පහළ සිට බලන විට මීටර 270ක් උස බඹරකන්ද ඇල්ලේ ඉහළම කෙළවර නොපෙනෙන තරම් වේ. බඹරකන්ද ඇල්ල පිහිටා ඇති පර්වත ප්‍රාන්තයට සම්පූර්ණ විරුද්ධ දෙසින් වූ වංගෙඩිගල වංගෙඩිකන්දට බඹරකන්ද සම්පූර්ණ ඇල්ලම ඈතින් බලාගත හැකිය. එම කඳු සීමාව ඉහළට තරණය කරගෙන යනවිට බඹරකන්ද ඇල්ල සිහින් සාරි පොටක් සේ ඈතට දිස්වෙන අතර අවට කඳුවැටි ජලතලා ගොඩබිම් ආදිය සෝබමානව දර්ශනය වේ. වංගෙඩිගල වංගෙඩිකන්ද බොහෝ දෙනාට පිවිසිය හැකි කඳු සීමාවක් වුවත්, බලතුඩුව තරමක් අමාරු ගමනකි. අපි එහි විස්තර දැනකියාගමු.
1. ඩබල් බ්‍රිජ්
කළුපහන යනු යකාගේ පඩිපෙළ මාර්ගය, බඹරකන්ද දිය ඇල්ල, වංගෙඩිගල ආදී කඳුවැටි කීපයකටම පිවිසුම් මාර්ගය වන බදුල්ල කොළඹ බස් මාර්ගයට සම්බන්ධ වන ස්ථානය වේ. එම හන්දියේ සිට මීටර දෙතුන් සීයක් යනවිට කමණීය යුගල පාලමක් හමු වේ. ඩබල් බ්‍රිජ් ලෙස හඳුන්වන මෙය පාලම් දෙකකි. එහි පහළින් ගලා යන දියදහරාව ගල් කුලු මතින් ඇදී විත් ගලායන අපූරුව පාරේ සිටම බලාගත හැකිය. කහ පැහැති තෘණ සහ අතරින් පතර වැවුණු ගස් වලින් සමන්විත ඒ ආසන්න කඳු සමග දිස්වෙන ඩබල් බ්‍රිජ් සැබැවින්ම මාර්ගයේ යන එන අයටද සොඳුරු දසුනක් මවා පාන්නීය. අප කණ්ඩායම කොළඹ සිට රෑ 1ට පමණ පිටත් වූ අතර පාන්දර 5 පමණ වනවිට කළුපහනට ළඟා වීමු. අපගේ බෙලිහුල්ඔය දිහාවේ සිටි මිත්‍රයෙක් අපගේ ආහාර රැගෙන එන තෙක්ද අනෙක් මිතුරන් පැමිණෙන තෙක්ද අපි ඩබල් බ්‍රිජ් යටින් ගලා යන දිය දහරා දෙස බලාගෙන සිටියෙමු.
2. සැපයුම කොහොමද වුනේ?
ගමනට සම්පූර්ණ දවස් දෙකක කාලයක් අවශ්‍ය වේ. ඒ නිසා ඒ සෑම වේලකටම අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගමනේදී පොදි බැඳගෙන යායුතුය. අපගේ ගමනේදි අපට බෙලිහුල්ඔය සිටි මිතුරන් විසින් පළමු දවසේ උදෑසන සහ දහවල් ආහාර පිලියෙල කර ගෙන එන ලදී. ඒ නැතිනම් ඒ යාබද කඩයකින්ද ආහාර මිලදී ගෙන බැඳගෙන යා හැකි මුත් එම ස්ථාන වල කෑම මිල මදක් වැඩිය. ඊට අමතර වේල දෙකක් සඳහා පාන්ද මැගි නූඩ්ල්ස්ද අපි මලුවල දා ගතිමු. කූඩාරම් ගැසීමට අවශ්‍ය කූඩාරම් බඩු, ලණු මෙන්ම ඉහළ ගිනි දැල්වීමට අවශ්‍ය වුනොත් කියා පොල්කටු පවා අපි රැගෙන යන්නට තිරණය කළෙමු.
3. ගමනාරම්භය
ගමන ආරම්භ කරන්නට කළුපහන හන්දියට එකතු වූ අපි ඉන් පසු ත්‍රී රෝද රථ වලින් වංගෙඩිගල නගින්නට ඇති ස්ථානයට පිවිසියෙමු. සැබැවින්ම මුලින්ම ඇත්තේ බැස්මකි. ඉන් පසුව කුඩා දොල පාරක් පසුකොට වමට හැරී ගමන් කිරීමෙන් ගමන ආරම්භ වේ. වංගෙඩිගල දක්වා මාර්ගය එක් මිතුරකු දැන සිටියත් ඒ ගැන වැඩි විශ්වාසයක් නොවූ නිසා අප දොල පහරේ යම් රාජකාරියක් කරමින් සිටි ගොවි මහතුන්ගෙන් පාර ඇසුවෙමු. වංගෙඩිගල වංගෙඩිකන්ද ප්‍රසිද්ධ සංචාරක තිප්පොලක් වීම හේතුවෙන් එය අපිරිසිදු වී ඇති බැව් ඔවුහු අපට කීවෝය. ඉහළට ගිය අපට එය සත්‍යයක් බවද වැටහුණි.
4. වංගෙඩිගල
ගමන ආරම්භ කර, කුඹුරු වලට ජලය සපයාගැනීමට තැනූ වාරි ඇලක් ඔස්සේ කිලෝමීටර දෙක තුනක් ගමන් කළ යුතුය. එතැනින් ගොස් ඉහළට ගිය තැන කුඩා දුප්පත් ගමකි. ඒ දුප්පත් ගමේ කෙළවර බුදු පිළිමයකි. ඒ ගම සොයාගත් පසු අපි ගමේ සිටි යහලුවෙකුගෙන්ද පාර ඇසීමු. ඔහු අපිට පාර හැකි පමණ සරලව කියා දුනි. ඉන් පසු අපි ගමේ කෙළවර පිහිටි බුදු පිලිමය අසලට පැමිණ පැයක් හමාරක් වූ ගමනේ මදක් විවේකයක් ගන්නට තීරණය කළෙමු.
වංගෙඩිගල යෑමට ඒ බුදු පිලිමයෙන් උඩට වූ ෆයිනස් කැලෑවේ දකුණු පස අන්තයෙන්ම යා යුතුය. එසේ යන විට ඉහළ කෙළවරදී පා සටහනින් හොඳින් මැදී ගිය මාර්ගය හමු වේ.
5. වංගෙඩිකන්ද
වංගෙඩිගල ගිරි හිසට නැංග විට අප සිතා සිටියේ ගමනෙන් විශාල කොටසක් හමාර වී ඇති බවය. එහෙත් පසුව වැටහුණු පරිදි සම්පූර්ණ බලතුඩුව ගමනින් බාගයක් වත් වංගෙඩිගල දක්වා ගමනේදී සපිරෙන්නේ නැත. වංගෙඩිගල වංගෙඩිකන්ද කෑම්ප් කරන අයගේ තෝතැන්නක් වී ඇති බව අවට එලිපෙහිළි කර තිබූ තැන්වලින් පෙනුණි. ඇතැම් තැනක තිබූ මධ්‍යසාර බෝතල වලින් ඒ කෑම්පින් කරන අයගේ සොබාදහම විඳගැනීමේ විනෝදයේ කෙළවර අපිට සිතාගන්නට හැකි විය. වංගෙඩිගලට මදක් උඩින් ඇති කෑම්පින් කරන තැනක් ආසන්නයේ කුඩා දිය පහරකි. ඒ දිය පහර පිරිසිදුය.
එහෙත් කෑම්පින් නඩ විසින් ඒ කුඩා දිය පහර ආසන්නයේ සෑම තැනකම පාහේ මළපහ කොට අපවිත්‍ර කොට තිබුණි.
6. වංගෙඩිකන්ද මුදුන සහ වනයට
වංගෙඩිකන්ද සහ එය පසුකර යන ගමනේදී තෘණ භූමියක් මතින් ගමන් ගන්නට තිබෙන නිසා අවට පරිසරයේ බෑවුම් මනාව දර්ශනය වේ. ඒ තෘණ භූමිය පසුකොට වනාන්තරය ආසන්නයට පැමිණෙන විට හවස 3 පමණ වී තිබුණි. අප ගමන ආරම්භ කරන විට උදෑසන 10 පමණ වී තිබූ අතර එතනින් එහා වනයට ඇතුල්වනවාද නැද්ද යන්න අපි මදක් කතිකා කළෙමු. එය තරමක් ඝනට සැදුන වනයකි. එහෙත් අපගේ වාසනාවට මෙන් කුඩා අඩිපාරක් පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. ඇතැම් විටක එය ඌරන් ගිය පාරක්දෝයි සැක සිතුනත්, මග හමු වූ ගස් වල තිබූ කැපුම් පහරවල් අනුව එය කලින් මිනිසුන් ගිය මගකැයි අපි සිතාගත්තෙමු.
7. කෑම්පින්
බලතුඩුව කඳු මුදුන පෙනෙන තැනක සමතලා බිමකි. වංගෙඩිකන්දෙන් එපිටට තිබූ තද බෑවුම් අතර කෑම්ප් කිරීමට සුදුසු තැනකැයි තිබුණේ එතැන පමණි.පෙර ගිය අය කෑම්ප් කල සලකුණු ද ඒ ස්ථානයේ තිබුණි. එවිට වේලාව සවස 5ට ආසන්න වූ හෙයින් අපි එතැන කෑම්ප් කරන්නට තිරණය කළෙමු. එය වනාන්තරයක් වුවද ෆයිනස් කැලය සහ ස්වභාවික වනය අතර මායිමකි. පෙර කලදී වගා කටයුතු වලට හෝ වෙනත් කටයුත්තක් පිණිස මේ ඉහළ සීමාවද මැනීම් කටයුතු කර ඇති අතර විටින් විට අපිට මායිම් ගල් හමු විය.
ඒ කෑම්ප් කළ තැනට ෆයිනස් දර පහසුවෙන්ම සොයාගත හැකිවිය. වැරදිලාවත් වනයට ඇවිලුනහොත් සිදුවන්නේ මහ විපතක් නිසා අපි සීරුමාරුවෙන් ගිනිමැලය දල්වාගෙන ඒ අසල කූඩාරම් අටවාගතිමු. දිවා ආහාරයට ගෙනා සුවිසාල බත් මුල් සැබැවින්ම විශාල ජම්බෝල බත් ගෙඩි මෙන් විය. එබැවින් අපි 8 දෙනා දිවා අහාර පිණිස ගත්තේ ඒ පාර්සල් 5ක් පමණි. ඉතුරු 3ක් හැන්දෑවට කන්නට තබාගෙන තිබූ අතර අපගේ වාසනාවට සවස 5 වනවිටද ඒ තුන හොඳ තත්ත්වයේ තිබුණි. ඒ තුනද තවත් රටඉඳි, බිස්කට් වැනි ආහාරද ගෙන, අපි කලින් දිනයේද රාත්‍රිය බස් වල ගත කළ හෙයින් ඉක්මනින්ම නින්දට ගියෙමු.
8. ජල ගැටළුවෙන් පසු බලතුඩුවට
පාන්දරම නැගිට බලතුඩුව නගින්නට සිතාගෙන සිටියත් අපේ කට්ටිය නැගිට කූඩාරම් අකුලා පිලියෙල වන විට උදෑසන 8ට ආසන්න විය. ජලය අඩු බව එහෙන් මෙහෙන් දැන සිටියත් අපි මේ වනය තුළ ජල පහරක් හමු වේ යැයි බලාපොරොත්තු වුනෙමු. එහෙත් අපිට වනයට පිවිසුනු තැන් පටන් වංගෙඩිකන්දේ දියපහරෙන් පසු ජලය හමු නොවීය. අප සතුව උදෑසන වනවිට ඉතිරි වී තිබුනේ ජලය ලීටර එකහමාරක් වැනි ප්රමාණයකි. 8 දෙනෙකුට එය නොසෑහෙන බව දැන සිටියත් එතැන් සිට පැය දෙකකින් බලතුඩුව මුදුන තරණය කළ හැකිනම් අපි එය උත්සාහ කරමු යැයි පිරිස කතා කරගතිමු. සැබැවින්ම මේ කඳු මුදුන්වලට පැමිණීමේදී අඩු වශයෙන් එක් අයෙකු ජලය ලීටර දෙකක්වත් රැගෙන යා යුතුය. ජලය හමුවුවොත් අපතේ යා හැකි මුත් හමු නොවුනොත් සිදුවන්නේ මහත් අභාග්‍යයකි.
9. බලතුඩුව කරා
චොකලට් බිස්කට්, චොකලට්, පාන් ආදී ආහාර ගෙන, ජලය තිබූ ස්වල්පය බෙදාගෙන පානය කරමින් අපි බලතුඩුව කරා ගමන ආරම්භ කළෙමු. වනය මැදින් වැටී ඇති පාර ඇතැම් තැනක බට ගස් වලින් ගහණය. එම වනාන්තරයේ තද ආනත බෑවුම් දිගේ ගමන් කිරීම ඇතැම් තැනක තරමක් අවදානමකි. කෙසේ හෝ පැයක හමාරක ගමනකින් අපි බලතුඩුව මුදුන පෙනෙන තැනට පැමිණියෙමු. එය සිරිපාදයේ මහගිරිදඹ මෙන් එකවර මතු වී ඇති ගිරි හිසකි. තද හුළං ඇති විටෙක නම් එය තරණය කිරීම අවදානම් කාර්යයකි. අපේ වාසනාවට අපිට තද සුළං තත්ත්වයක් පැමිණියේ නැත.
10. පෙනුන ඉම
බලතුඩුව ගිරි හිස මත ඇත්තේ කුඩා ඉඩකි. විටෙක කැරකෙන හුළං අපව ඒ ගිරි කුලෙන් පහළට තල්ලු කර දමාවිදෝ යි සැකයක්ද අපිට ඇති වේ. ලෝකාන්තයේ සිට බිම බලන පිරිස ඈත චූටි කුරුමිට්ටන් සේ අපට දර්ශනය විය. බලතුඩුව මීටර 1970ක් පමණ උස යැයි අපගේ ජී. පී. එස් යන්ත්‍ර වල පෙන්වූ අතර හෝටන් තැන්න ලෝකාන්තය උස මීටර 2100කි. කිලෝමීටරයක් හෝ ඒ ආසන්න ගුවන් දුරකින් ලෝකාන්ත බෑවුම බලතුඩුවට දිස් වේ. සුළං අධික කාලයට බලතුඩුව ගිරිහිස වඩාත් අවදානම් තැනක් බව පහළ හමු වූ අය අපට පැවසීය. බලතුඩුවට පසුව ගොම්මෝල්ලිය බලතුඩුව කන්දට පසුව ලෝකාන්තය දෙසට ආසන්නව තිබේ. එහෙත් ගොම්මෝල්ලිය අපිට මග හරින්නට ජලය හිඟතාවය හේතුවක් විය. ගොම්මෝල්ලිය තනිකර වනයෙන් ගැවසී ගත් මුදුනක් වන අතර බොහෝවිට එයට නැංගද අවට සිරි නැරඹීම බලතුඩුවේ තරම් පහසු නොවනු ඇත.
පසෙකින් සමනල වැව, උඩවලව ජලාශය ආදී බෑවුම් දිස් වේ. ඒ සීමාවේම අප පැමිණි වංගෙඩිගල වංගෙඩිකන්ද කුඩා ගිරිහිස් පරිද්දෙන් පෙනේ. බඹරකන්ද දිය ඇල්ල බලතුඩුව මුදුනට නොපෙනෙන නමුත් ඈත නිම්නයක් හරහා ඇදෙන ලංකා ඇල්ලේ ඉහළ කොටසක් පෙනේ. හාවාගල, ආදර කන්ද, ගොම්මෝල්ලිය, ලෝකාන්ත බෑවුම මෙන්ම අවට ඇති අලංකාර භූවිෂමතාවයන් රැසක් බලතුඩුව මුදුනට නැංග කල දිස්වේ. අපගේ වාසනාවට හුළං සහ මීදුම යාන්තමට තිබුනත්, අවට සියලු තැන් දැකගත හැකි කාලගුණයක් එම අවස්ථාවේ විය.
11. අවදානම
මෙම ගමන දින දෙකක් පුරා දිවෙන ගමනකි. එසේ වූ කඳු තරණයක් සාමාන්‍යයෙන් කඳු නැගීම් එතරම් සිදු කර නොමැති ආධුනිකයෙකුට අපහසු ඉලක්කයකි. ඉහළට නගින විට ජලය හිඟ හෙයින් පහළ වංගෙඩිකන්ද ආසන්න උල්පතෙන් ජලය පුරවාගෙන යෑමත් කළ යුත්තකි. දින දෙකක් ඇවිදීමට, කඳු නැගීමට ගත වී බහින විට කකුල් අද්දවා අද්දවා ඒමට තරම් කකුල් වේදනාවක් වූවද ගමනේ දී හමුවූ භූමි දර්ශනය සහ මතකයන් නම් සැබැවින්ම සොඳුරු අත්දැකීම් විය.
Cover Image Source – Amila Chathuranga
Leave a Reply