. විශේෂයෙන්ම’ ජනේලය’ චිත්‍රපටයේ ඔහු සිදු කළ රඟපෑම සම්මානයට පවා පාත්‍ර වුණා. ඉන්පසුව ‘පාලම යට’, ‘අරගලය’, ‘සාවිත්‍රිගේ රාත්‍රිය,’ විසිදැල’ වැනි චිත්‍රපට කීපයක රඟපාපු රාසි ගැන ඉන් පසුව නම් තොරතුරක් ලැබුණේ නැහැ.

 

එහෙම නම් ඉතින් මේ නළුවන් පිළිබඳව ඔබේ මතක කමෙන්ට් සෙක්ෂන් එකේ බෙදාගන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්න වෙනදා වගේම අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *