ෂවර් එක යටට නාන්න ගියහම, මෙන්න මේ දේවලුත් කරල බලමුද?

අපි සාමාන්‍යයෙන් නාන ක්‍රම කීපයක් තියෙනවනේ. මේ කාලේ ගොඩක් අය නම් ෂවර් එක යටට ගිහින්, ෂවර් එක ඇරලා නාන එක තමයි කරන්නේ. එහෙම නැතිනම් ඕන නම් පුළුවන් පරණ තාලෙට ලිඳෙන් ඇදගෙන නාන්න. එතකොට ඔය ට්‍රිප් එකක් එහෙම ගියාට පස්සේ මුහුදක ඇලක දොළක බැහැලා නාගන්නත් පුළුවන්. ඔය ඇරෙන්න ඉතින් ඔය මොකක් හරි වැඩක් බාර දුන්නහම, ඒක අල කරලා ඇදගෙන නාන එකත් අපේ ගොඩක් අය සමහර වෙලාවට කරන දෙයක් තමයි!

හරි, දැන් අපි එමු ෂවර් එකෙන් නාන සීන් එකට. සමහරු ඉන්නවා ෂවර් එකෙන් නානවා කියන්නේ, මේන්න ෂවර් එකට පැන්නා, ඕන්න සබන් ගෑවා, ඕන්න සබන් හේදුවා, හරි නාලා ඉවරයි කියන ලෙවල් එකෙන්. ඔක්කොටම යයි විනාඩි තුන හතරක්. හැබැයි තව සමහරු ඉන්නවා පැයක් දෙකක් හරි ෂවර් එක යටට වෙලා ඉන්නවා වතුර ඉවර වෙනකල්ම. හරි, අපි ගමුකෝ සාමාන්‍යයෙන් ප්‍රමාණවත් කාලයක් අරගෙන, ටිකක් ෂවර් එක යට ඉඳලා නාන අපි වගේ කට්ටිය ගැන. එතකොට, ෂවර් එක යට ඉඳලා අපිට කරන්න පුළුවන් වෙන්නේ නාන එක විතරද? ඒ වෙලාවේ වෙන දේවල් කරන්න බැරිද? විශේෂයෙන්ම මතක තියාගන්න, ෂවර් එක යටට වෙලා ඉන්නවා කියන්නේ බොහොම රිලැක්සින් වැඩක්. ඉතින් ඒ නිසා අපි හිතුවා, ෂවර් එක යට ඉඳලා කරන්න පුළුවන් තව වැඩ ටිකක් ගැන කතා කරන්න.

 

1. ෂවර් එක යට ඉඳන් භාවනාවක්

 

දැන් ඔය භාවනා කරනවා කිව්ව ගමන් ගොඩක් අයට ඔලුවට එන්නේ කොහේ හරි වාඩි වෙලා, එරමිණිය ගොතාගෙන භාවනා කරන සීන් එකක්නේ. හැබැයි ඇත්තටම එහෙම නෑ. භාවනා කරනවා කියන්නෙම එක් අරමුණක සිත පිහිටවන එක. එතකොට තමන් ඉන්නේ කොතනද කියන එක අදාළම නෑ. ඉතින් නිකමට හිතන්න, දවසේ අපි ෂවර් එක යට ඉන්න රිලැක්සින් වෙලාවේ, හිත එහෙ මෙහේ දුවන්නෙ නැතුව තියාගෙන, මොකක් හරි එක් අරමුණක සිත පිහිටවා ගෙන පොඩි භාවනාවක් කරන්න බැරිද කියලා? ඕන නම් ෂවර් එකෙන් වතුර වැටෙන එකට හරි සිත ඒකාග්‍ර කරගන්න පුළුවන්. එහෙම නැතිනම් තමන්ගේ හුස්ම ඉහළ පහළ වැටීමක හිත ඒකාග්‍ර කරගන්න පුළුවන්. ඕන නම් මෛත්‍රී භාවනාව පවා ෂවර් එක යට ඉඳන් වඩවන්න පුළුවන්. හා නැද්ද? ඇත්තටම ඔය වඩාත් ඇඩ්වාන්ස් භාවනා ක්‍රම ගැන නෙවෙයි අපි මේ කියන්නේ, දවසේ විනාඩි කීපයක් අරගෙන කරන්න පුලුවන් සරල භාවනාවක් වුණත් ෂවර් එක යට ඉඳගෙන කරන්න බැරිද හා?

 

 

2. ෂවර් එක යට ඉඳන් සිංදුවක් කියමුද?

 

මේක නම් ඉතින් ඉතාම ජනප්‍රිය කාරණයක්නේ. ඔය සමහරු කියන්නේ මම බාත්රූම් සිංගර් කෙනෙක් කියලා. ඒ කියන්නේ ගොඩක් අය පුරුද්දක් විදියට කරන දෙයක් තමයි, ෂවර් එක යට ආතල් එකේ, රිලැක්ස් එකේ ඉන්න ගමන් සිංදුවක් කියන එක. එහෙම කරන්න එක හේතුවක් තමයි, එළියේ සිංදු කියද්දී ගැරඬි කකුල් කඩාගෙන දුවන ලයින් එකක් තිබ්බත්, ෂවර් එක යට ඉඳන් සිංදු කියනකොට ඒක පිටට ඇහෙන ප්‍රමාණය අඩු වීම. ෂවර් එකෙන් වතුර වැටෙන සද්දෙත් එක්ක මික්ස් වෙලා ලොකුවට සිංදු කියන සද්දේ එළියට එන්නෙ නැහැනේ. ඊලඟට, තමන්ට නිකම්ම පුටුවේ වාඩි වෙලා සිංදුවක් කියනවට වඩා වෙනම ෆීල් එකක් තියෙනවා ෂවර් එක යට ඉඳන් සිංදු කියනකොට. තුන්වෙනි කාරණේ තමයි ඉතින් ෂවර් එක යට ෆුල් රිලැක්සින් වීම. එහෙමනං, ෂවර් එක යටට ගිහින් අදත් සිංදුවක් කියලා බලමුද?

 

 

3. ෂවර් එක යට ඉඳන් දවසේ වැඩ ප්ලෑන් කරමුද?

 

අපි දවසක් පටන් ගන්න කලින් එදා උදේ හරි කලින් දවසේ රාත්‍රියේ හරි අනිවාර්යයෙන්ම දවසේ ප්ලෑන් එක හදාගන්න ඕන. විශේෂයෙන්ම වෘත්තිකයෙක්ට වුණත්, ඉගෙන ගන්න කෙනෙක්ට වුණත් දවසේ වැඩ ටික ප්ලෑන් කරන එකෙන් හරි සැලසුමක් ඇතුව වැඩ ටික ඉවර කරගන්න පුලුවන් වෙනවා. එහෙම ප්ලෑන් එකක් නැති වුණොත් වෙන්නේ දවසම කොට උඩ යන එක. ඉතින් ඕක කරගන්න බැරිද ෂවර් එක යට ඉඳන්. එතනදී වෙන වෙන දේවල් වලට අවධානය එහෙ මෙහෙ යන්නෙත් නෑ. රිලැක්ස් එකේ දවසේ වැඩ කල්පනා කරන්නත් පුලුවන්. ඉතින් මුලින්ම ඔලුවේ තමන්ගේ වැඩ ටික හදාගෙන, ඊට පස්සේ ෂවර් එකෙන් එලියට ගියාට පස්සේ ඒ ඔළුවේ හදාගත්ත දවසේ සැලසුම ලියාගන්න පුළුවන්.

 

 

4. ෂවර් එක යට ඉඳන් ක්‍රියේටිව් වැඩ හිතමුද?

ඇත්තටම ක්‍රියේටිව් අයිඩියාස් ගැන හිතන්න දවසේ අපි හැමදාම යන තැන් දෙකක් තියෙනවා, සුපිරිම සුපිරි. එක තමයි ෂවර් එක යට. දෙක තමයි ටොයිලට් එක උඩ! හරි, ෂවර් එක ගැන කිව්වොත්, ඇඟට නොනවත්වාම වැටෙන වතුර පාරත් එක්ක අපි සෑහෙන්න රිලැක්ස් වෙනවා. ඒකත් එක්ක අපේ මොළෙන් ඩොපමීන් ශ්‍රාවය වෙනවා. අන්න ඒ නිසා තමයි ෂවර් එක යට ඉන්න එක ආතල් එකක් වෙන්නේ. හැබැයි ඒ වගේ රිලැක්සින්, ආතල් ටයිම් එකක් ඉතාම හොඳයි නිර්මාණශීලී දේවල් ගැන හිතන්න. ඒක තමන් කරන්න ඉන්න ඩිසයින් එකක් ගැන වෙන්න පුළුවන්, එහෙම නැතිනම් ලියන්න හිතාගෙන ඉන්න කතාවක සැකිල්ල වෙන්න පුළුවන්, අලුත් ටියුන් එකක් වෙන්න පුළුවන්, එහෙම නැතිනම් බිස්නස් එක ප්‍රොමෝට් කරන්න පුළුවන් හොඳ ක්‍රියේටිව් අයිඩියා එකක් වෙන්න පුළුවන්. ඔය ඕනෑම දෙයක් අපිට කාර්යක්ෂමව සහ නිර්මාණශීලීව හිතන්න පුළුවන් ෂවර් එක යට ඉඳන්. හැබැයි එකක්. ඒක හිතුවට පස්සේ ෂවර් එකෙන් එලියට ගියපු ගමන් ඒක ලියාගන්නත් ඕනෑ. එහෙම නැති වුණොත්, ඕක පටස් ගාලා ආයෙ අමතක වෙලා යනවා.

 

 

5. ෂවර් එක යට ඉඳන් ඉගෙන ගමුද?

 

ෂවර් එක යට ඉඳන් කොහොමද බං පොත් කියවන්නේ? එහෙම නේද හිතුවේ? නෑ, විශේෂයෙන්ම බාත්රූම් එකක් ඇතුළේ ෂවර් එකකින් නානවා නම්, අපිට ඉගෙන ගන්න අවශ්‍ය දෙයක් ඕඩියෝ එකක් විදියට හරි වීඩියෝ එකක් විදියට හරි ප්ලේ වෙන්න දෙන්න පුළුවන්. අන්න ඒකෙන් අපි මේසේ ගාව ඉඳගෙන දෙයක් ඉගෙන ගන්නවට වඩා කාර්යක්ෂමව ඉගෙන ගන්න ඕන දෙයක් ඔළුවට යන්න වැඩි ඉඩක් තියෙනවා. ඒකට එක හේතුවක් ෂවර් එක යට අපි ඉන්නෙ රිලැක්සින් තත්ත්වය. දෙවෙනි එක තමයි නිරන්තරයෙන්ම වතුර ෂවර් එකෙන් වැටෙන සද්දය. ඔය වයිට් නොයිස් කියලා කියන්නේ, අන්න ඒ ජාතියේ නොනවත්වාම ඇහෙන රිලැක්සින් හඬක් එක්ක අපිට ඉගෙන ගන්න දෙයක් වඩාත් හොඳින් ඔළුවට යනවා. අනික් ප්‍රධාන කාරණාව, ෂවර් එක යට ඉන්නකොට අපේ අවධානය වෙනතක යන්න තියෙන ඉඩ ඉතාම අඩුයි.

 

 

6. ෂවර් එක යට ඉඳන් ජීවිතේ ගැන හිතමුද?

 

මේක ටිකක් ඕවර් රේටඩ් වැඩක් වගේ නේද? ඇයි ඉතින් අපි ඇත්තටම ගොඩක් වෙලාවට ජීවිතේ ගැන හිතනවනේ. එහෙමද හිතාගෙන ඉන්නේ? ඇත්තටම ගත්තොත් අපි ජීවිතේ ගැන හිතන්නේ එහෙමත් වෙලාවක තමයි. ගොඩක් වෙලාවට අපිට ජීවිතේ ගැන හිතන්න වෙලාවක් නෑ. හැබැයි ෂවර් එක යට අපි ඉන්න රිලැක්සින් වෙලාව ගත්තොත්, ඒ වෙලාව හොඳයි ඔය දාර්ශනික දේවල් ගැන හිතන්න. විශේෂයෙන්ම එක්තරා විදියකට ඒකත් භාවනාවක් වගේ දැනෙයි. හැබයි එකක්, ෂවර් එක යට ඉඳන් ජීවිතේ ගැන හිතන්න ගිහිල්ලා ඩිප්‍රෙස් වෙන්න, අප්සට් යන්න එපා. ඊට වඩා අපිට පොසිටිව් ලෙවල් එකකින් ජීවිතේ ගැන නැතිනම් ඒ වගේ දාර්ශනික දෙයක් ගැන හිතනන් පුළුවන් නම් මරු.

 

 

7. ෂවර් එක යට ඉඳන් ෂවර් එකත් සුද්ද කරලා එමුද?

 

ඇත්තටම කවද්ද අන්තිමට ෂවර් එක සහ ඒ අවට සුද්ධ බුද්ධ කළේ? මතක නෑ නේද? අපි සාමාන්‍යයෙන් ඔය බාත්රූම් එක එහෙමනම් සෝදලා දානවනේ සතියකට සැරයක්වත්. එතකොට කොමඩ් අනං මනං වුණත් සතියකට සැරයක්වත් සුද්ධ බුද්ධ වෙනව. එහෙම නැතිනම් ඉතින් සෞඛ්‍ය ප්‍රශ්න එනවනේ. ඒ නිසා තමයි එහෙම කරන්නේ. හැබයි ඉතින් අපි ඒ වෙලාවට ඔය ෂවර් එක අවට සුද්ධ කරන්න, ෂවර් හෙඩ් එක සුද්ධ කරන්න, සබන් තියෙන භාජනේ සුද්ධ කරන්න වගේ දේවල් වලට නං යන්නෙම නැති තරම්. හැබැයි කරන්න පුළුවන් නම් මරු. අන්න ඒ නිසා, ෂවර් එක යට ඉන්න වෙලාව ඕන නම් ෂවර් එක පිරිසිදු කරන්න යොදාගන්නත් බැරි කමක් නෑ!

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *