ජපන් සහ කොරියන් කෑම ලෝලීන්ට රයිස් බෝල්ස් රෙසිපීස් 7ක්

කොරියාවේ හා ජපානයේ ප්‍රසිද්ධ රයිස් බෝල්ස් අපිටත් කන්න පුළුවන් විදියට හදාගන්න හැටි කියලා දෙන්නයි හදන්නෙ. පිටරැටියන්ගෙ කෑම කියලා අපිට නොකා බෑනෙ. බබාලට ලන්ච්බොක්ස් වලට දාන්න වගේම උදේ ආහාරයක් විදියට ගන්නත් මරු. මේ රයිස් බෝල්ස් වලට ජපන් හාල් වර්ගයක් ගන්න ඕන. ජැස්මින් රයිස් එකත් මේකට ගැලපෙනව. ඇලෙනසුළු බත් වර්ගයක් තමා රයිස් බෝල්ස් වලට ඕන. එහෙනම් හදලා බලන්න. 

 

1. ටූනා මයෝ රයිස් බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ටූනා ග්‍රෑම් 200
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් සුදුළූණු බික් 3
  4. තල තෙල් ටිකක් 
  5. පිසගත් බත් කෝප්ප 1
  6. මයෝ​නේස් මේස හැඳි 2
  7. රෝස්ටඩ් සීවීඩ්
  8. රෝස්ටඩ් සෙසමි සීඩ්ස් 

 

  • බත් වලට තලතෙල් මේස හැඳි 1ක් දාගන්න. මේකට චොප්කරගත් ළූණු හා සුදුළූණු එකතු කරන්න. ටූනා ටිකත් කුඩු කරලා එකතුකරන්න. 
  • ඊළඟට මයෝ​නේස් හා තල ඇට ටික දාගන්න. දැන් මේ ඔක්කොම හොඳට කලවම් කරලා බෝල හදාගන්න. 
  • රෝස්ටර් සීවීඩ් කඩලා සාදාගත් බෝල ටික සීවීඩ් වල දවට ගන්න. දැන් අපේ රයිස් බෝල්ස් ටික රෙඩි.

 

2. කිම්චි බේකන් රයිස් බෝල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පොඩියට කපාගත් බේකන් ග්‍රෑම් 100
  2. කිම්චි මේස හැඳි 2
  3. පිසගත් බත් කෝප්ප 2
  4. තල ඇට ටිකක් 
  5. චොප්කරගත් ළූණුකොළ ටිකක් 

 

  • බේකන් ටික පෑන් එකකට දාලා ෆ්‍රයි කරගන්න. මේකට කිම්චි ටිකත් එකතු කරන්න. 
  • හොඳට ෆ්‍රයි උනාම මේක බත් වලට දාලා, තල ඇට හා චොප්කරගත් ළූණුකොළ දාලා කලවම් කරගන්න. අතින් බෝල කරලා බිත්තර හැඩැති බෝල හදාගන්න. 

 

3. චීසි රයිස් බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පිසගත් බත් කෝප්ප 1
  2. චොප්කරගත් බෙල්පෙපර් මේස හැඳි 2
  3. චොප්කරගත් සුදුළූණු බික් 2
  4. චොප්කරගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2
  5. ලුණු හා ගම්මිරිස්කුඩු 
  6. කෑලිමිරිස් තේ හැඳි 1
  7. බිස්කට් කුඩු කෝප්ප 1/2
  8. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1
  9. බිත්තර 1

 

  • මේ සියල්ලම බෝල් එකකට දාලා අතේ නො​ඇලෙන තරමක බෝල හදාගන්න. 

 

4. ක්‍රිස්පි රයිස් බෝල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පිසගත් බත් කෝප්ප 1
  2. චොප්කරගත් ඉඟුරු, සුදුළූණු තේ හැඳි 1
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 1
  5. චොප්කරගත් බේබි ස්පිනෑච් කෝප්ප 1/4
  6. චොප්කරගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1/4
  7. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  8. කහකුඩු තේ හැඳි 1/4
  9. ගරම් මසාලා තේ හැඳි 1/2
  10. චාට් මසාලා තේ හැඳි 1/2
  11. ලුණු ටිකක් 
  12. කඩල පිටු මේස හැඳි 4
  13. හාල්පිටි මේස හැඳි 2
  14. බැදීමට තෙල්

 

  • මේ සියල්ලම දාලා හොඳට කලවම් කරගන්න. වතුර මේස හැන්දක් වගේ දාලා හොඳට අනලා බෝල හදාගන්න. 
  • දැන් මේ ටික ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න. 

 

5. කොරියන් ෆිෂ් රයිස් බෝල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොප්කරගත් ළූණු ගෙඩි 1
  2. කපාගත් වට්ටක්කා ග්‍රෑම් 100
  3. කපාගත් කැරට් අල 1
  4. තම්බාගත් මාළු හෝ ටූනා ග්‍රෑම් 100
  5. මයෝ​නේස් මේස හැඳි 2
  6. දෙහි යුෂ ටිකක්
  7. ලුණු හා ගම්මිරිස්කුඩු 
  8. පිසගත් බත් කෝප්ප 1
  9. සීවීඩ් ටිකක් 
  10. තල ඇට ටිකක් 

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා ළූණු, වට්ටක්කා හා කැරට් ටික පෑන් ෆ්‍රයි කරගන්න. 
  • ටූනා වලට ලුණු, ගම්මිරිස්කුඩු, මයෝ​නේස් හා දෙහි යුෂ දාලා කලවම් කරගන්න. 
  • පිසගත් බත් වලට ෆ්‍රයි කරගත් එළවළු ටික දාලා රෝස්ටඩ් සීවීඩ් කඩලා දාගන්න. මේකට තල ඇට ටිකත් දාලා හොඳට අනාගන්න. 
  • මේකෙන් බෝල හදලා ටූනා මිශ්‍රණය මැදට තියලා බෝල කරගන්න. 

 

6. එග් රයිස් රෝල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. නිවිති කොළ කෝප්ප 1
  2. තලතෙල් ටිකක් 
  3. ලුණු ටිකක් 
  4. චොප්කරගත් කැරට් කෝප්ප 1/2
  5. පිසගත් බත් කෝප්ප 1
  6. තල ඇට ටිකක් 

 

බිත්තර ලේයර් එකට

 

  1. කෝන්ෆ්ලා තේ හැඳි 1
  2. වතුර මේස හැඳි 1
  3. බිත්තර 3
  4. චොප්කරගත් ළූණුකොළ ටිකක් 

 

  • නිවිති ටික පෑන් එකට දාලා තලතෙල් ටිකක් ඉහළා පොඩ්ඩක් කලවම් කරගන්න. මේකට ලුණු ටිකක් එකතු කරන්න. කොළ ටික මැලවුනාම ලිපෙන් බාගන්න. 
  • වෙන පෑන් එකකට තලතෙල් ටිකක් දාලා චොප්කරගත් කැරට් ටික දාගන්න. ලුණු ටිකක් ඉහළා පොඩ්ඩක් පිසගන්න. 
  • පිසගත් බත් වලට නිවිති ටික චොප්කරලා දාලා කැරට් ටික එකතු කරන්න. මේකට තලතෙල් මේස හැඳි 1/2ක් වගේ දාලා තල ඇට එකතු කරන්න. මේ ටික හොඳට අනාගන්න. 
  • වෙනම බෝල් එකකට බිත්තර ටික දාලා කෝන්ෆ්ලා හා වතුර දාලා විස්ක් කරගන්න. ලුණු හා චොප්කරගත් ළූණු කොළ ටිකක් දාලා හොඳට විස්ක් කරගන්න. 
  • දැන් මේක තෙල් ගාගත් පෑන් එකකට දාලා වැඩිය ඝනකම් නැති ඔම්ලට් ලේයර් එකක් හදාගන්න. මේක ලිපෙන් බාලා සාදාගත් බත් මිශ්‍රණය ඔම්ලට් එක මැද්දෙන් තියලා, සීවීඩ් කොළ කිහිපයක් තියලා, හෙමින් ඔම්ලට් එක රෝල් කරගන්න. දැන් තරමක පෙති කපාගන්න. 

 

7. සීවීඩ් රයිස් බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පිසගත් බත් කෝප්ප 1
  2. සීවීඩ් කොළ කිහිපයක් 
  3. සෝයාසෝස් මේස හැඳි 1/2
  4. තලතෙල් මේස හැඳි 1/2

 

  • සීවීඩ් ටික පොඩි කෑලි වලට කපාගන්න. බත් වලට අනික් සියල්ලම හා කපාගත් සීවීඩ් ටික දාලා අනාගන්න. මේක තරමක බෝල හදලා පිළිගන්වන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *