ඒ කාලේ ටීවී එකේ ගිය අපේ හිත ඇදගත්ත රසවත්ම ඇඩ්ස්

අපි හැමෝම දන්න විදියට ඕනෑම මාධ්‍ය ආයතනයක්, ඒ කිව්වේ පුවත්පත්, ගුවන්විදුලිය,රූපවාහිනියේ ඉඳන් වර්තමානයේ අපි භාවිතා කරන සමාජ මාධ්‍ය වෙනකම් දුවන්නෙ වෙළඳ දැන්වීම් මත. වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන්න ​ඒ සඳහා විශේෂඥතාවය ලබපු ආයතන තියෙනවා. එයාලා උත්සාහ කරන්නේ තමන් නිර්මාණය කරන වෙළඳ දැන්වීම තුළින් පාරිභෝගිකයාගේ හිතේ අදාළ සන්නාමය තැන්පත් කිරීම හෝ අදාළ භාණ්ඩ/සේවාව  ලබා ගැනීමට ඔවුන්ට පෙළඹවීම.

සමහර වෙළෙඳ දැන්වීම් ඒ විදිහට අවුරුදු ගණනක් ගියත් අදාළ සන්නාමය පාරිභෝගිකයාගේ හිතේ තැන්පත් කරන්න සමත් වෙනවා.සමහර වෙලාවට පරම්පරා ගාණක් වුණත්. අපි අද කතා කථා කරන්න යන්නේ ඒ වගේ අපේ හිතේ රැඳිච්ච වෙළෙඳ දැන්වීම් කීපයක් ගැන. සරලම භාෂාවෙන් කියනවා නම් තවත් ඇඩ් එකක් නොවුණු ඇඩ් ගැන.

 

1. Dulux තීන්ත ඇඩ්ස්

විදේශ රටක නිපදවලා, සිංහලෙන් හඬ කවපු මේ ඇඩ් එක කවදාවත් අපේ රටේ මිනිස්සුන්ට අමතක වෙන්නේ නැති ඇඩ් එකක්. ඒකට ප්‍රධානතම හේතුව විදිහට සලකන්න පුළුවන් දේ තමයි Dulux ආයතනය තමන්ගේ Mascot එක විදිහට භාවිතා කරන බව්වාගේ හුරුබුහුටි කම. ඒ වගේම ඒ බව්වා ගමන් කරන මාර්ගය සහ කාලගුණ තත්ත්වය සමග පසුපස කතාවක් විදියට Dulux වර්ණ රටා ලස්සනට සංකලනය කරන්න ඔවුන් සමත් වෙලා තිබ්බා.

මේ ඇඩ් එක කොයි තරම් අපිට බලපෑමක් කරලා තියෙනවද කියන එක ගැන හොඳ උදාහරණයක් අපිට පහු ගිය දවසක දකින්න ලැබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රාජකාරිය කටයුතු ආරම්භ කිරීම සඳහා නිවසෙන් පිටත්ව යන අවස්ථාවේදී ඔහුගේ නිවසේ සිටි බලු සුරතලා ගැන Memes සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වුණා. ඒ බලු සුරතලාව දැක්කම හැමෝටම මතක් වෙලා තිබිලා තිබ්බෙ Dulux බව්වා කියලා. 

මේ තියෙන්නේ ලංකාවේ අපි අතර ඒ විදිහට ජනප්‍රිය වුණු ඩියුලක්ස් ඇඩ්ස් කීපයක්.

 

 

 

2. NSB සතෙන් ස​තේ

ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙනුවෙන් නිර්මාණය කරලා තිබ්බ ඒක වෙළඳ දැන්වීමක හුරුබුහුටි කෙළි පොඩිත්තියක් හිටියා. ඒ කෙළි පොඩිත්තිය “සතෙන් සතේ රුපියෙලෙන් රුපියල ” ඉතිරි කරලා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගිණුමක තැන්පත් කරන්න ළමයින්ට උනන්දුවක් ඇති කළා.මේ කෙළි  පොඩිත්ත පස්සෙ කාලෙක සම්මානනීය නිළියක් වුණා. ඒ තමයි සුජානි මේනකා.මීට වසර කිහිපයකට කලින් සුජානි එක්ක කාන්තා ගිණුමක් ගැන ඒ තවත් වෙළෙඳ දැන්වීමක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් කළත් එය කලින් දැන්වීම තරම් නම් ජනප්‍රිය වුණේ නෑ.

 

3. Orange Barley ඇඩ් එක

“මිහිරෙන් මතකයේ රැ​​​ඳේ” කියන බොහොම ලස්සන ගීත ඛණ්ඩයත් එක්ක දිග හැරුණු මේ ඇඩ් එකත් ලංකාවේ ජනප්‍රියම ඇඩ්වර්ටීස්මන්ට් එකක් කියන එක ගැන විවාදයක් නැහැ. අක්කා කෙනෙක් සහ මල්ලී කෙනෙක් අතර බැඳීම සහ මතකයන් එක්ක දිග හැරිච්ච මේ ඇඩ් එක ඒ කාලේ ටීවී එකේ ක්‍රිකට් මැච් යන අතරේ නිතරම දකින්න ලැබුණු එකක් වුණා. මේකෙ මල්ලීට ඉන්න නළුවාත් බොහෝ තරුණියන්ගේ හිත් ඇද ගන්න සමත් වුණා.

 

4. Kist සෝස්

“මේ සෝස් එක්ක කට්ලට් සීයක් වුණත් කන්න පුළුවන් “

මේ කොටස කොහෙදි හරි ඇහෙද්දි අපිට මේ ඇඩ් එක නිකම්ම මතක් වෙනවා. පොඩි හිටියෝ කීප දෙනෙක් කෑම මේසෙක වට වෙලා කිස්ට් සෝස් ගැන වර්ණනාවක් කරනවා. මේ හැමෝම කිව්වේ කිස්ට් සෝස් නිසා තමන්ගේ කෑම කොයිතරම් දුරට රසවත් වෙනවාද කියන එක. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අපි සඳහන් කරපු වෙළඳ දැන්වීමේ වගේම මේ වෙළඳ දැන්වීමේත් මේ පොඩි හිටියොත්, වැඩිහිටියෝ වෙලා තාමත් කිස්ට් සෝස් නැතුවම බෑ කියන වර්ගයේ වෙළෙඳ දැන්වීමක් නිර්මාණය වුණා.හැබැයි ඒ වෙළඳ දැන්වීම අර තරම් ජනප්‍රිය වුණේ නෑ.

 

5. ලින්ක් ​කේශා

හිසේ ගාන තෙල් වර්ගයක් වුණු ලින්ක් කේශා එක රැයින් ජනප්‍රිය කරන්නට මේ වෙළඳ දැන්වීම සමත් වුණා. බොහොම සුන්දර තරුණියක්ව යොදාගෙන නිර්මාණය කරපු මේ වෙළඳ දැන්වීම විශේෂයෙන්ම තරුණයින්ගේ හිත වැඩිපුර ඇද ගත්තා. ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගෙ “වන දෙවුලිය තුරුළේ” ගීතයේ රිද්මයට නිර්මාණය කරපු මේ දැන්වීමේ “මොණර පිළක අරු​මේ” ගී පද පෙළ මුල් ගීතයටත් වඩා ජනප්‍රියත්වයක් ලබන්න සමත් වුණා.

 

6. පැරසිටෝල් 

මේ වෙළෙඳ දැන්වීම ගැන යම් ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙළඳ දැන්වීමෙන් අපෙන් ඇහුවේ “පෙත්ත එකනම් ඇයි පොත්තට වැඩිපුර ගෙවන්නේ?” කියලා. මේකෙන් ඔවුන් තමන්ගේ වෙළෙඳපොළ තරගකාරයා වුණු පැනඩෝල්වලට වඩා සත ගණනකින් මිල අඩුයි කියලා සාර්ථකව පාරිභෝගිකයන්ගේ හිතේ පැළපදියම් කරන්න සමත් වුණා. හැබැයි පැනඩෝල් ආයතනය සාර්ථකව මේ අභියෝගයට මුහුණ දෙන්න සමත් වුණා. ඒ නිසා වෙළඳ දැන්වීමක් විදිහට, අපි කියපු ඇඩ් එක සාර්ථක වුණත්, නිෂ්පාදනයක් විදිහට වෙළ​ඳපොළේ ඔවුන් අසාර්ථක වුණා.

 

7. සෙලාන් බැංකුව

තාමත් අපිට හදිසි මුදල් අවශ්‍යතාවයකදී ලන්ඩන්වල ඇල්බට් අංකල්ව මතක් වෙනවා. මේකට හේතුව මොකක් ද කියලා විශේෂයෙන් කියන්න ඕන කියලා අපි හිතන්නේ නෑ.වෙස්ටර්න් යුනියන් සේවාව ගැන සාර්ථක පණිවිඩයක් දෙන්න ඔවුන් සමත් වුණා. මේ දැන්වීමේ හිටි තරුණයාත් එක රැයින් ලංකාවේ අති ජනප්‍රිය වුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *